ස්මාර්ට් දුරකථනයට ඇබ්බැහි වුණු දරුවන් හඳුනා ගන්නේ කොහොමද ?

දෙසැම්බර් 13, 2021

 

“තනුරි ඔයා හෙට පුතාව ඉස්කෝලේ අරිනවාද?“

“නෑ අනේ. අපේ පුතාට කැස්ස, හෙම්බිරිස්සාව වගේ නිසා මම හිතුවා කෝකටත් හොඳයිනේ කියලා ගෙදර තියන්න.“

“මට පුතාව ගෙදර තියාගන්න බැහැ. මේ ළමයි පුදුම විදිහට ෆෝන්වලට ඇබ්බැහි වෙලා. මම ඔෆිස් ගියාම ඉතිං කොහොමද හොයලා බලන්නේ. කාටුන් බලනවා. ගේම් ගහනවා. වට්ස් ඇප්වලට ස්ටේටස් දානවා... ඕවා තමයි ඉතිං...“

“ෆෝන් ළමයින්ගේ අතට දෙන්නෙම නෑ කියලා හිතපු අපට මේ කොරෝනාවක් නිසා වුණු දෙයක්...“

මේ හැම අම්මෙකුට ම, තාත්තෙකුට ම දරුවන් සම්බන්ධයෙන් ඇතිවුණු ගැටලුවක්. දැන් පාසල් අධ්‍යයන කටයුතු බොහෝදුරට ඔන්ලයින් ක්‍රමයට නො කෙරුණාට පුද්ගලික පංති තවමත් කෙරෙන්නේ ඔන්ලයින් ක්‍රමයට. ඉතිං දරුවන්ගෙන් ෆෝන් එක, ටැබ් එක, ලැප් එක මෑත් කරවන්නට නොහැකි වාතාවරණයකුයි උදාවෙලා තියෙන්නේ.

මීට වසර කිහිපයකට පෙර අපි අහලා තිබුණේ සුරාවට, සූදුවට, දුම්වැටිවලට වුණු ඇබ්බැහියන් පිළිබඳ. නවීන තාක්ෂණික මෙවලම් ඇඟිලි තුඩු අතර රැඳෙද්දි ඒ දේවල්වලට ඇබ්බැහිවෙලා සිටින්නේ දරුවන් පමණක් ම නොවෙයි. බාල, තරුණ, මහලු කොයිකවුරුත් වගේ මේ ඇබ්බැහියෙන් මුදාගත නොහැකි තත්ත්වයක් උදාවෙලා.

 

දිනකට පැය 3 1/2කට වඩා

සමීක්ෂණවලට අනුව දිනකට පැය දෙකක පමණ කාලයක් වැඩිහිටියකුට දුරකථනය සමඟින් සිටීම සුදුසුයි. නිරෝගී මනසක් පවත්වාගෙන යෑමට ඉන් බලපෑමක් නොවේවි. පැය 3 1/2ක් හෝ ඊට වඩා ප්‍රමාණයක් ජංගම දුරකථනය සමඟින් බද්ධව සිටියි නම් එය ඇබ්බැහිවීමක් ලෙස සැලකේ. වර්තමාන කාලයේ අපට දකින්න ලැබෙන්නේ පැය 7ක් 8ක් 9ක් සමහරවිට ඊටත් වඩා වැඩි කාලයක් දුරකථනය සමඟින් සිටින්නන්. බොහෝ විට තාරුණ්‍යයේ සිටින දරුවන් අතර මෙවැනි තත්ත්වයන් දකින්නට පුළුවන්. ඔවුන්ට ස්මාර්ට් දුරකථනයෙන් තොර ජීවිතයක් ගැන සිතා ගන්නටත් අපහසු තරම්.

 

සතුට දනවන ඩෝපමින් හෝර්මෝනය

අපේ මොළයේ සතුට දනවන ඩෝපමින් නමැති හෝර්මෝනයක් තිබේ. (Happy hormon) තිබේ. අපි සිංදුවක් අහද්දී, විනෝදව සිටින අවස්ථාවකදී ජීවිතය විඳින අවස්ථාවකදී ස්‍රාවය වන්නේ මේ හෝර්මෝනය. ඉතිං ටිකෙන් ටික ඇරැඹෙන මේ කාලය පසුවට පැය ගණනාවක් ස්මාර්ට් දුරකථනය සමඟ රැඳෙන්නට ඇති කැමැත්ත දක්වා ම දිව යනවා. ඒත් තාවකාලිකව ලබන මේ සතුට ඔබ දන්නෙම නැතිව ඇබ්බැහියක් බවට පත්වෙලා. ඉන් මිදෙන්නට මඟක් නොමැති තරමටම.

 

Notification බලන්නමයි හිත

වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටෙලිග්‍රෑම් මේ ආදී නොයෙකුත් සමාජ මාධ්‍ය ජාලා පරිශීලනය කරන මේ දරුවන් යාළුවෝ අතර නොයෙකුත් ගෘප්ස් නිර්මාණය කරගන්නවා. මේ ඕනෑම එකකින් Notification එකක් එනගානේ ස්මාර්ට් දුරකථනය අතට අරන් බලන්නයි හිතන්නේ. රාත්‍රියට කියලත් වෙනසක් නැහැ. ස්මාර්ට් දුරකථනයත් සමඟින්මයි ඇඳට යන්න හිතන්නේ. මේ දේටත් බාල, තරුණ, මහලු වෙනසක් නැහැ. ඔවුන් යහපත් නින්දක් වෙනුවට නින්දත් නොනින්දත් අතර කාලය ගත කරයි.

 

අපතේ යන Night Time Data

Night Time Data මේ සඳහා සෘජු ලෙසම පාර පෙන්නාවි. ඇතැම් තරුණ දරුවන් මාපියන්ගේ කීමට ඇඳට ගියත් පාන්දර එක, දෙක වෙනකම් කාලය ගත කරන්නේ ස්මාර්ට් දුරකථනය අතැතිව. මේ දේවල්වලට ඉඩ නොදී ජංගම දුරකථනය මෑත් කරන්න හිතුවොතින් තරුණ දරුවා ඉන් එහාට කාලය ගත කරන්නේ නොරිස්සුමෙන්, තරහෙන්. නොකා නොබී ඉන්න තරමට ම පත් වෙනවා. ඉතිං මෙවැනි තත්ත්වයක් ස්මාර්ට් දුරකථනයට අබ්බැහිවීමක් ම නොවේද?

 

මුලින් ම ඔන්ලයින් පංතිය මුල්ම කාලෙදි ඔන්ලයින් පංතිය සමඟින් උද්යෝගයෙන් සම්බන්ධ වුණු දරුවා මාස ගණනාවක් ගතවෙද්දි පංතියත් සමඟින් සම්බන්ධවෙමින් සිටින අවස්ථාවෙදිත් අවධාරණයෙන් ඊට ඇහුම්කන් දීම වෙනුවට කරන්නේ නිර්මාණය කරගත් ගෘෘප්ස්වලට මැසේජ් දාන එක. Notification බලබලා ඉන්න එක. ඒත් මාපියන්ට එකින් එක ඇහැගහගෙන බලා ඉන්න බැහැ. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න දරුවා දන්නෙම නැතිව අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගෙන.

මාපියන් දරුවන් කෙරෙහි තැබූ සිහින මාලිගාවන් දෙපතුල මතම කඩා වැටිලා. කඩඉම් විභාගවලින් සාර්ථක ලෙස ජයටැඹ කරා යෑමට සිටි දරුවා නොදැනීම අතරමං වෙලා. වාරවිභාග ආදිය මාස ගණනාවකින් පවත්වන්න බැරි වුණු නිසා මාපියන්ට තම දරුවා සිටින මට්ටම පිළිබඳ අදහසක් ගන්නටත් නොහැකි වෙලා.

ඔන්ලයින් ක්‍රමවේදය සඳහා පංතියෙන් නිර්මාණය කරගත් ගෘෘප් එකට අමතරව විෂයයන් සදහාත් වෙන වෙනම ගෘෘප් තියෙනවා. ඒ මාර්ගයෙන් දරුවෝ තව තවත් ගෘෘප් හදා ගන්නවා. කිසිම තේරුමක් නැති වල්පල් චැට් කරමින් කාලය ගතකරනවා. ඡායාරූප අප්ලෝඩ් කරනවා. වට්ස්ඇප්වලට Status දානවා. ඒවට එන Comments ගැන හරිම විමසිලිමත්. එකින් එක ඒවා බලනවා. යාළුවන්ගේ Status වලටComment කරනවා.

 

බාහිර සමාජයෙන් ඈත්ව

එදා ඔබ සමඟින් හුරතල් වුණු, ඔබේ සිරුරේ දැවටෙමින් සිටි දරුවා වෙනුවට දැන් ඔබට සිටින්නේ වෙනස් ම දරුවෙක් කියා සිතේවි. පොතක්පතක් නම් අතට ගන්න හිතන්නේම නැහැ. ඒ කාලය ගත කරන්නෙත් ස්මාර්ට් දුරකථනය සමඟ. විනෝද චාරිකාවක් ගියත් අවට සුන්දරත්වය නරඹමින් එය රසවිඳීමක් වෙන්නෙම නැති තරම්. මේ දේවල් ජංගම දුරකථනය සමඟින් ඇබ්බැහිව ඇති බවට පහසුවෙන් ම දැන හැඳිනගත හැකි අවස්ථා ස්මාර්ට් ෆෝන් එකත් සමඟින් බද්ධ වුණු දරුවා, තරුණයා හෝ වැඩිහිටියා බාහිර පරිසරයෙන් ඈත්ව සිටින තරම්. ස්මාර්ට් දුරකථනය සාදා තිබෙන්නෙ ම ඇබ්බැහිවීම ඉතා ලෙහෙසියෙන් පහසුවෙන සිදුවීම සඳහාමයි.

 

ස්මාර්ට් දුරකතනය සඳහා වුණු ඇබ්බැහියෙන් මුදවා ගන්නට හැකි වේවිද? මේ පිළිබඳ අපි ලබන සතියේ කතා කරමු.

 

 

උපදෙස් - රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය

දීපිකා සෝමතිලක