වර්ෂ 2025 ක්වූ January 13 වැනිදා Monday
මනස රකින ව්‍යායාම මෙන්න
කාර්යබහුල ජීවන රටාවත් සමඟ මිනිසුන් බොහෝ සෙයින් මානසික රෝගවලට ගොදුරු වන අතරම එයින් බොහෝ පීඩාවට පත්වේ. එමෙන්ම සාමාන්‍ය ජීවන රටාවන් අවුල් වියවුල් වීමටත්, ජීවිතය වින්දනය කිරීම වෙනුවට විඳවීමට සිදුවීමත් එහි අතුරුඵල වේ. එහෙයින් කායික සුවතාවය මෙන් ම මානසික සුවතාවයත් එකම තරාදියක තැටි දෙක මෙන් සෑම විටම සමබරව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. කායික සුවතාවය පවත්වා ගැනීමට නොයෙකුත් ආකාරයේ ව්‍යායාමවල නිරත වීමට මිනිසුන් පුරුදුව ඇති අතර, මානසික සුවතාවය සඳහා ද ව්‍යායාම ඉතා වැදගත් වේ.
ව්‍යායාම තුළින් මොළයේ රසායනික හෝර්මෝන ශ්‍රාවය උද්දීපනය කරන අතර සෙරොටොනීන් (Serotonin), ආතති හෝර්මෝන (Strees hormone) හා එන්ඩොර්ෆින් (endorphin) එවන් හෝර්මෝනවලින් කිහිපයකි. එම හෝර්මෝන මානසික රෝගාබාධ හට ගැනීමට ඇති අවදානම අඩු කිරීමටත්, මානසික මට්ටම තීව්ර කර අවධානය, ඒකාග්‍රතාවය හා මතකය වැඩි කිරීමටත් හේතු කාරක වේ.
නිතිපතා ව්‍යායාම කිරීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්රතිලාභ ගැන අප මින් පෙර කතා බහ කළ නිසා ඔබට ඒ පිළිබඳ අවබෝධයක් තිබිය හැකි නමුත් ව්‍යායාම කිරීමට කාලය සොයා ගැනීම අභියෝගයක් විය හැකි ය. නමුත් ඒ සඳහා දිනකට විනාඩි 30ක කාලයක් හොඳටම ප්‍රමාණවත් ය.
Aerobics සිට යෝග දක්වා, සෑම ශාරීරික ක්‍රියාකාරකමක්ම ඔබට ආතතිය අඩු කිරීමට උපකාරී වේ. කුඩා ශාරීරික ව්‍යායාම ක්‍රම පවා ඔබේ මානසික ආතතිය අවම කර ගැනීමට බොහෝ දුරට උපකාරී වේ. ශාරීරික ක්‍රියාකාරකම් මඟින් ආතතිය අඩු කිරීම සහ එය ඔබගේ ආතති කළමනාකරණ උපාය මාර්ගයක් ලෙස හැඳින්විය හැකිය.
ආතතිය සමනය කිරීම සඳහා ව්‍යායාම උපකාර කර ගත හැකි ක්‍රම
ඔබ ව්‍යායාම කළ දවසක් සහ ව්‍යායාම සිදු නො කළ දවසක් සැසඳූ විට ඔබටම ඔබ ගැන යහපත් වෙනසක් (කායික හා මානසික) හා වැඩි ශක්තියක් දැනෙනු ඇත. ව්‍යායාමවල ඍජු ප්රතිලාභ පිළිබඳ දැන් අපි අවධානය යොමු කරමු.
මනෝභාවය වැඩිදියුණු කරයි
විවිධ හේතූන් මත, ශාරීරිකව ක්‍රියාශීලි වීම සහ ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් කෙනෙකුගේ මනෝභාවය ඉහළ නැංවිය හැකි ය. උදෑසන සහ ඔබ ඔබේ දවස ආරම්භ කිරීමට පෙර ව්‍යායාම කිරීම ශරීරයට සහ මනසට ඉතා හොඳ පිබිදීමක් විය වනු ඇත. මෙය සමස්ත ශරීරයට සහ මනසට සැහැල්ලු හා ප්‍රසන්න හැඟීමක් ඇති කරයි. උදෑසන ව්‍යායාම කරන අය මුළු දවස පුරාම කඩිසර ව සිටින අතර, ව්‍යායාම නො කරන අයට වඩා වැඩි ශක්තියකින් වැඩකටයුතු සිදු කරන බව පෙනේ.
එන්ඩොර්ෆින් නිෂ්පාදනය වැඩි කරයි
අධ්‍යයනයන් ගණනාවක් පෙන්නුම් කර ඇත්තේ ශාරීරික ක්‍රියාකාරකම් ශරීරයේ එන්ඩොර්ෆින් (endorphin) නිෂ්පාදනය උත්තේජනය කරන බව යි. එය කායික යහපැවැත්ම පිළිබඳ හැඟීමක් ලබා දීමට අමතර ව, එය ප්‍රබල වේදනා නාශකයක් ද වේ. සැහැල්ලු ව්‍යායාමයකින් හෝ ශාරීරික ක්‍රියාකාරකම්වලින් පසු මනෝභාවය සහ ශක්තිය වැඩි වීම ශරීරයේ එන්ඩොර්ෆින් මුදාහැරීමේ ප්රතිඵලයකි. ඇවිදීම හෝ පැනීම වැනි සරල ව්‍යායාම කෙනෙකුගේ මනෝභාවයට සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කරන බව පෙන්වා දී ඇත.
මොළය සන්සුන් කිරීමෙන් මානසික අවපීඩනය වළක්වයි
විවිධ ව්‍යායාම ක්‍රම නිතිපතා සිදු කිරීම මඟින් මනස සන්සුන් ව තබාගැනීමට උපකාරී වේ. ව්‍යායාමයේ දී මාංසපේශී නිශ්චිත කාර්යයක් වෙත යොමු කිරීම මඟින් මාංසපේශී වර්ධනය කිරීමට ද හේතු වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එන්ඩොර්ෆින් ශරීරය පුරා සැලකිය යුතු ප්‍රමාණවලින් මුදාහරිනු ඇත. ව්‍යායාම නිතිපතා කරන විට මානසික අවපීඩනය අඩු කරන බව පෙන්වා දී ඇත. ශාරීරික ක්‍රියාකාරකම් තුළින් ඔබේ ශරීරය කෙරෙහි අවධානය යොමු කිරීමට උපකාර කිරීමෙන් මනස සන්සුන් කිරීමට ද උපකාරී වේ. ඔබ ඔබේ ශරීරයට පමණක් අවධානය යොමු කිරීමට සෑම දිනකම මිනිත්තු කිහිපයක් හෝ පැය කිහිපයක් ගත කිරීමට කැමති නම්, එය වඩාත් යෝග්‍ය වේ.
සමාජ අන්තර්ක්‍රියා වැඩිදියුණු කරයි
ඔබේ ශරීරයේ හෝමෝන සැපයුම වැඩිදියුණු වන විට පවුලේ අය සහ මිතුරන් සමඟ කාලය ගත කිරීමට ඔබේ කැමැත්ත ද වැඩි වේ. වැඩි ශක්තියක් සමඟ, ඔබට රැකියාවෙන් පසු හෝ සති අන්තයේ ඔබ කැමති පරිදි මිතුරන් සහ පවුලේ අය සමඟ කාලය ගත කළ හැකි ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ද ඔබට ප්‍රයෝජන ලැබෙනු ඇත. ඊට අමතර ව, ඔබ නිතිපතා ව්‍යායාම් මධ්‍යස්ථානයකට හෝ එළිමහන් ව්‍යායාම සඳහා ගියහොත්, ඔබ නව පුද්ගලයින් මුණගැසී මිතුරන් ඇති කර ගැනීම මඟින් ඔබේ සමාජ කවය පුළුල්කර ගත හැකි ය.
විශ්වාසය වැඩිදියුණු වේ
ව්‍යායාම මඟින් කෙනෙකුගේ ආත්ම අභිමානය සහ පෞරුෂය පිළිබඳ හැඟීම ඉහළ නංවයි. නිරතුරුව ව්‍යායාම කිරීම නිසා ඔබේ කායික සහ චිත්තවේගවල යහපැවැත්ම වැඩිදියුණු වේ. නිතිපතා ව්‍යායාම පුරුද්දක් පවත්වා ගැනීමෙන් ඔබට නිරෝගී ශරීර බරක් සහ මානසික සුවතාවයක් පවත්වා ගැනීමට උපකාරී වේ. ප්‍රතිඵලයක් වශයෙන්, ඔබේ ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය ඉහළ යනු ඇත.
ආතතිය මඟහරවා ගැනීම සඳහා උපකාර වන ව්‍යායාම
ඔබේ සතිපතා ව්‍යායාම අරමුණු සපුරාලීමට විවිධ ක්‍රම තිබේ. ආතතිය අවම කරගැනීම සඳහා ව්‍යායාමවල ප්රතිලාභ ලබා ගැනීමට ඔබ මැරතන් ධාවකයෙකු හෝ අසාමාන්‍ය මලල ක්‍රීඩකයෙකු වීමට අවශ්‍ය නො වේ. බයිසිකල් පැදීම, වේගයෙන් ඇවිදීම හෝ පැනීම, පිහිනීම හෝ aerobics, ටෙනිස් හෝ බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීම, නැටුම්, ව්‍යායාම සහ යෝග අභ්‍යාස කිරීම වැනි ක්‍රම කිහිපයක් සලකා බලන්න.
නිතිපතා ක්‍රියාශීලිව සිටීමෙන් ඔබේ මනෝභාවය ඉහළ නැංවිය හැකි අතර, ආතතිය සහ කාංසාව මෙන් ම මානසික අවපීඩනය වැනි හැඟීම් අඩු කිරීමෙන් ඔබේ මානසික තත්ත්වය ඉහළ නැංවිය හැකි ය. එය ඔබේ සාමාන්‍ය සෞඛ්‍යයට, විශේෂයෙන් ඔබේ හෘද වාහිනී පද්ධතියට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි ය. එබැවින් ව්‍යායාමය ඔබගේ දෛනික ජීවන රටාවේ කොටසක් බවට පත්කර ගන්න.
උපදෙස් -
ශරීර යෝග්‍යතා උපදේශිකා
මෙත්මා බිසේකා නානායක්කාර