මාස දෙකහමාරක දරුවා මිය ගියේ කිරි පිට උගුරේ ගිහින්ද?

ජූලි 15, 2024

 

මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ මාස දෙකහමාරක් වයසැති නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙක් කිරි හිර වීම නිසා මියගිය ශෝචනීය පුවතක් පසුගිය දිනෙක අසන්නට ලැබිණි.

පාන්දර 3.00ට පමණ මෙසේ කිරි හිරවීම නිසා දරුවා ළඟම ඇති මාතර නව දිස්ත්‍රික් රෝහලට ගෙන ගියත් එහි හදිසි ප්‍රතිකාර ඒකකයක් නොමැති බව පවසා වෙනත් රෝහලකට දරුවා ගෙන යන්න යැයි ආරක්ෂක නිලධාරියා පවසා ඇත. තවත් කිලෝමීටර් 12 ක දුරක් ගෙවා මාතර මහ රෝහල වෙත ආ ඔවුනට ඉතිරි වූයේ ශෝකාන්තයක්ම පමණි. රෝහලට ආ ඔවුන්ට වෛද්‍ය නිලධාරීන් පැවැසූයේ, ප්‍රමාද වැඩියිනේ ටිකක් කලින් ආවා නම් දරුවගේ ජීවිතේ බේර ගන්න තිබුණනේ කියායි.

ඔසඳ ආකේශ් නමැති කිරිසප්පයා ජීවිතයත් මරණයත් අතර සටන් වැදී සටනින් පරාජය බාර ගන්නට වූයේ ⁣සෞඛ්‍ය සේවා පද්ධතියේ් ඇති දුර්වලතාව නිසා බව කාට නම් කිව නොහැකිද?

කිරි හිරවීම, කිරිවමනය යෑම ඕනෑම දරුවකුට විය හැකි දෙයකි. විශේෂයෙන්ම කුලුඳුල් මව්වරුන් මේ පිළිබඳ දක්වන්නේ බියකි.

 

කිරි හිර වීම

කිරි හිරවීම යනු කිරි පිට උගුරේ යෑමයි. මව අලුත උපන් දරුවාට කිරි දෙන ඉරියව් පිළිබඳ මනා අවබෝධයකින් සිටිය යුතුමයි. හාන්සි වී කිරි දීම කොහෙත්ම අනුමත නොකරන්නේ මේ හේතුව නිසයි. හාන්සි වී කිරි දෙද්දී දරුවාගේ හිස හා සිරුර ඇත්තේ එකම මට්ටමකයි. කුඩා දරුවන්ට කොට්ට තැබීමත් අනුමත නොකරන කාරණයකි. කිරි දී පැත්තට හරවා තැබීමට උපදෙස් ලැබේ. පෙණහැල්ල, ශ්වාසනාලය, ගලනාලය යන මේ සියල්ල ඇත්තේ එකතැනයි. ගලනාලය හා ආමාශය අතර ඉබේ වැහෙන කපාටයක් ඇතත් එය කුඩාම දරුවන්ගේ එතරම් වැඩී නැත. මේ නිසා ආමාශයට යන කිරි එකවරම ගලනාලය දිගේ විත් කිරි වමනය ලෙසටත්, ශ්වාසනාලයට ගියහොත් නහයෙන් කිරි ඒමට හෝ පෙණහැල්ලට යාමට පුළුවනි. මෙහිදී යම් හෙයකින් කිරි පිට උගුරේ ගියහොත් පෙණහැල්ල කරා යාවී. මෙය ඉතාම භයානක තත්ත්වයකි.

 

කිරි වැඩිපුර නිපදවෙන අම්මලාටයි මේ ආමන්ත්‍රණය

ඇතැම් මව්වරුන්ගේ කිරි වැඩිපුර නිෂ්පාදනය වේ. විදලා කිරි ශ්‍රාවය වන්නේ මෙවැනි මව්වරුන්ටයි. එහිදී දරුවාට බී ගන්න බැරි තරමටම වැඩිපුර ගලා ඒ. එහිදී කිරි පිට උගුරේ යාමට ඇති අවස්ථාව වැඩියි. එසේ වැඩිපුර කිරි ශ්‍රාවය වන්නේ නම් නිවැරැදි ඉරියව්වවෙන් කිරි දීම අත්‍යවශ්‍ය කරුණකි.

 

ගුඩුස් යැවීම අනිවාර්යයි

ගුඩුස් යැවීමේ කර්තව්‍යය නිසිපරිදි අනුගමනය කළ යුත්තේ කිරි පිට උගුරේ යෑම සහ කිරි වමනය යෑම වළක්වාලීමටයි.

දරුවා කිරි බොද්දී වාතය ඇතුළු වීම වැළැක්විය නොහැකියි. එසේ ඇතුළුවන වාතය පිටතට යැවීම ගුඩුස් යැවීමයි. ඇතැම් මව්වරුන්ට දරුවාගේ ගුඩුස් යැවීම ඉතාම අපහසු කර්තව්‍යයකි.

දරුවාගේ උදර ප්‍රදේශය මවගේ උරහිසට වන්නට තද කරගෙන සිටීමෙන් ගුඩුස් යාවී. සමහර මව්වරුන් මෙසේ දරුවා උරහිස ප්‍රදේශයට වඩා ගන්නත් බියක් දක්වයි. මවගේ පපුවට දරුවාගේ පිට හේත්තු කරගෙන ඉන්දවාගන්න. උදර ප්‍රදේශය යාන්තමට තද කරන්න. මෙය ගුඩුස් යැවිය හැකි පහසු ඉරියව්වකි.

පිට උගුරේ නොගියත් ඇතැම් දරුවන්ට කිරිවමනය යෑම සිදුවයි. කිරිවමනේ දාපු පමණින්ම නහයෙන්, කටින් කිරි ආ පමණින් රෝහලක් කරා යෑම අවශ්‍ය නොවේවි. නහයෙන් කිරි ඒම ගැටලුවක් නොවේ. එහෙත් පෙණහැල්ල කරා යෑමයි භයානක වන්නේ. පෙණහැල්ලට කිරි යෑමෙන් දරුවාට හුස්ම ගැනීමට අපහසු වේ. දරුවා නිල් පැහැ වේ. ⁣මෙය වහාම රෝහලක් කරා යා යුතු අවස්ථාවකි.

කිරි පිට උගුරේ ගිය විට කෙරෙන ප්‍රථමාධාර

කිරි පිට උගුරේ ගිය විට ප්‍රථමාධාර කිරීමට මව්වරුන් දැන සිටිය යුතුය. දරුවාගේ ඔළුව පහළට සිටින සේ අල්ලා අත්ල මත(රූපයේ පෙනෙන පරිදි) දරුවා තබාගත යුතුයි. අතේ තබාගෙන දරුවාගේ පිටට තට්ටු කරන්න. කිරි ටික පිටතට ඒවි. ඒ සමඟින්ම රෝහලක් කරා යා යුතුයි. එම ඉරියව්වෙන්ම රෝහල කරා ගෙන යෑමටත් වග බලාගත යුතුයි.

හොඳින් කිරි පෙවුණත්, ගුඩුස් ගියත් ඇතැම් දරුවන්ට කිරි වමනය යයි. මෙය රෝගී තත්ත්වයක් විය හැකියි.

දරුවාට කිරි දීම කළ යුතු වන්නේ ඉල්ලා සිටින විටයි. අඬපු පලියටම කිරිදිය යුතු නොවේ. දරුවන් සියලු අවශ්‍යතාවන් හඟවන්නේ ඇඬීමෙනි. හොඳින් කිරි දී ගුඩුස් යවා තබන දරුවා ටික වෙලාවකට පසු අඬන්නේ කුසගින්නට නොවිය හැකියි. කොතරම් කුස පිරුණත් කිරි දෙන දෙන වාරයක් පාසා කිරි බීමට සූදානමින් සිටින දරුවන් ද සිටියි. මෙවිට වැඩිපුර කිරි වමනය විය හැකියි. පිට උගුරේ යන්නටත් පුළුවනි.

 

කොලික් තත්ත්වය අලුත උපන් දරුවන්ට ඇතිවිය හැකියි. කොලික් නිසා දරුවන් අඬන්නේ රාත්‍රී කාලයටයි. දවල් දවස තිස්සේ කිරි බොන විට ඇතුළුවන වාතය හොඳින් ගුඩුස් නොගියහොත් බඩවැල්වල තැන්පත්ව තියේවි. දරුවන් ඇඹරෙමින් අඬන්නේ මේ බඩවැල්වල වාතය පිරුණු වේදනාවටයි. ඇතැම් දරුවන් අඬමින්ම වාතය පිට කරයි. හොඳින් ගුඩුස් යැව්වොත් කොලික් තත්ත්වය ඒ්මට ඇති ඉඩකඩත් අඩු වේවි. ඒ හරහා කිරි වමනය, කිරි පිට උගුරේ යෑම සිදුවන්නටත් පුළුවනි.

 

උපදෙස්:

ළමා රෝග විශේෂඥ වෛද්‍ය

මනෝරි ගමගේ