ළමයින්ට ඉගැන්විය යුත්තේ ජීවත් වීමේ කලාවයි

විදුහල්පති ඇසින් දකිමු
සැප්තැම්බර් 5, 2022

 

පාසල් කාලය තරම් සුන්දර වකවානුවක් තවත් නැත. එය ඒ තරම්ම සැහැල්ලු, සරල, නිදහස් කාලපරිච්ඡේදයකි. එහෙත් ජීවිතයේ වඩාත් නිවැරැදිව ගත කළ යුතුම කාල සීමාව ද මෙයයි. දිවිමඟේ හැරවුම් ලක්ෂ්‍යය කියාපාන කැඩපත පාසලයි. ඒ සඳහා දිරි දෙන ගුරු මව්පියවරුන් මෙන්ම පාසල් දරුවන් ද මෙහෙයවන විදුහල්පති භූමිකාව වගකීම් සහගත ගාම්භීර වූවකි.

මේ ගෞරවනීය සේවාවේ නියැළෙන තවත් එක් විදුහල්පතිවරයකු සමඟ ඔබේ දරුවාගේ හෙට දවස වෙනුවෙන් කළ කතාබහකි. එතුමන්ගේ 28 වසරක වෘත්තීය ජීවිතයේ අත්දැකීම් මඟින් ඔබේ දරුවාගේ හෙට දවස යහපත් කරගන්නට හැකියි. මාතලේ දිස්ත්‍රික්කයේ ඉතා ඈතින් පිහිටි සුන්දරතම ගම්මානයක් වූ ඉලුක්කුඹුර කියන ගමේ උපන් ඔහු එච්. එම්. ප්‍රභාත් බෝගහකොටුවයි. ඔහු පවුලේ වැඩිමහල් දරුවා ලෙසින් මෙලොව එළිය දුටුවේය. මාපියන්ගේ වෘත්තීය ජීවිතයේ ස්ථාන මාරු වීම් හමුවේ පාසල් කීපයකම අධ්‍යාපනය ලබන්නට ඔහුට සිදුවිය. පාසල් අධ්‍යාපනයෙන් පසුව මහනුවර උසස් තාක්ෂණ ආයතනයට ඇතුළත් ව එම පාඨමාලාව අවසානයේ 1992 වසරේ පැවැත් වූ ගුරු විභාගයෙන් සමත් වීමට හැකි විය. ඒ අනුව 1993 වසරේ ගුරු වෘත්තියට පිවිසි එතුමන් අද වන විට 28 වසරක වෘත්තීය අත්දැකීම් හමුවේ දිඹුල්කුඹුර කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ධුරය හොබවයි.

 

දශක තුනකට ආසන්න කාලයක් පාසල් ගුරුවරයකු ලෙසක් විදුහල්පතිවරයකු ලෙසත් සේවය කළ ඔබතුමාගේ අත්දැකීම් මොන වගේද?

 

අද දරුවන්ට පහසුකම් බොහොමයි. පිටිසර ගම්බද වුව මවුපියන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඕනෑ එපාකම් ඉෂ්ට කරනවා. ඇතැම්විට මේ ලැබෙන සම්පත්වලින් දරුවන් නිසි ප්‍රයෝජන ගන්නවා ද කියලා හිතෙනවා. අපි ඉගෙන ගන්න කාලේ බොහොම දුෂ්කරයි සීමිත සම්පත් ප්‍රමාණයක් තමයි තිබ්බේ. එහෙත් හරිම විනෝදෙන් සැහැල්ලුවෙන් ඉගෙනීම් කටයුතු කළා. පාසල් වෙලාව තුළ කෙරෙන ඉගෙනුම ප්‍රමාණවත් නොවුණ දරුවන් වෙනුවෙන් ගුරුවරු සවස් වරුවේ නොමිලේ ඉගැන්වීම් කළා. එකල ගුරුවරුන් ඉතා ඉහළ කැපවීමකින් තමයි කටයුතු කළේ. මුදල් මත පදනම් වූ අමතර පන්ති කිසිවක් තිබුණේ නැහැ. අමතර දැනුමක් ලබා ගන්නට ගියේ පුස්තකාලයට. දරුවන් පාසල් ගියේ සමූහයක් වශයෙන්. ළඟම පාසල හොඳම පාසල යන සංකල්පය අද හඳුන්වාදීමට උත්සාහ කළත් එදා දරුවන් ගියේ ළඟම පාසලට. අද පවතින ප්‍රවාහන අර්බුදය එදා තිබුණේ නැහැ. ළමයි බොහොම එකමුතුව පාසලට ආවා ගියා.

 

එදා සහ අද අධ්‍යාපන රටාවෙන් බිහිවන දරුවා සමාජගත වන්නේ කොහොමද?

 

අද මව්පියන් දරුවන්ට නගරයේ සුපිරිම පාසලක් හොයනවානේ. විභාගවලින් A9 / A3 පසුපස හඹා යනවා. අතීතයේ නිදහසේ පරිසරය සමඟ ඉගෙන ගත් දරුවා අද පීඩාකාරී වටපිටාවක් ඇතිවයි ඉගෙනුම ලබන්නේ. මෙහෙම බිහිවන දරුවා ආත්මාර්ථකාමියි. එවැනි දරුවෙක් රටට ඵලදායි වෘත්තීකයෙක් වේවිද කියන එක ගැටලුවක්. එදා බිහි වුණේ නිර්මාණශීලී, පරාර්ථකාමී මිනිසුන්. ඔවුන් වෘත්තීකයන් විදිහට මේ රටට විශාල මෙහෙවරක් ඉටු කළා. සමහරු අදටත් ඒ මෙහෙවර ඉටු කරනවා.

 

ඔන්ලයින් අධ්‍යාපනය ළමයින්ගේ දැනුම දියුණු කළා ද? නැතිනම් යම් කිසි පිරිහීමකට ලක් වුණා ද?

 

දරුවන්ට තාක්ෂණික අධ්‍යාපන අවශ්‍යයි්‍ විශ්වය ජය ගන්න, ඉන්න තැනින් ඉදිරි පියවරක් තබන්නට අන්තර්ජාල පරිශීලනය අත්‍යවශ්‍යයි. එහෙත් පරිගණකය, දුරකථනය වගේ මෙවලම් පරිශීලනයේ දී මව්පියන් දරුවා ගැන මනා අවබෝධයකින් පසුවිය යුතුයි. ඔවුන් මේවා භාවිත කරන්නේ කුමක් සඳහාදැයි නිතර විමසිලිමත් වීම මඟින් වැරැදි මාර්ගයේ යාමෙන් දරුවාව මුදවා ගන්න පුළුවන්. බොහෝවිට මාපිය වැඩිහිටියන් දරුවන් සමඟ සමීප බැඳීමක් නැති වුණාම ඔවුන් තාක්ෂණය ඔස්සේත් වැරැදි පාරක යන්න පුළුවන්.

 

වෘත්තිය අත්දැකීම් අනුව පවතින අධ්‍යාපන ක්‍රමය ඔබතුමා දකින්නේ කොහොමද?

 

අද පවතින අධ්‍යාපන ක්‍රමයේ යම් කිසි වෙනසක් ඇති විය යුතුයි. වර්තමාන අධ්‍යාපන රටාවට තියෙන්නේ විභාග ඉලක්කය පමණයි. එහෙත් ළමයින්ට ඉගැන්විය යුත්තේ ජීවත්වීමේ කලාවයි. විශේෂයෙන් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය නම් වෙනසකට ලක්විය යුතුයි. එතැනින් තමයි දරුවන්ට මුලින්ම අධ්‍යාපනයේ පීඩාව ඇතිවන්නේ ජපානය, පින්ලන්තය වැනි රටවල ඉතා හොඳ අධ්‍යාපන ක්‍රමයක් භාවිත කරනවා. ඒ රටවල දිගුකාලීන ගැටලු හා ප්‍රශ්න මඟහැර තිරසාර සංවර්ධනය කරා යොමු කරන්නට සමත් වෙනවා. අපිත් එතැනට යා යුතුයි.

 

දරුවකු ටියුෂන් යාම ඔබතුමා දකින්නේ කොහොමද?

 

ටියුෂන් එහෙමත් නැත්තං අමතර පන්ති යාම කියන්නේ දැන් එක්තරා ෆැෂන් එකක්. ඉස්සර අමතර පන්ති යනවා කියන්නේ ලැජ්ජාවක්. ඒ කාලේ අමතර පන්ති යනවා කියන්නේ දරුවාට වැඩ බෑ කියන එක. දැන් අමතර පන්ති නොයා සිටීම ලැජ්ජාවක් වෙලා. විභාග භීතිකාව තමයි මේ දේ ඇති කරලා තියෙන්නේ. ඒ වගේම පාසල් අධ්‍යාපනය ගැන මව්පියන්ගේ තියෙන අවිශ්වාසය නිසා තමයි අමතර පන්ති බිහි වන්නේ. මේ අමතර පන්තිවලට සහභාගි වීම නිසා දරුවන්ට පාසලේ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා සවස් වරුවේ රැඳී සිටීමට අපහසු එබැවින් දරුවා විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා සහභාගී වන්නේ නැහැ. මේ විදියට අවිවේකීව කාලය ගත කරන දරුවා අසහනකාරී මානසික තත්ත්වයකින් තමයි පසුවන්නේ. දරුවාගේ ආකල්ප සංවර්ධනයක් ඇති වන්නේ නැහැ. මවුපියන්ට වුණත් නො සලකා හරින දරුවන් බිහිවීමට මේවත් හේතු වෙනවා.