කෝවිඩ් රෝගය හඳුනාගන්නා පරීක්ෂණ ගැන ඔබ දැනුවත් ද?

*කොරෝනා පොසිටිව් ද නැද්ද ? නිවැරැදිව කියන පරීක්ෂණය කුමක් ද?
සැප්තැම්බර් 8, 2021

ගැහැනිය කියන අකුරු හතරේ සැඟවී ඇති චරිත ගණන මෙපමණයැයි කීමට බැහැ. කෝවිඩ් - 19 වසංගතය සමඟ ඔබට තවත් චරිතයක් / තවත් භූමිකාවක් එක්වී තිබෙනවා.

නව කොරෝනා වෛරසයට නිවෙසේ දොරගුලු දැමීමට සුව උපදෙස් පිළිපදින්න පවුලේ සාමාජිකයන් දැනුවත් කරන සුව උපදේශිකාව ඔබයි. නිවැසියන්ගෙන් කවුරුන් හෝ රෝගී වුවහොත් වෙදකමත් හෙදකමත් කෙරෙන්නේ ඔබ අතින්. අසාධ්‍ය වී ඇඳට නො වැටුණොත් ඔබට ඔබේ රෝගී තත්ත්වයට වඩා හද රිදෙන්නේ ආදරණීය සමීපතමයාගේ සුවතාවය වෙනුවෙන්. පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නිරන්තරයෙන් හදවත ගැහෙන ඔබට වෛද්‍යවරියක් වීමට නො හැකි වුවත් හැම මොහොතකම වෛද්‍ය උපදෙස්වලින් සන්නද්ධ වෙන්න සිදු වෙලා. කෝවිඩ් සමඟ නව සුව දැනුම සම්බාරයක් දැනුම පොතට එක් කර ගැනීම ඉතා වැදගත්. රසායනාගාර විශේෂඥවරියක නො වුණ ද ඔබ අත්තම්මාගෙන් ඉඟුරු - කොත්තමල්ලි - පෙරුම්කායම් - කහ වැනි අපේ දේශීය ඔසු ගුණ ගැන යම් දැනුමක් ලබා තිබුණා. ඉන් ඔබ්බට ගොස් කෝවිඩ් - 19 සඳහා කරන පරීක්ෂණ ගැන ද පවුලේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් දැනුවත් වෙන්න කාලය පැමිණිලා.

කෝවිඩ් - 19 හතර අතේ පැතිරෙද්දී තමන්ට තමන්ගේ පවුලේ අයට තවමත් ‍රෝගය වැලඳී නැති බව සැකහැර දැන ගන්න තියෙන හොඳම ක්‍රමය පීසීආර් පරීක්ෂණය සිදු කිරීම.

ඒ තරමටම සාර්ථක ප්‍රතිඵල ගෙන නො ආවත් ලාබදායක ඇන්ටිජන් පරීක්ෂණයත් රෝගී, නිරෝගී බව කියන ජනප්‍රියම පරීක්ෂණයක්.

මේ දිනවල පීසීආර් , ඇන්ටිජන් පරීක්ෂණ රුධිර පීඩනය, ලේවල සීනි, අහිතකර කොලෙස්ටරෝල් බැලීම ටත් වඩා සිදු කෙරෙනවා.

කෝවිඩ් - 19 හඳුනා ගැනීමට සිදු කරන පරීක්ෂණ මොනවාද ?

කෝවිඩ් ඇත්දැයි බැලීමට ප්‍රධාන වශයෙන්ම පරීක්ෂණ 3 ක් සිදු කරනවා. පීසීආර්, රැපිඩ් ඇන්ටිජන් හා ඇන්ටිබොඩි (PCR, RAPID ANTIGEN, ANTY BODY) ඒ පරීක්ෂණ තුනයි. රෝගය හඳුනා ගැනීමට පීසීආර්, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනවා. ප්‍රතිදේහ නැත්නම් ඇන්ටිබොඩි පරීක්ෂණය සිදුකරන්නේ රෝගය කලින් සෑදී තිබුණාදැයි නිරීක්ෂණය කිරීමටයි. සමහරුන්ට නව කොරෝනා වෛරසය ආසාදිතවී තිබුණත් රෝග ලකුණු පෙන්නුම් කෙරෙන්නේ නැහැ.

තමන් රෝගී වී සිටියාදැයි දන්නේ නැහැ.

ඇන්ටිබොඩි පරීක්ෂණය මඟින් කලින් රෝගය හැදිලා තිබුණා නම් ඒ බව බලාගන්න පුළුවන්. රෝගයට ගොදුරු වුණු අයගේ සිරුරේ නව කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිදේහ සෑදෙනවා.මේ ප්‍රතිදේහ ඇන්ටිබොඩි මඟින් හඳුනා ගන්නවා.

පවුලේ කාට හෝ උණ, කැස්ස, ගඳ සුවඳ නො දැනීම වැනි ලකුණු ඇති වුණොත් එයාට තියෙන්නේ සාමාන්‍ය රෝගී තත්ත්වයක් ද නැත්නම් කෝවිඩ් - 19 ද කියලා සැකහැර දැනගන්න පීසීආර්, රැපිඩ් ඇන්ටිජන් හඳුනා ගැනීමේ පරීක්ෂණ උදව් වෙනවා.

නව කොරෝනා වෛරසය ආසාදිත වී ඇත්දැයි වඩාත් නිවැරැදිව කියන පීසීආර් පරීක්ෂණය කියන්නේ කුමක්ද ?

කෝවිඩ් - 19 රෝගය හඳුනාගැනීමට තියෙන ලෝකෙම පිළිගත් හොඳම පරීක්ෂණය පීසීආර් පරීක්ෂණයයි. පීසීආර් පරීක්ෂණයෙන් සිදුකරන්නේ නව කොරෝනා වෛරසයේ ආර්එන්ඒ (RNA) නම් ජානමය ද්‍රව්‍ය බැලීමයි.

වෛරසයක ඩීඑන්ඒ (DNA) හෝ ආර්එන්ඒ (RNA)නම් ජානමය ද්‍රව්‍ය දෙකෙන් එකක් අඩංගු වී තිබෙනවා. නව කොරෝනා වෛරසයේ තියෙන්නේ ආර්එන්ඒ නම් ජානමය ද්‍රව්‍යයයි.

පරීක්ෂණය සිදු කරන්නේ පුද්ගලයකුගේ නාස් පුඬුව හරහා හෝ උගුර තුළට හෝ සිහින් කූරක් දමා ශ්ලේෂ්මල සාම්පලයක් ලබා ගැනීමෙනි.

පරීක්ෂණයෙන් වෛරසය තියෙනවා ද කියා නිවැරැදිව හඳුනා ගැනීමට පුළුවන්. පීසීආර් පොසිටිව් කියන්නේ එයාට රෝගය වැලඳී ඇති බවට දෙන සහතිකයක්. ප්‍රමිති සහතිකය විශ්වාස නො කළත් මේ සහතිකය නම් ස්ථිරයි.

පීසීආර් මඟින් රෝගය තියෙන පුද්ගලයන් සියයට අනූවක්ම වාගේ හඳුනාගත හැකියි.

රෝගය තියෙන පුද්ගලයන් සියයකට පීසීආර් පරීක්ෂණය සිදු කළොත් අනූවකට හෝ ඊට වැඩි ගණනකට රෝගය වැලඳී ඇති බව ( POSITIVEපොසිටිව් බව ) එළි වෙනවා.

පරීක්ෂණය කර දවසකින් වාගේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුණත් පරීක්ෂණය කරන පුද්ගලයන්ගේ ගණන වැඩි වුණොත් ප්‍රතිඵල ලැබීම පමා වෙනවා.

විදෙස්ගත වෙන විට වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ පීසීආර් පරීක්ෂණයක්.

එයට හේතුව සියයට අනූවකටත් වඩා පීසීආර් ගැන විශ්වාස කරන්න පුළුවන් නිසයි.

නිවෙසේ කාට හෝ කෝවිඩ් - 19 වැලඳී ඇත්නම් නිවෙසේ නිරෝධායනය වූ සාමාජිකයන් දින දහයකට පසුව කළ යුත්තේත් පීසීආර් පරීක්ෂණයක්.

මොනතරම් සාර්ථක වුණත් පීසීආර් පරීක්ෂණය සම්බන්ධයෙන් මතක තබා ගත යුතු වැදගත් දෙයක් තියෙනවා. පීසීආර් පරීක්ෂණයෙන් සොයා ගන්නේ නව කොරෝනා වෛරසයේ ආර්එන්ඒ නම් ජානමය ද්‍රව්‍යයයි. මේ ජානමය ද්‍රව්‍ය රෝගය සුවවී කාලයක් රෝගියකුගේ සිරුරේ පවතින්න පුළුවන්. ඒ වෙන කොට ඒ පුද්ගලයාගෙන් වෙනත් කෙනකුට රෝගය බෝ වන්නේ නැහැ. කෝවිඩ් රෝග ලකුණු මතුවී දින පහකට හයකට පසු රෝගියාගෙන් තවත් කෙනකුට රෝගය බෝවන්නේ නැහැ. ඒ නිසා පීසීආර් පොසිටිව් වුණත් රෝගය වැලඳී නැහැ.

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය දැන් ගෙදර දොර කෙරෙන පරීක්ෂණයක් තරමට සමීපවෙලා. තරමක ලාබෙට කරන්න පුළුවන් නිසා වැඩි දෙනකු ගේ තෝරා ගැනීම වී ඇත්තේත් මෙයයි. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී සිදු කරන්නේ වෛරසයේ පිටත ආවරණයේ තිබෙන විශේෂ ප්‍රෝටීනයක් හඳුනා ගැනීමයි. පුද්ගලයකුගේ නාසයෙන් ලබා ගන්නා ශ්ලේෂ්මල සාම්පලයකින් පරීක්ෂණය සිදු කරනවා. පරීක්ෂණය කිරීමටත් ප්‍රතිඵල ලබා ගැනීමටත් ගතවෙන්නේ මිනිත්තු 15 - 30 ක් වගේ කෙටි කාලයක්. රැපිඩ් ඇන්ටිජන් රෝගය තියෙන පුද්ගලයන් සිය දෙනකුට කළොත් 50 - 60% කටම රෝගය වැලඳී ඇති බව ( පොසිටිව් වී ඇති බව ) හඳුනා ගන්න පුළුවන්. පොසිටිව් වෙන්නේ සිරුරේ නව කොරෝනා වෛරස් අධිකව ඇත්නම් පමණයි. සියයට හතළිහකට රෝගය ඇති බව සොයා ගන්න බැරි වෙනවා. ( රෝගය තිබුණත් මඟ හැරෙනවා. ) එහෙම වුණත් මේ පරීක්ෂණය හරිම වැදගත්. සමාජයේ වේගයෙන් රෝගය පැතිරෙද්දී ඉක්මනින් රෝගීන් හඳුනා ගැනීමට, කුමන හෝ හදිසියකට ඉතා ඉක්මනින් කෝවිඩ් - 19 ඇති නැති බව දැන ගැනීමට අවශ්‍ය නම් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය උදව් වෙනවා. රෝගීන්ගෙන් සියයට හතළිහක් පමණ මඟ හැරෙන නිසා සමහර අවස්ථාවල රැපිඩ් ඇන්ටිජන් නෙගටිව් වුණත් පීසීආර් පරීක්ෂණයකට පුද්ගලයන් යොමු කරනවා.

පීසීආර් හා ඇන්ටිජන් යනු අපේ දෛනික ශබ්ද කෝෂයට එකතුවූ අලුත් වචන දෙකක් නෙවෙයි. ඒවා අපේ ජීවිතයට රක්ෂණ සංස්ථාවන් වගෙයි.

********************************************

ළඟදීම අපටත් ගෙදරදීම ඇන්ටිජන් පරීක්ෂණයක් කරගන්න පුළුවන් වේවි

ළඟදීම අපටත් ගෙදරදීම ඇන්ටිජන් පරීක්ෂණයක් කරගන්න පුළුවන් වේවි. මේ ගැන සුව ඇමැති අනාවැකි පළකර තිබෙනවා.

එසේ වුණොත් ඔබට ඔබත් පවුලේ සාමාජිකයනුත් වසංගතයක් රැක ගන්න වඩාත් පහසු වේවි.

ඩෙල්ටා නම් සීග්‍රයෙන් පැතිරෙන කොරෝනා වෛරස් ප්‍රභේදය අපේ ආදරණීයයන් ගොදුරු කරමින් පවතිද්දී නිතර ස්වයං පරීක්ෂණයක් කර ගත හැකි නම් එය සැනසුම් සුසුමක් හෙළන්න කාරණයක්. කවරදා හෝ ඔබත් රැපිඩ් ඇන්ටිජන් කට්ටලයක් මිලදී ගත්තොත් මේ කාරණා ගැන දැඩි අවධානයක් යොමු කරන්න. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලයේ උපදෙස් පත්‍රිකාව හොඳින් කියවා බලන්න. අකුරට ඒවා පිළිපදින්න. පරීක්ෂණය කිරීමට අඩු වශයෙන් මිනිත්තු 30 කටවත් පෙර කිසිවක් කෑමට බීමට නො ගන්න. නාසයෙන් ශ්ලේෂ්මල ස්වල්පයක් ගැනීමට පෙර නාසය විද කරාබු දමා ඇත්නම් ඒවා ගලවන්න. පවුලේ එක් එක් සාමාජිකයාට වෙන වෙන ම ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල තබා ගත යුතුයි. සාම්පල ගැනීමේදී නාසයෙන් රුධිරය වහනය වුණොත් පැය 24 ක් යන තුරු නැවත සාම්පලයක් නො ගන්න. ශල්‍ය මුව ආවරණ ( සර්ජිකල් මාස්ක් ) මෙන් මේවා ද භාවිත කළ හැක්කේ එක් වරක් පමණයි. උගුරෙන් ශ්ලේෂ්මල ගැනීමේ අපහසුවක් ඇත්නම් නාස් පුඬු දෙකෙන්ම ශ්ලේෂ්මල ගන්න.

පරීක්ෂණය කිරීමට පරීක්ෂණ කට්ටලය තැබිය යුත්තේ සබන් ගා හෝ විසබීජහරණය කර පිරිසුදු කළ මේසයක් මතයි.

. රැපිඩ් ඇන්ටිජන් කට්ටලය විවෘතකර මිනිත්තු 30 ක් තුළ පරීක්ෂණය කළ යුතුයි.හොඳින් සබන් ගා මිනිත්තු 2 ක් සෝදන්න. දෑත් තෙතමනය නැති වන්න වියළා ගන්න .

 

උපදෙස් - කායික රෝග විශේෂඥ වෛද්‍ය

වරුණ ගුණතිලක