අසමසම මව්කිරෙහි පහස ලබන කිරිකැටියා

ජූලි 1, 2024

 

මෙලොව ඇති අමෘතය වන් පානයක් වෙත්නම් ඒ අසමසම මව්කිරිම පමණි. දරුපැටියා මෙලොව එළිය දකින්නේම මවගේ තනපුඩුව උරා බීමේ හැකියාව දෝත දරාගෙනයි. එතැන් මාස 6ක් පුරාවටම මව්කිරෙන් පමණක්මත් සෑහෙන දරුවා ඉන්පසු අමතර ආහාරත් සමඟින් මව්කිරි බොයි. වසර දෙකක් පමණ වනතුරු මව්කිරි ලබා දීම වෛද්‍ය නිර්දේශයයි.

 

මව්කිරි නිපදවීම සිදුවන අයුරු

* ගැබිනි කල සිදුවන හෝමෝන වෙනස්කම් හේතු කොටගෙන පියයුරු ප්‍රමාණයෙන් විශාලව ස්ථන ග්‍රන්ථි ක්‍රියාත්මක වීම පටන්ගෙන කිරිදීමට සූදානම් වේ.

* බොහෝ විට ප්‍රසූතියට පෙර සිටම කොලෙස්ට්‍රම් නම් දරුවාගේ පළමු ආහාර පියසයුරේ සූදානම්ව පවතී.

* දරුවා ඉපදී වැදෑමහ ගර්භාශයෙන් වෙන්වන විටම කිරි නිපදවීමේ ක්‍රියාවලිය සක්‍රීය කිරීමට මව් සිරුර සූදානම්ය.

කිරි නිපදවීමේ ක්‍රියාවලිය සක්‍රීය වීම

කිරි නිපදවීම සඳහා පියයුරට පණිවිඩ ලැබිය යුතුය.

* පණිවිඩ ලබා දෙන්නේ මොළයෙනි.

* දරුවා කිරි උරන විට තන පුඩුව උත්තේජනය වී මොළයට පණිවිඩ ලැබේ.

* මොළය යළිත් පියයුරේ කිරි නිපදවන ස්ථානවලට පණිවිඩ සපයයි.

* එසේම දරුවා කිරි උරාබීමත් සමඟම ඉවත්වන කිරි ප්‍රමාණයට සාපේක්ෂව නැවත නැවත කිරි නිපදවිය යුතු බව මොළයට දැනේ.

* චක්‍රයක් ලෙස යළි මොළයේ සිට කිරි නිපදවීමට අවැසි බවට පණිවිඩ සැපයේ.

මව්කිරි නිෂ්පාදනය වැඩි කරන්නේ කෙසේද?

* නිතර නිතර කිරි උරා බීමට සැලැස්වීම

* පියයුර හොඳින් හිස්වීම හෙවත් දරුවා හොඳින් කිරිඋරා බීම

* රාත්‍රී කාලයේ වැඩි වාර ගණනක් කිරි දීම

* මවගේ මානසික තත්ත්වය සහනදායී වීම

* සහනදායී සතුටුදායක පිරිසුදු පරිසරයක් තිබීම

* දරුවා පිළිබඳ ආදරණීය සිතුවිලි වැඩිවීම

* මවගේ පෝෂණ තත්ත්වය හොඳින් පැවතීම

* වැඩිපුර දියර පානය කිරීම සෑම කිරි වේලකටම කලින් පානයක් හෝ වතුර බීම

මව්කිරි මෙතරම් වැදගත් වන්නේ ඇයි?

- දරුවාගේ ශරීර වර්ධනයට සේම මොළයේ වර්ධනයට අවශ්‍ය සියලු පෝෂක සංඝටක අඩංගු ලොව ඇති එකම ආහාරය මව්කිරි වේ.

- මිනිස් මොළය හා සිරුර ප්‍රශස්තව වැඩීමට අවැසිවන මේද අම්ල වර්ග 12ක් හා විවිධ සංයෝග සියයක් පමණ මව්කිරෙහි අඩංගුය. (මොළය හා ස්නායු සෛල වර්ධනයට ඔමේගා 3, ඔමේගා 6/ ඇසේ දෘෂ්ටි විතානය හා ස්නායු සෛලවල මයිලින් තැන්පත් වීමට අවශ්‍ය DHA වැනි)

- සෑම විටම නැවුම් සහ නියමිත උෂ්ණත්වයේ පවතී. පහසුවෙන් දිරවන සුළු සහ දරුවාගේ ජීර්ණ පද්ධතියේ ක්‍රියාවන් ක්‍රමානුකූල කරයි.

- ආසාදනවලින් ආරක්ෂා කරයි. පාචන රෝග, සෙම් රෝග, සෙම්ප්‍රතිෂ්‍යාව (වැඩිහිටි වියේදී පවා), ඇදුම, දියවැඩියාව, කනේ ආසාදන, සමේ ආසාදන, හෘද රෝග, අධි රුධිර පීඩනය සහ මුත්‍රා ආසාදනවලට ගොදුරු වීමේ අවධානම අඩුය.

- අධික තරබාරුව ඇති වීම වළක්වයි.

- දත් දිරා යාම අඩුය. මුහුණේ මාංශ පේශී සහ මුඛ කුහරය හොඳින් වැඩේ.

- මවත් දරුවත් අතර ජීවිත කාලය පුරාවටම පවතින දැඩි මානසික බැඳීමක් ඇතිවේ.

- සූප්පු බෝතල්වලින් පිටි කිරි බොන දරුවන්ට වඩා මව්කිරි බී වැඩුණු දරුවන්ගේ බුද්ධිඵලය(IQ අගය) ඒකක අටකින් වැඩිය. (මව්කිරිවල මේද අම්ල සහ ඇමයිනෝ අම්ල ස්නායු සෛලවල සහ අක්ෂි සෛලවල වර්ධනය වඩා හොඳින් සිදු කිරීමත් ඇස උත්තේජනය වීම මොළය වඩා හොඳින් ක්‍රියා කිරීමට ප්‍රබල සාධකයක් වීමත් මීට හේතුවක් බව සොයාගෙන ඇත.)

- මවට පියයුරු පිළිකා, ඩිම්බකෝෂ පිළිකා සෑදීම සහ පසුකාලීනව අස්ථි දුර්වල වීමේ රෝග තත්ත්ව සෑදීමේ අවදානම අඩුය. මව් සිරුරේ අනවශ්‍ය මේද දියව යන නිසා සිරුරේ හැඩය රැකගැනීමට තරබාරුව අඩු කිරීමට හේතු වෙයි.

- පසු ප්‍රසව මානසික පීඩනය අසහනය අඩුකරයි. මවට ජීවිතයේ මෙතෙක් නොලද සතුටක් සැනසීමක් සමඟ මවක වීමේ අභිමානය ලබාදේ.

- පවුලේ වියදමට බලපෑම් නැත. සකසා ගැනීමට කාලය, ශ්‍රමය වැය නොවේ.

- දරුවා සමඟ ගමන් යන විට ළදරු ආහාර පිළිබඳ වද විය යුතු නොවේ.

- සමීක්ෂණවලින් හෙළි වී ඇති පරිදි මව්කිරි දීම මඟින් ජන්ම මරණ පහත හෙළයි.

මව්කිරි වෑස්සීම හා වැඩිපුර ගලා ඒම

දරුවා ගැන සිතන විටත් එක පියයුරකින් කිරිඋරා බොන අවස්ථාවල අනෙක් පියයුෙරන් කිරි වෑස්සීම සිදුවේ. මෙම තත්ත්වය පවතින විට Nursing pads (කිරි උරා ගැනීමේ සනීපාරක්ෂක කොට්ට) තැබීම කළ හැකියි.

කිරි උරා බොන විට අනවශ්‍ය ලෙස කිරි ගලා ඒම/ හිරවීම

දරුවාට ගිල ගැනීමට අපහසු පමණට කිරි ගලා ඒමේදී කැස්ස ඇතිවීම සහ කලාතුරකින් කිරි හිරවීමත් සිදුවිය හැකියි. සාමාන්‍ය තත්ත්වයක් වුවද දරුවා අපහසුතාවට පත්කරවන බැවින් නිවැරැදි ඉරියව් අනුගමනය කිරීම තන පුඩුවට මඳක් පිටුපසින් ඇඟිලි දෙකක් තබා පීඩනය යෙදීම වැනි ක්‍රම සුදුසුය. කිරි හිරවීමක් සිදුවුවහොත් දරුවා හැඬීමක්, කැස්සක් නොමැති නම් පැත්තට හරවා තබා වහා ආධාර ඉල්ලන්න. නාසයට මුව තබා උරා දැමීමද සමහර විටෙක අවශ්‍ය නම් සිදු කළ හැකියි.

කිරි බොන විට අධික නිදිමත

අලුත උපන් කිරි කැටියන් නිදිමත හේතු කරගෙන මව්කිරි ප්‍රතික්ෂේප කරන අවස්ථා ඇත. අධික නිදිමත හේතුවත් මව්කිරි හිඟ වීමයි. කුඩා දරුවකුට සිරුරට අවශ්‍ය ශක්තිය සපයා ගන්නට රුධිරයේ සීනි මට්ටම බලපායි. මව්කිරි මඟින් නිසියාකාරව ශක්තිය නොලැබෙන විට අවශ්‍ය ශක්තිය නැතිව ගොස් දරුවා නිද්‍රාශීලී වෙයි. එවැනි අවස්ථාවල මව්කිරි දොවා හෝ පෙවීම අවශ්‍යයි.

මව්කිරි ප්‍රතික්ෂේප කරන වෙනත් හේතු

තන පුඩුවේ ගැටලු, කිරි ගල්වීම, තල්ලේ සහ දිවේ ගැටලු, මෙනින්ජයිටීස්

ඕනෑම මවකට අවශ්‍යතාව තිබේ නම් සාර්ථකව මව්කිරි දිය හැකියි. මව්කිරි දීමට බාධා මතුවන කිසිදු හේතුවක් මත පිටිකිරි ලබා නොදෙන්න. ළඟම තිබෙන රෝහලේ මව්කිරි දීම කළමනාකරණ මධ්‍යස්ථානයකට දරුවන් ගෙනයන්න. කිරි බීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවල ගැටලු නිරාකරණය කරගැනීමට තාවකාලිකව කිරි දොවා දිය හැකියි.

 

උපදෙස් :

ළදරු හා ළමා සෞඛ්‍ය

උපදේශිකා ශ්‍යාමලී පතිරගේ