වර්ෂ 2025 ක්වූ February 03 වැනිදා Monday
Doctor Door
ඉකිලි කැසීමේ රෝගයට පිළියමක්
ඉකිලි කැසීම කියන්නේ ස්ත්‍රී - පුරුෂ භේදයකින් තොරව බොහෝ අයට වැළදෙන බොහෝ පීඩාකාරී රෝගී තත්ත්වයක්. නමුත් වැඩි වශයෙන් මේ තත්ත්වය වැඩිහිටි හා තරුණ වයසේ පිරිමින් අතර දකින්නට පුළුවන්. මෙය කායිකව වගේම මානසිකවත් පීඩා ගෙනදෙන, පිරිසක් ඉදිරියේ ඉතාම අපහසුතා ඇති කරන රෝගී තත්ත්වයක්. ඒ වගේම තමයි බොහෝ අය ලැජ්ජාව නිසා සඟවාගෙන සිටින රෝගී තත්ත්වයක්.
මේ ඉකිලි කැසීමේ රෝගය Tinea Cruris යන හඳුන්වනු ලබනවා. මේ තත්ත්වයේදී ඉකිළිය ප්‍රදේශයේ, කලවා ප්‍රදේශයේ උඩට වන්නට හා ලිංගික අවයව දෙපස ප්‍රදේශයේ තදබල කැසීමක් ඇතිවෙනවා. මේ තත්ත්වයට හේතු වන්නේ දිලීර කාණ්ඩයට අයත් විසබීජ වර්ගයක්.
මෙම රෝගය ඇති වෙන්නට තදට යට ඇඳුම් ඇඳීම නිසා ඉකිලි ප්‍රදේශය කැපීම සහ දහඩිය උරා නොගන්නා යට ඇඳුම් භාවිතය යන හේතු දෙක ප්‍රධාන වශයෙන් බලපානවා.
සාමාන්‍යයෙන් යට ඇඳුමක් තෝරා ගැනීමේදී බොහෝදෙනා අවධානය යොමු කළ යුතු කාරණයක් තමයි යට ඇඳුමේ රෙදි වර්ගය පිළිබඳව. මොකද එහි අලංකාරය, මිල, විලාසිතාව ආදිය පිළිබඳ වගේම දහඩිය උරා ගැනීමට හැකි ආකාරයේ යට ඇඳුමක් තෝරා ගන්නට වගබලා ගැනීම ඉතා වැදගත්. නමුත් එසේ නොවන ආකාරයට යට ඇඳුම් තෝරාගෙන භාවිත කිරීමෙන් ඉකිලි ප්‍රදේශයට දහඩිය දැමීමේදී ඒවා යට ඇඳුමට උරා නොගැනීම නිසා දිලීර වර්ධනය වීමට පසුබිම ඇතිවෙනවා.
ඊට අමතරව දිලීරය ඇති අයෙක් භාවිත කරන ලද යට ඇඳුම් භාවිතය සහ පොදුවේ භාවිත කරන කොමඩ් එකක් සහිත වැසිකිළි භාවිතය මඟින් ද මෙම තත්ත්වය ඇතිවිය හැකිය.
මේ රෝගයේ රෝග ලක්ෂණ කිහිපයකි. ඒ අතර සම රතුවීම, බිබිළි ඇතිවීම, කැසීම සහ දැවිල්ල ප්‍රධානය.
මුලදී ඉකිලිය ප්‍රදේශයෙන් කැසීම ආරම්භ වී පසුව එය කලවා ප්‍රදේශයට හා ගුදය ආශ්රිත ප්‍රදේශ හා ලිංගික අවයව ඇති ප්‍රදේශය දක්වා පැතිරීම සිදු වේ.
රෝගය වළක්වා ගන්නට නම් ඉකිලිය අවට තෙතමනය අවම කර වියළි තත්ත්වයක් තබා ගැනීම වැදගත්. ඊට අමතර ස්නානයෙන් පසුව සහ සේදීමෙන් පසුව දහඩිය දැමීමෙන් පසුව ඉකිලිය ආශ්රිත ප්‍රදේශය වියළි තුවායකින් පිසදා ගැනීම, පවුඩර් දැමීමෙන් වියළි බව පවත්වා ගැනීම, කපු යට ඇඳුම් භාවිතය, යට ඇඳුම් සේදීමේදී හැකිනම් ඒවා උණු වතුරෙන් තම්බා ගැනීම, බොහෝවේලා එකම යට ඇඳුම ඇඳගෙන නොසිටීම, තෙත ඇඳුම් ඇදීමෙන් වැළකීම, අධික ලෙස දහඩිය දැමූ විට යට ඇඳුම් මාරු කිරීම, දිනපතා ඇඳුම් සේදීම, දිනපතා ස්නානය වැනි දේ කළ හැකිය.
නමුත් දිගුකල් මේ ඉකිලි ආශ්‍රිතව කැසීම් තත්ත්වය පවතිනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්. ඇතැම්විට සරල දිලීරනාශක ආලේපනයකින් සිදු කළ හැකි ප්‍රතිකාර විවිධ විසබීජනාශක වෛද්‍ය උපදෙස් නොමැතිව ආලේප කිරීමෙන් සංකීර්ණ තත්ත්වයක් දක්වා වර්ධනය වීමට හැකියි. ඒ වගේම කැසීම් තත්ත්වය තවදුරටත් වැඩිවිය හැකියි.
නිතර නිතර යටි පතුල් රිදෙනවා ද?
මෙම තත්ත්වය plantar fasciitis යනුවෙන් හඳුන්වයි.
කකුලේ යටිපතුල හා ඒ ආශ්‍රිතව වේදනාව ඇතිවීම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණයයි. උදෑසන අවදි වී ඇවිදිමට අඩිය තබන විට අධික වේදනාවක් පැමිණෙන නිසා කොර ගසමින් ඇවිදීමට සිදුවීම හා ටික වේලාවක් ඉඳගෙන සිට නැඟිටිමේදී වේදනාව ඇතිවීම මෙම රෝගයේදී දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයි.
කකුලේ යටිපතුලේ තිබෙන plantar fascia නම් කණ්ඩරා කොටස ප්‍රදාහයට පත්වීම plantar fasciitis ලෙස හඳුන්වනවා. plantar fascia කියන්නේ යටි පතුලේ වක්‍රතාව පවත්වා ගැනීමට හා ඇවිදීමට උපකාරී වන කණ්ඩරා කොටසක් වෙනවා. එමෙන්ම පොළොවෙන් ඇතිවන පීඩනය දරාගෙන සිටීමත් මෙහි ප්‍රධාන කාර්යයක්. පතුලේ ඇඟිලිවල සිට විළුඹේ අස්ථිය දක්වා දිවෙන ඝනකම් පටල කිහිපයක් ලෙසට මෙම කණ්ඩරාව සෑදී තිබෙනවා. මෙම කණ්ඩරාව මතට අධික පීඩනයක් ඇතිවීම නිසා මෙය ප්‍රදාහයට පත්වීම සිදුවෙනවා.
කණ්ඩරාව මතට අධික පීඩනයක් ඇතිවීමට හේතු කිහිපයක් බලපානවා. ඒ අතර ස්ථුලතාව, පාවහන් නිවැරදි නොවීම, යටිපතුලේ වක්‍රතාව අඩුවීම, යටිපතුලට සිදුවී ඇති අනතුරු, වැඩිවෙලාවක් සිටගෙන සිටීම, පාදයේ කෙණ්ඩා කොටස තදවීම, දිවීම පැනීම වැඩි ක්‍රීඩා නිතරම සිදුකිරීම සහ කෙටි කාලයකින් බර වැඩිවීම වැනි හේතු බලපානු ලබයි. මෙම තත්ත්වයේදී බොහොමයක් රෝගීන් කෙටිකාලීන වේදනාව පහවීම සඳහා වේදනානාශක injection ලබා ගනී. වේදනානාශක injection මඟින් වේදනාව අඩුකරන නමුත් පසුකාලීනව කණ්ඩරාවේ තන්තුමය බව වැඩිවීමට හා කණ්ඩරාව දිරාපත් වීමේ වේගය වැඩි කිරීමට හේතුවී නැවත ඉක්මනින් වේදනාව ඇතිවන බැවින් වේදනානාශක injection ගැනීමෙන් වළකින්න. එනම් ඕනෑම සන්ධි වේදනාවකට ඔබ වේදනානාශක injection ලබා ගැනීමෙන් වෙන්නේ ඔබගේ රෝගය තවත් උත්සන්න කර ගැනීමක් පමණකි. මෙම තත්ත්වයෙන් මිදීමට නිවෙසේදී සරල ප්‍රතිකර්ම කිහිපයක් කළ හැකියි. මුලින්ම උදෑසන උණුවතුර ස්වල්පයකට ලුණු ස්වල්පයක් දමා සම්පූර්ණයෙන්ම කකුල් දෙක වැසෙන සේ දමා තබාගන්න. මෙය දිනපතා සතියක් පමණ කරන්න. උණුවතුර දැමීමෙන් පසු යටිපතුලේ රිදෙන ස්ථාන හොඳින් මසාජ් කරන්න. එමෙන්ම ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා ව්‍යායාමවල නිරත වෙන්න.
යටිපතුලේ වක්‍රතාව අඩුනම් එය සකස් කිරීමට medial arch support යන කොටසක් පලඳින්න. වේදනාව දිනෙන් දින වැඩි වන්නේ නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතු වේ.
ඔබේ ගැටලුව අපට එවන්න
හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නීරෝගීකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධි පසු කරමින් යනවිට දී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම් දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.
අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.
එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
උපදෙස් -
කායික රෝග විශේෂඥ වෛද්‍ය
එච්. ඩී. විජේසිංහ