හැමදාම කන බිම්මල් වෙනස් විදිහට හදමුද?

මාර්තු 17, 2025

බිම්මල් විවිධ රසට විවිධ ක්‍රමයට ආහාරයට එක්කර ගන්නට වැඩි දෙනෙක් උනන්දු වන්නේ එය රසයෙන් මෙන්ම ගු ණයෙන්ද පිරි ප්‍රෝටීන් බහුල ආහාරයක් නිසයි. මේ නිසා බිම්වල්වලට වෙ‍ෙළඳපොළේ හොඳ ඉල්ලුමක්ද තිබේ. බිම්මල් ආහාරයට ගැනීමෙන් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් දියකර හරියි. රුධිර පීඩනය අඩුකරයි. එමෙන්ම පිළිකා සෛල විනාශ කිරීමේ හා රක්ත හීනතාවය අඩු කිරීමේ හැකියාවක්ද යුක්තයි. මේ නිසාම බිම්මල්වලින් කටට රසට සාදාගත හැකි කෑම වර්ග ගැන දැනුම්වත් වෙන්නත් ඔබ කැමැත්තෙන් ඇති. තරුණී නුග සෙවණ සුසංයෝගයෙන් අද ඔබේ ඒ අරමුණ ඉටු කරලන්නේ මෙලෙසිනි.

 

හතු සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය:-

 

බිම්මල් ග්‍රෑම් 250ක්

පාන් පිටි කප් 01ක්

කෝන් ෆ්ලවර් කප් 01ක්

රස අනුව ලුණු,

ගම්මිරිස් කුඩු

මිරිස් කුඩු මේස හැඳි 01ක්

කහකුඩු තේ හැඳි 01ක්

තක්කාලි ගෙඩි 02 - 03ක්

බෙල් පෙපර් හෝ මාළු මිරිස් කරල් 02 - 03ක්

බී ලූනු ගෙඩි 02ක්

දෙහි යුෂ ස්වල්පයක්

තෙල් අවශ්‍ය පමණ

සරසා ගැනීමට

සලාද කොළ

සීනි මේස හැඳි 01ක්

 

සාදන ක්‍රමය:-

 

01. බිම්මල් සෝදා වතුර මිරිකා ඉවත්කර සිහින් තීරුවලට ඉරාගන්න.

 

02. පාන්පිටි, කෝන් ෆ්ලවර්, සීනි ස්වල්පයක්, රස අනුව ලුණු කුඩු,

ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, කහ කුඩු මිශ්‍රණ හොඳින් කවලම් කර බිම්මල්වලට මිශ්‍ර කර ගන්න.

03. වතුර ටිකක් අවශ්‍ය නම් එකතු කරගන්න. පසුව රත් වූ ගැඹුරු තෙලේ රන්වන් පාටට බැදගන්න.

04. තක්කාලි කැට ආකාරයට කපාගන්න. බී ලූනු සිහින්ව කපාගන්න. මාළු මිරිස් හෝ බෙල් පෙපර් තීරුවලට කපා ගන්න.

 

05. ‍රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, දෙහි යුෂ එකතුකර කලින් බැඳගත් බිම්මල් කලවම් කරගන්න.

 

06. සලාද කොළවලින් සරසා ගන්න.

 

 

හතු මිශ්‍ර නූඩ්ල්ස්

 

අවශ්‍ය ද්‍රව්‍ය:-

 

තම්බාගත් නූඩ්ල්ස්

පැකට් 01ක්

කපාගත් හතු ග්‍රෑම් 200ක්

කපාගත් කැරට්

ග්‍රෑම් 100ක්

කපාගත් ගෝවා

ග්‍රෑම් 100ක්

කපාගත් ලූනූ කොළ

ග්‍රෑම් 100ක්

බටර් ග්‍රෑම් 25ක්

කපාගත් සැල්දිරි ග්‍රෑම් 10ක්

සෙසම් ඔයිල් තේ හැඳි 01ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 01ක්

සීනි තේ හැඳි 1/2ක්

රස අනුව ලුණු

 

සාදන ක්‍රමය:-

 

01. භාජනයක් ළිප තබා එයට බටර් ටිකක් එකතු කරන්න.

02. බටර් රත් වූ පසු එයට කපා ගත් හතු, කැරට්, ගෝවා සහ සැල්දිරි එකතු කරන්න.

03. මෙයට තම්බාගත් නූඩ්ල්ස් දමා හොඳින් මිශ්‍ර කරන්න.

 

04. රස පදමට ගම්මිරිස් සහ ලුණු කුඩු එකතු කරන්න. සීනි ටිකට දමා ලූනු කොළ ටික හා සෙසම් ඔයිල් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

 

05. මෙය ළිපෙන් බා දීසියකට බෙදා සිහින්ව කපා ගත් ලූනු කොළ ටිකක් උඩින් ඉස මේසෙට යවන්න.

 

 

හතු මිශ්‍ර සුප්

අවශ්‍ය ද්‍රව්‍ය :-

 

නැවුම් හතු ග්‍රෑම් 250ක් සැල්දිරි ග්‍රෑම් 25ක් ගම්මිරිස් ඇට තේ හැඳි 01ක්

බටර් ග්‍රෑම් 15ක්

පාන්පිටි ග්‍රෑම් 25ක්

නැවුම් කිරි මිලි ලීටර් 50ක්

ලුණු ස්වල්පයක්

පාස්ලි කොළ ග්‍රෑම් 10ක් වතුර මිලි ලීටර් 350 ක්

 

සාදන ක්‍රමය:-

 

01. බඳුනක් ළිප තබා එයට වතුර මිලි ලීටර් 200ක් දමා හතු, සැල්දිරි සහ ගම්මිරිස් ඇට එකතුකර විනාඩි 12- 15ක් හොඳින් තම්බාගන්න.

 

02. ළිපෙන් බා නිවෙන්නට හරින්න. ඉන්පසු බ්ලෙන්ඩරයක් ආධාරෙන් හොඳින් මිශ්‍ර කරගන්න.

 

03. පතුල ඝනකම භාජනයක් ළිප තබා එයට බටර් ටිකක් දමන්න.

 

04. එය දියවුණු පසු පාන්පිටි එක්කර ලී හැන්ඳකින් හොඳින් මිශ්‍ර කරන්න.

 

05 . මෙය මඳ ගින්නේ සිදුකළ යුතුයි. ඉන්පසු වතුර මිලි ලීටර් 150ක් පමණ එකතුකර මික්ස් එකක් භාවිතයෙන් හොඳින් ගසා ගන්න.

 

06. මේ මිශ්‍රණයට ඉහත සාදා ගත් හතු මිශ්‍රණය එකතු කරන්න. ලුණු කුඩු සහ නැවුම් කිරි එකතු කරන්න.

7. සියල්ල නැවත හොඳින් මිශ්‍ර කර ළිපෙන් බා කුඩා සිදුරු සහිත පෙරණයකින් පෙරාගන්න.

 

08. බඳුනකට බෙදා පාස්ලි කුඩාවට කපා උඩින් ඉස සරසාගෙන සංග්‍රහයට යොදා ගන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ සූපවේදිනී

සුනේත්‍රා ඒකනායක

 

 

[email protected]