දරුවා සමඟ තරහා ගැනීම දරුවාටත් මවටත් දෙදෙනාට ම සුදුසු නැහැ

ජුනි 2, 2021

 

පුංචි දරුවන් මල් වගේ. ඔවුන්ගේ පුංචි හිත්වල්ට පුංචිමවත් දුකක් දරා ගන්න අපහසුයි. ඉතිං දරුවන් සමඟ එදිනෙදා කටයුතු කරද්දී හරිම පරෙස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම කාර්යබහුල ගෘහණියක්නම් දරුවා අති සිදුවන පුංචි වැරැදි වලට පවා කේන්ති ගන්නේ ඒ කාර්යබහුලත්වය නිසයි. නමුත් එසේ කේන්ති ගෙන නිතර දරුවන්ට පහර දෙන්න ගියහොත් දරුවන්ගේ මානසික මට්ටමට එය විවිධාකාරය බල පෑ හැකියි. ඉතිං දරුවන් සමඟ කටයුතු කරන විට විවිධ ගැටලුවටල මුහුණ පෑමට සිදුවෙනවා. එවැනි ගැටලුවකට ඔබත් මුහුණ පාමින් සිටිනවානම් ලියන්න තරුණීට. ඔබේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්න තරුණී නිරතුරුවම සූදානමින් සිටිනවා.

අපේ ලියන්න,

අපගේ ලිපිනය

'කියන්න බැරි දේ ලියන්න',

තරුණී, ලේක්හවුස්, කොළඹ -10.

 

පසුගිය සතියේ තරුණී පාඨකයෙක් ඒවා තිබූ ගැටලුවේ, පිළිතුරෙහි ඉතිරි කොටසයි.

 

අපි කොයි කාටත් තරහා යනවා. අම්මා කෙනෙක් කියලා වෙනසක් නැහැ. විශේෂත්වය වන්නේ අම්මාගේ කේන්තිය පිට වන්නේ ඉවසීමෙන් අවසන් සීමාවත් පැන්නට පස්සේ යි. වැඩ රාජකාරි එක්ක නිතර කාර්යබහුල අම්මලාට මේ තරහ යාම නම් ටිකක් වැඩියි.

දරුවා සමග තරහ නොගැනීම හිතන තරම් පහසු දෙයක් නොවෙයි. ඔවුන් සෑම මොහොතකම කරන කුමක් හෝ දෙයක් පහසුවෙන්ම අපිව තරහ ගස්සන්න පුළුවන්. ඕනෑම මවකට තමන්ගේ දරුවා සමඟ තරහ යෑම සාමාන්‍ය යි. ඒ ඔබේ දරුවා ඔබට අකීකරු වීම, එළවළු කෑම ප්‍රතික්ෂේප කිරීම හෝ විසිත්ත කාමරය හැඩි කිරීම නිසා වන්නට පුළුවන්.

කොහොම නමුත් බොහෝ විට දරුවන් තමන් කරන දෙය පිළිබඳ අවබෝධයක් නොමැති බව මව දැන සිටිය යුතුයි.

ඔවුන් අකීකරු වන විට, උද්වේගකාරී වන විට හෝ ආහාර ප්‍රතික්ෂේප කරන විට ඔබේ දරුවා ඔබව හිතාමතාම තරහ ගස්සවන්න උත්සහා කරන්නේ නෑ. එය දරුවන්ගේ ස්වභාවය වන අතර ඔවුන්ගේ සාමාන්‍ය හැසිරීමක් වේ. ඔවුන් ළාබාල සහ නොමේරූ අවධියක පසුවෙන බැවින් ඔවුන්ගෙන් වැඩිහිටියකුගේ නැතිනම් වැඩිමහලු දරුවකුගේ හැසිරීම් බලාපොරොත්තු වන්න බැහැ.

පුංචි පැටව් දඟ වැඩ කරන කොට, කියන දේ අහන්නේ නැති වෙන කොට අම්මලට තරහා යන්න පුළුවන්.

ඉතිං දරුවන්ගේ පුංචි පුංචි වැරැදි වලට කෝප ගෙන දරුවාට බැන වැදී පහර දෙනවා නම් එය සුදුසු දෙයක් නොවෙයි. නිතර නිතර පහර දීමෙන් දරුවාගේ මානසික මට්ටම ට සෘජුවම බලපානවා. පුංචි හිතක් හදන්න ගොඩක් අමාරු වුණාට රිදවන්න යන්නේ මොහොතක් විතරයි.

 

හැඟීම් පාලනයට ඇති අපහසුතාවය

 

වැඩිහිටියෙකුට තරම් නොවුනත් සාමාන්‍ය දරුවකුට දුක කේන්තිය සතුට ආදී හැඟීම් පාලනය කර ගන්න පුළුවන්. හැබැයි පහර කන දරුවාට ඒ හැකියාව නැහැ. විශේෂයෙන් දුක හෝ කේන්තිය පාලනය කර ගන්න බෑහැ. මේ වැනි හැඟීමක් ඇති වූ වහා ස්ථානය වේලාව නොබලා හැඟීම් පිට කරන එක මේ දරුවො කරන දෙයක්. මහා හයියෙන් කෑ ගහලා, අඬලා, බිම පෙරලිලා එහෙම නැත්තම් තවත් කෙනෙකුට ගහලා තමන්ගෙ හැඟීම් පිට කරනවා ඇරෙන්න පාලනය කර ගන්න ඔවුන්ට බැහැ. මොකද දරුවා දකින්නේ විඳින්නේ තමන් අතින් වරදක් වූ වහා වැඩිහිටියන් ක්ෂණික ව ක්‍රියාත්මකවී තමන්ට පහර දෙන ආකාරයයි.

දරුවා ක්‍රමයෙන් ඒ ආකාරයට හැඟීම් වලට ක්ෂණික ප්‍රතිචාර දක්වන්න හුරු වෙනවා.

 

මතක තබා ගැනීමේ දුර්වලතා

 

මතක තබා තබා ගැනීමේ හැකියා හෙවත් ධාරණ ශක්තිය පවත්වාගෙන යන්න මානසික සමතුලිතතාවය ඉතා වැදගත්. නිතර පහර ලබන දරුවකුගේ මෙය මානසික සමතුලිතතාවය ගිලිහීයාම නිරායාසයෙන්ම සිද්ද වෙනවා. නිතරම සැකයෙන් බයෙන් ඉන්න නිසා මානසික නිරවුල් භාවය දරුවාගෙන් ඈත්ව යනවා. මේ නිසා අධ්‍යාපන කටයුතු වල දී මතක තබා ගැනීමේ හැකියාව අඩු වෙනවා. ඒ වගේම වචන උච්චාරණයේ ගැටලු ඇති වෙනවා.

 

දරුවා සමඟ තරහා ගැනීම දරුවාටත් මවටත් දෙදෙනාටම සුදුසු නැහැ.

 

‑සෑම මව්පියකුම තම දරුවා ආදරය රැකවරණය පිරුණු පරිසරයක හැදී වැඩීම සහතික වීම බොහොම වැදගත් වෙනවා.

මව්පියන් වශයෙන් තරහා යෑම වළක්වා ගන්න බෑ තමයි. ඒ වගේම දරුවන්ගේ වැරැදි වලට තරහා යෑමත් එකග විය හැකි දෙයක්. නමුත් වෙනත් තරහවන් දරුවා පිටින් යවා පහර දීම එකඟ විය හැකි දෙයක් නොවෙයි.

දරුවන් බොහොම සංවේදියි. විශේෂයෙන් ඔවුන් මව්පියන් එක්ක බොහොම සංවේදියි. ඔවුන්ව ආදරයෙන් රැක බලා ගන්නා මව එකවරම කෑ ගසා පහර දුන්නොත් ඔවුන්ට කුමක් සිතේවි ද? දරුවන් සෑම දෙයකටම ඔවුන්ගේ මව්පියන් බලාපොරොත්තු වෙන නිසා ඔවුන්ට මෙය වඩාත් දැනේවි. වයසෙන් වැඩෙත්ම ඔවුන් මේ රිදවීමේ වේදනාව සමඟ ලොකු මහත් වීම නිසා මෙය ඔවුන්ට අනාගතයේ දවසක බලපාන්න පුළුවන්. දරුවාගේ මුල් ගුරුවරුන් වන්නේ මව්පියන්. ඉතිං මවක් එලෙස කෝප ගෙන පහර දෙන විට දරුවන් තව තවත් මුරණ්ඩු වනවා.

නිතර කෝපයෙන් හැසිරීම මවකට ද සුදුසු දෙයක් නොවේ. එය ශරීර සෞඛ්‍යයේ පැවැත්මට බලපානවා.

 

දරුවකු අතින් වරදක් සිදු වූ විට ආදරයෙන් පවසා එය නොකරන ලෙස පැවසිය හැකියි. එකම වරද නිතර නිතර කරනවා නම් සුළු දඩුවමක් දීම සාමාන්‍ය දෙයක්. නමුත් වරදක් නොකළත් නිතරම කේන්ති ගෙන දරුවාට පහර දීම සුදුසු නොවේ. ඔබේ සහෝදරියට මේ පිළිබඳ පහදා දෙන්න. නැතිනම් ඇයව පවුල් උපදේශනයක් වෙත ගොස් හෝ වැඩිහිටියකු ලවා හෝ උපදෙසක් ලබා දෙන්න.

දරුවා සංසුන්ව තබා ගැනීමට කුමක් හෝ කාර්යයක නිරත කරවන්න. මුළුතැන්ගෙයි වැඩවලට, ගෙදර දොර වැඩවලට ආදරයෙන් උදව් ලබා ගන්න.

 

 

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ

විශේෂඥ මනෝ වෛද්‍ය

කපිල රණසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.