මව්පියන්ගේ සමස්තය කේන්ද්‍රගත වෙලා තියෙන්නේ දරුවන් වටා

මැයි 31, 2021

 

ආදරයෙන් බැඳෙන දෙදෙනකුගේ ආසන්නතම ප්‍රාර්ථනාව තමයි විවාහය. ඉන් පස්සේ මධුසමයේ ප්‍රහර්ශය මැකී යද්දී ඒකායන ප්‍රාර්ථනාව වෙන්නේ දරු සම්පතක්.

"ඇයි අපේ සමාජය දරුවාට සම්පතක් කියා හඳුන්වන්නේ?"

විවාහයේ දී රන් හුයකින් දෑඟිලි බැඳගත් අඹු සැමි යුවළක් එකට තබන දෘඪතර බන්ධනය වෙන්නේ දරුවන්. තමන් අතර මොන තරම් නොගැළපීම් තිබුණත් දරුවන් නිසාම විවාහය පවත්වාගෙන යන අඹු සැමියන් කොතෙකුත් හිඳිනවා. මෙවැනි මාතෘකාවක් මෙවර තෝරා ගැනීමට විශේෂිත හේතුවක් වුණේ පසුගිය සතියක පළවූ පුවත්පත් විශේෂාංගයක් නිසයි. එහි ශීර්ෂයේම සඳහන්ව තිබුණා, "දරුවන් නිසා මව්පියන්ට වෙන්වීමට බලපාන හේතුවක්" පිළිබඳව. රූපවාහිනියේ ඒ සම්බන්ධ දැන්වීම දකිද්දී මාව ත්‍රස්ත වෙලා ගියා. මාපිය දූ දරු කියන අපූර්ව බැඳීමට බරපතල හානියක් ඇතිකරන මෙවන් දෑ ප්‍රසිද්ධ මාධ්‍යයක විමසුමට බඳුන් කළ යුතුද?

මේ පිළිබඳ කතිකාවතක් සඳහා පාරම්පරික ජ්‍යොතිර්වේදී දේශමාන්‍ය ජානක රත්නායකයන් හමුවූවා.

* ජානක මහත්තයා, මොකක්ද මේ සම්බන්ධයෙන් ඔබතුමන්ට කියන්නට තියෙන්නේ?

"දරුවන් සිටින මව්පියන්ගේ සමස්ථය කේන්ද්‍රගතවෙලා තියෙන්නේ දරුවන් වටා. ඔවැනි ලිපි වරින් වර පළවෙනවා. දරුවන් නිසා මව්පියන්ට අපලයි. මව්පියන් දික්කසාද වෙනවා, දරුවන් නිසා පරිහානියට පත්වෙනවා... ඔන්න ඔවැනි කතා සපුරා බොරු. දරුවකුගේ ග්‍රහ පිහිටීමක්, දරුවකුගේ නමක් වගේ දෙයක බලපෑමක් මව්යන්ට කිසිසේත්ම බලපාන්නේ නැහැ.

මම පැහැදිලිව කියනවා, මව්පියන් නිසානම් දරුවන්ට අපල සිදුවිය හැකියි. දෙන්න දෙමාල්ලො අතර නිතර අඬදබර වෙනවා නම්, කාලා බීලා මිල මුදල් නාස්ති කරනවා නම්, අනියම් සබඳතා ඇති කරගෙන දික්කසාද වෙන තැනට කටයුතු කරනවා නම් අන්න දරුවන්ට අපල.

එතැනදී දරුවන්ට සිද්ධ වෙනවා එක්කො අම්මා ළඟ, නැත්නම් තාත්තා ළඟ හෝ කිරි අම්මා බාරයේ ජීවත් වෙන්න. එහෙම වෙන්නෙ මව්පියන් ගෙ වැරැදි නිසානෙ. නමුත් පොඩි දරුවන් අපි දෙන දෙයක් කාලා, අපි කියන විදිහටනෙ හැදෙන්නෙ. ඒ නිසා දරුවන්ට අපල කරන්නෙ අපිමයි. දරුවන් නිසා අපලයි කිව්වාම ඒක දඩමීමා කරගෙන තමන්ගෙ වැරැදි වහගන්න මව්පියන් ක්‍රියා කරන අවස්ථා තියෙනවා. ඒක හරිම අපරාධයක්.

* ඔබතුමා එහෙම කිව්වට ඔය මතය පතුරුවන්නෙ ජ්‍යොතිර්වේදීන්මනෙ...?

"අන්න එතන තමයි තියෙන ලොකුම වැරැද්ද. ඇත්ත.... ඔය අදහස මව්පියන්ගෙ ඔළුවට දාන්නෙ කේන්දර බලන මිනිස්සු. එවැනි අයට කිසි ලෙසකින්වත් ජ්‍යොතිෂවේදීන් කියන ගෞරවණීය යෙදුම භාවිතකරන්නට බැහැ. අද කාලෙ කේන්දර බලන බහුතරය පාඨමාලා කරපු අය. බොහෝ දෙනෙක් වෙනත් රැකියාවකින් විශ්‍රාම ගිහින්, ජ්‍යොතිෂ පාඨමාලාවක් කරල වැඩේ පටන් ගන්නවා. අමතර ආදායමක් හොයන්න.

ජ්‍යොතිෂය කියන්නේ විශ්ව ගවේශනයට. එහි පරක් තෙරක් නැහැ. ඒක හදාරන්න බැහැ විශ්‍රාම ගිහින්. වයසට ගිහින්. බුද්ධිය හොඳින් දැල්වෙන තරුණ වියේ ඉඳල ඉගෙන ගන්න ඕනෙ. සැබෑ ජ්‍යොතිෂඥයා අපලයක් තියෙනවා නම් ඒක කාගෙවත් පිටේ ගහන්නෙ නැහැ. අපලයක් මඟහරවන්න පිළියම් කරනවා මිස. ඔවැනි දේ කරන්නෙ වාණිජ ජ්‍යොතිෂකරුවො. අසරණ වෙලා තමන් ළඟට එන මිනිස්සු බය කරල තමන්ගෙ මඩිය තරකර ගන්න නරකයි.

ජ්‍යොතිෂ දැනුම ඉස්සර ගලා ගියේ පරපුරෙන් පරපුරට. එහෙමත් නැත්නම් ගුරු ගෙදර පූර්ණ කාලීනව ශිල්ප හැදෑරීමෙන් ලබා ගතයුතු විෂයයක්. විෂය මතුපිටින් අතගාපු අර කිව්ව විදිහෙ උදවිය කරන්නෙ මිනිස්සු බය කරන එක. ".... කුජ හත විවාහයට බාධාවක්, සෙනසුරු ඒරාෂ්ටකය තදින්ම තියෙනවා, මාරකයක් එනවා..." තමන් ළඟ විසඳුම් නැත්නම් පලාපල විතරක් කියලා වැඩක් නැහැ. එහෙම කරන්න හොඳත් නැහැ.

මව්පියන්ගෙ නොගැළපීම තමයි දික්කසාද වෙන්න හේතුව. එහෙම නැතුව දරුවන් අදාළ වෙන්නෙ නැහැ. එකම කාලෙක අපල උදා වෙන්න ඉඩ තියෙනවා පවුලටම. ඒ වෙලාවට ජ්‍යොතිර්වේදින්ගේ වගකීම වෙන්නේ මාපිය - දූදරු සබඳතා පළුදුවෙන විදිහෙ ප්‍රකාශ කරන එක නෙමෙයි. වෘත්තීය නිපුණතාව තුළින් ප්‍රතිකර්ම කිරීමයි. එහෙම නැතුව, අර විදිහට කිව්වාම හැමෝගෙම හිත්වල ජීවිතාන්තය දක්වාම සිත් නොහොඳකම් සහ කලකිරීම් තමයි ඉතිරි වෙන්නෙ."

 

* දරුවෙක් නිසා පවුලට අපලයි කියල, තමන්ගෙ මහගෙදරකට ඒ දරුවා හදා ගන්න දෙන අවස්ථා තියෙනවා. ඒ විදිහෙ කතාවක්නෙ 'ඊඩිපස්' සංකීර්ණය තුළින් කියැවෙන්නෙත්...

"හරියටම හරි.... බලන්නකො එතන සිදුවුණු විනාශය. ඊඩිපස් කුමාරයාගෙන් තමන්ට මැරෙන්න සිදුවෙනවා කියන අනාවැකිය අහන පිය රජතුමා, කුමාරයව ඉතා දුර බැහැරකට පිටමං කරනවා. තරුණ ඊඩිපස් ආපහු ඇවිත් රජු මරා ඔහුගේ අග මෙහෙසිය විවාහ කර ගන්නවා. ඊඩිපස් දන්නෙ නැහැ මරා දැම්මේ පියා, විවාහ කරගත්තේ අම්මා කියලා. බලන්න මොන තරම් ඛේදවාචකයක්ද සිදුවුණේ කියලා. දරුවා පිටමං නොකර දැඩි සෙනෙහසකින් ඇති දැඩි කළා නම් එහෙම නොවෙන්න ඉඩ තිබුණා."

* පවුලක සමගිය නැතිවෙන්න, එකිනෙකා දුරස් වෙන්න පදිංචි නිවෙසේ වාස්තු දෝෂ බලපානවද?

"අනිවාර්යයෙන්ම බලපානවා. වාස්තු දෝෂවලින් තොර නිවෙසක් ඉදිකිරීම තුළින් යස ඉසුරු පිරුණු වාසනාවන්ත පවුල් ජීවිතයක් උදා කර ගැනීමේ හැකියාව පවතිනවා."

 

 

උපදෙස් - ජ්‍යොතිර්කීර්ති, දේශමාන්‍ය, ආචාර්ය

මාවනැල්ලේ

ජානක රත්නායක

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.