කෙල්ලෙක්ට ගරු කරන හැටි පුතාටත් කියලා දෙන්න

ඔක්තෝබර් 14, 2024

 

මල් කියන්නෙ කාට කාට...

ළමයින්ටයි පාට පාට..

 

එවැනි පාට පාට මල් කැකුළු වැනි දරු දැරියන්ට බාල වයසේ සිටම ලිංගික අධ්‍යාපනයක් ලබා දීම ඔවුන්ට අපචාරයක් නොවන්නට වගබලා ගැනීමකි. මේ සම්බන්ධ වැඩි වගකීමක් පැවරී තියෙන්නේ මවුපියන්ටයි. ඉතින් මවුපියන් තම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම ගෙදරින්ම පටන් ගන්න.

 

මේ සමාජයේ දකින එක දෙයක් තමයි ලිංගික අධ්‍යාපනයක් නැති තරුණ ළමයි ගොඩාක් ඉන්නවා. තරුණ ළමයි පමණක් නොවෙයි විවාහ වෙලා ඉන්න අයටත් ලිංගික අධ්‍යාපනය ගැන දැනුමක් නැහැ. ඒ නිසා මම හිතන දෙයක් තමයි ළමයි නිසි වයසට ආවම මවුපියන් වශයෙන් එයාලට ලිංගික අධ්‍යාපනය ලබා දෙන එක. හැබැයි ඒ අධ්‍යාපනය දෙන්න ඕනේ හරි පරෙස්සමෙන්. මොකද ඒක හරියට දෙපැත්ත කැපෙන පිහියක් වගේ. මොකද ඕනෙ දෙයක් ඕනෙ නැති වෙලාවේ කිව්වොත් වැරදෙන්න පුළුවන්. හරි දේ හරි වෙලාවෙදි කිව්වොත් හරි යන්න පුළුවන්.

 

මේ කාරණාවෙදි මම අත්දැකලා තියෙන කතන්දර දෙක තුනක් කියන්න ඕනේ කියලා හිතුවා. හරිම ලස්සන ගැහැනු ළමයෙක් සහ මවුපියන් දෙපළක් මගෙන් සේවය ලබා ගන්න ආවා. ඒ දරුවව හොඳට හදලා තිබුණා. නමුත් ලිංගික අධ්‍යාපනයක් දීලා තිබුණෙ නැහැ. ඇය විවාහ ජීවිතයේ එදිනෙදා දේවල් දන්නෙත් නෑ. ලිංගික අධ්‍යාපනය ගැන දන්නෙත් නැහැ. ඉතින් විවාහය කඩාකප්පල් වුණා. ගොඩක් තරුණ ළමයි අනවශ්‍ය ගැබ් ගැනීම්වලට ලක් වෙලා තියෙනවා වැඩිහිටි මිනිස්සු අතින්. එහෙම වෙලා තියෙන්නේ ලිංගික අධ්‍යාපනය ගැන තේරුමක් නැති නිසා.

 

ඔය වයසෙදි තමන්ගෙ හැඟීම් පාලනය කරන්න ළමයින්ට තේරෙන්නෙ නැහැනේ. ඒ නිසා මේ වයසෙදි තමන්ගේ හැඟීම් පාලනය කර ගන්න ඕනේ කොහොමද කියන එක ගැන එයාලට උගන්නන්න ඕනේ.

 

ළමයි තමන්ගේ ජීවිත අවදානමේ දාගන්නවා. ගොඩක් වෙලාවට කළමනාකරණය කරගන්න පුළුවන්කම තිබුණ ප්‍රශ්න තමයි මේ විදිහට ලොකු ප්‍රශ්න වෙලා තියෙන්නෙ. ගොඩක් වෙලාවට ලිංගික අධ්‍යාපනයක් ගැන දැනුමක් නැති ළමයින්ගේ ජීවිත ඛේදවාචකයකින් තමයි ඉවර වෙන්නේ.

 

අපිට ළමයි එක්ක හැමදාම ඉන්න බෑනේ. එයාලා වැඩිහිටියෝ වුණාම වෙන වෙන ජීවිත වලට යන්න ඕනේ. වෙන වෙන ජීවිතවලට යන්න කලින් එයාලට තනියම ගොඩ නැඟෙන්න කියලා දෙන්න ඕනේ.

 

මොකක්ද ලිංගික වයස කියලා ඇහුවොත් ඒක ළමයගෙන් ළමයට වෙනස් වෙනවා. ගොඩක් තරුණ ළමයි ආදරය කියලා රැවටෙන්නේ තමන්ගේ ශරීරයෙන් නිපදවෙන රසායනික ද්‍රව්‍යවලට. ඉතින් ඒ රසායනික ක්‍රියාවලිය කළමනාකරණය කරගන්න ළමයි දන්නෙ නැහැ. ඒකට තමයි පාසල්වල විෂයය බාහිර ක්‍රියාකාරකම් තියෙන්නේ. සෙල්ලම් කරන්නම ඕනේ. නාට්‍ය කරන්න ඕනේ. වාද විවාද තරග තියන්න ඕනේ. ඒ වගේ දේවල්වලට යොමු වෙන දරුවන් ලිංගික සම්බන්ධකම්වලට යොමු වෙනවා අඩුයි. තමන්ගේ ජීවමය ලක්ෂණ පිටකරන්න පුළුවන් ඕ‍ෙන තරම් ක්‍රම තියෙනවා.

 

සමහර පිරිමි ළමයි දන්නෙ නැහැ එයාලගේ සිරුරේ වෙන වෙනස්කම් මොනවද කියලාවත්. ජීව විද්‍යානුකූලව ඒ ගැන අවබෝධයක් නැති නිසා ළමයි ඉච්ඡා භංගත්වයට පත් වෙනවා. ස්වයං වින්දනය ගැන තියෙන මිථ්‍යා මත. ඒවා හොඳ නැහැ යක්කු වැහෙනවා. එතකොට කළු කුමාර දෝෂය ගැන තියෙන මිථ්‍යා මත. සමහර කාන්තාවෝ ඉන්නවා පත්තිනි අම්මා වැහුණා, මහසෝනා වැහුණා කියලා ගිහින් සල්ලි නාස්ති කර ගන්නවා. ඒ කපුවන්ට පලතුරු දීලා, මල් මාලා දාලා පිළිගන්නේ. අන්තිමට ඒ අයගෙන් ලිංගික අතවරයකටත් ලක් වෙලා තමයි නවතින්නේ.

 

බෝධි පූජා තියෙන එක, පල්ලි පන්සල් යන එක, දාන මාන දෙන එක හොඳයි. ඒවා කොහොමත් යහපත් ක්‍රියාවන්නේ. යහපත් ක්‍රියාවන්ට විශ්ව ශක්තියෙන්ද ආශීර්වාදය ලැබෙනවා. ඒ නිසා ඒකෙ ප්‍රශ්නයක් නැහැ.

 

ලිංගිකව අපයෝජනය වෙච්ච පුංචි ළමයි ගොඩක් වෙලාවට තමන්ගෙම සමීපතමයෙක් අතින් තමයි එහෙම වෙලා තියෙන්නේ. මවුපියන්ගේ වගකීමක් තමයි දරුවන්ට කෑම බීම දෙන්න ඕනේ. ආරක්ෂාව දෙන්න ඕනේ. ආදරය දෙන්න ඕනේ. ඒ හැමදේම දෙන්න ඕනේ. ඒ මොන දේ කළත් හරි ආරක්ෂාවක් නොදුන්නොත් කිසිම තේරුමක් නැති වෙනවා. දරුවන්ට ආරක්ෂාව ලබා නොදෙන්න එක හේතුවක් තමයි අම්මලගේ තියෙන මානසික ව්‍යාකූලතාවය. නීතියෙන්ම දරුවන්ට ආරක්ෂා වීමේ අයිතියක් තියෙනවා. ගොඩක් වෙලාවට තම දරුවන් ලිංගික අපයෝජනයට ලක් වෙන්නේ මවගේ නොසැලකිලිමත් නිසයි. ඒ දරුවන්ට විතරක් නෙවෙයි ඒ අම්මලාට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. ලිංගික අපයෝජයට ලක් වූ දරුවන්ට වඩා තමන් ලිංගික අතවරයකට ලක් වෙලාද නැද්ද කියලා දන්නේ නැති පිරිස වැඩියි.

 

දරුවන්ට තේරෙන වයස එනකොට අම්මලා දරුවන්ට සිරුර ගැන කියලා දෙන්න ඕනේ. මේ ප්‍රජනන පද්ධතිය, මේ ශ්වසන පද්ධතිය, මේ රුධිර සංසරණ පද්ධතිය. මේ තමයි ස්නායු පද්ධතිය. මහලොකු ජීව විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නෙවෙයි කරන්න ඕනේ. හරිම සරල විදිහට ඒ පැහැදිලි කිරීම කරන්න ඕනේ. මේ අහාර ජීර්ණ පද්ධතිය.. කටෙන් ගත්ත කෑම ටික මෙහෙම බඩවැල් දිගේ ගිහින් මෙන්න මේ විදිහට ජීර්ණය වෙලා එළියට යනවා. ඒ වගේම තමයි ප්‍රජනන පද්ධතියත් හරි සරල විදිහට කියලා දෙන්න පුළුවන්.

 

ගැහැනු දරුවකුට දෙයක් පැහැදිලි කරද්දි කාමරයක් ඇතුළට ගිහින් ඒ ගැන කියලා දෙන එක හොඳයි. මහා සෙනඟක් මැද්දේ අවවාද කරන්න ගියොත් කිසි වැඩක් නැහැ.

 

දැන් කාලේ ළමයි ක්‍රෂ් එකක් කියලා කියන්නෙ ඒ විරුද්ධ ලිංගිකයකුට ඇතිවන ආකර්ෂණයට. ඉතින් එහෙම ක්‍රෂ් එකක් හිටපු නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒක සාමාන්‍යයි. හැබැයි ඒ ඇතිවන ආසාවන්ට අනුව කටයුතු කරන්න ගියොත් මේ ලංකාවේ බාල වයස්කාර මවුවරු ගොඩක් වැඩි වෙන්න පුළුවන්. අනික ලංකාව වගේ රටක නීත්‍යානුකූල නොවන විවාහයකින් බිහිවන දරුවෙක් සුජාත දරුවෙක් විදිහට පිළිගන්නේ නැහැ.

 

ලෝකයේ දවසකට ගබ්සාවන් 800 - 1000ත් අතර ප්‍රමාණයක් සිදු වෙනවා. ඉතින් හොඳ සංවර සහ ආකල්පවලින් දියුණු රටක් හදන්න නම් ඒක තමන්ගේ ගෙදරින්මයි පටන් ගන්න ඕනේ. මම ගොඩක් වෙලාවට දකිනවා කොළඹ ප්‍රදේශයේ ලස්සනට ඇඳලා කරලා..කණ්ණාඩි දාලා යන ළමයි පාරට කුණු විසි කරගෙන යනවා. හැබැයි හෘද සාක්ෂියට එකඟව කෙනෙක්ට එහෙම කරන්න බැහැ. එහෙම අය තමයි දරුවෝ අනාථ කරන්නේ. කාමරවලට එක්කරගෙන යන්නේ. ගොඩාක් අය ආදරය කියලා රැවටෙන්නෙම ලිංගික කර්තව්‍යට. සමහර ජෝඩු යාළු වෙලා පහුවදාම කාමරවලට යනවා. එතකොට ආදරය ගැනවත්, සිරුර ගැනවත්, හැඟීම් ගැනවත් අවබෝධයක් මේ ළමයින්ට නැහැ.

 

ඉතින් මේ දේ පවුල ඇතුළෙන් පටන් ගන්න. තමන්ගේ පුතාට උගන්නන්න පුළුවන් ගැහැනු ළමයකුට ගරු කරන හැටි. එතකොට ගැහැනු ළමයෙක් සාදයකට කොටට ඇඳන් ආවට ප්‍රශ්නයක් නැහැ අපි සංවර නිසා. ගොඩක් වෙලාවට හිස් අය තමයි තමන්ගේ සිරුර පෙන්නලා ලකුණු දාගන්න හදන්නේ. මනස පිරුණු අය එහෙම කරන්නේ නැහැ. හැම දරුවෙක්ටම කියන්න තියෙන්නේ මේ ලෝකෙ කාව විශ්වාස කරන්න බැරි වුණත් තමන්ගේ මවුපියන්ව විශ්වාස කරන්න පුළුවන්.

 

ප්‍රවීණ මනෝ උපදේශිකා

අමා දිසානායක

කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව