වර්ෂ 2024 ක්වූ December 02 වැනිදා Monday
දරුවො ඉස්සරහ කට අරින්නේ පරිස්සමෙන්
දරුවෝ ළඟ තියාගෙන ගෙදරදි අපි බොහෝ දේ කතා කරද්දි මවුපියො වැඩිහිටියෝ හරි කල්පනාවෙන් කතා කරන්න ඕනේ.
සතියේ දින පහෙන් දින දෙකක් උදේ වරුවේ ක්‍රියාකාරකම් සඳහා එළිමහනට යන එක අපේ පාසලේ සති සටහනේ තියෙන අනිවාර්ය දෙයක්. එළියට ගියාට පස්සේ ඉතින් අපි, දුවනවා, පනිනවා, රිංගනවා, එල්ලෙනවා, විවිධ සතුන් විදිහට අනුකරණය කරනවා. ඒ විතරක් නෙමෙයි පුංචි පුංචි ක්‍රීඩාත් කරනවා.
එදා සඳුදා, සුපුරුදු පරිදි එළියට යන්න පෝලිම හැදෙනකොට යුගාන් පුතා මට මෙහෙම කිවුවා,
"ටීචර් මට නම් බෑ එළියට ගිහිල්ලා ඇඳුම කිලිටි කරගන්න"
"ඔයා දන්නේ නෑ අපේ අම්මාගේ කොන්ද රිදෙනවා මගේ රෙදි හෝදලා."
"අපේ වොෂින් මැෂින් එකත් කැඩිලා තියෙන්නේ, ඔයාට තේරෙන් නැද්ද අනේ."
"අම්මා කිවුවා ටීචර් කිවුවට... එළියේ සෙල්ලම් කරලා ඇඳුම කිලිටි කරගන්න එපා කියලා "
නැවතීමක් නැතුව යුගාන් එසේ කියාගෙන යද්දී මමත් අනිත් ටීචර්ලාත් මුහුණට මුහුණ බලා ගනිමින් බය වී සිටියේ ඊළඟට මොනවා කියයිද යන සැකයෙනි.
අහෝ මේ කුමක් සිදුවීද? පොඩි ටීචර් කම්මුලේ අත තබා ගනිමින් මගෙන් ඇසීය.
"දැන් ඉතින් මොකද යුගාන් කරන්නේ. ඔයාට එළියට යන්න බැරිද?
කරන්න දෙයක් නෑ හැබැයි යන්න වෙනවා. පරිස්සමට වැඩ ටික කරගමුකෝ. දූවිලි ගෑවෙන් නැතුව."
මම යුගාන්ට එසේ කියා එළියට රැගෙන ගියෙමි.
ඇත්තටම යුගාන් එදා එළිමහන් ක්‍රියාකාරකම් හරියට සිදු කළ බව මා දුටුවේ නැත. තම ඇඳුම පරිස්සම් කළ බවත් තම අම්මාගේ ඉල්ලීම නොපිරිහෙලා ඉටු කළ බවත් මම දුටුවෙමි.
නමුත් මා ඔහුට මුකුත් කියන්නට ගියේ නැත, ඔහු කැමති විදිහකින් ක්‍රියාකාරකම් කරපුවාදෙන් යැයි මා සිතුවෙමි. දිග ඩෙනිම් කලිසමට අත් දිග ටී ෂර්ට් එක අඳින එක ඔහු වැඩියෙන් ප්‍රිය කළ ඇඳුමයි.පාසල් නිල ඇඳුම නැතිව පාට ඇඳුම් අඳින දවසට ඔහුගේ අනිවාර්ය ඇඳුම වන්නේ එයයි. තම ඇඳුම පැලඳුම පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන යුගාන්, බොහොම හුරුබුහුටි බව අපි නිතර කතා වෙන දෙයකි.
අනේ ඉතින් අපි එදා වෙනදටත් වඩා කලින් පන්ති කාමරය ඇතුළට ආවා.මොකද ඉතින් යුගාන්ගේ ඇඳුම කිලිටි වුණොත් එහෙම හරි ප්‍රශ්නයක් වෙනවනේ.
ඉස්කෝලෙ අවසන් වෙලා යුගාන් පුතාගේ අම්මා ආපු වෙලාවේ, මම ඉතින් පුතා කියපු ඔක්කොම ටික කියල දැම්මා.
කම්මුලේ අත තියාගත්තුවා අම්මා,
"අනේ ටීචර් පුතා ඒ ඔක්කොම කිවුවද" කියලා මගෙන් ඇහුවා.
"හොඳ වෙලාවට ඔයා අපිට දොස් කියලා නම් තිබුණේ නෑ" මං හිනාවෙලා ඇයට විහිළුවෙන් වගේ කිවුවා.
දරුවෝ ළඟ තියාගෙන ගෙදරදි අපි බොහෝ දේ කතා කරද්දි මවුපියො වැඩිහිටියෝ හරි කල්පනාවෙන් කතා කරන්න ඕනේ. මොකද දන්නවද ?ගොඩක් ළමයි හැමදේම ටීචර් එක්ක කියනවා.ටීචර් තමයි ඉතින් එයාගේ ලෝකෙ වීරයා වෙන්නේ. යුගාන් අපිට කියපු දේවල්වලට එහා ගිය දේවලුත් දරුවෝ අපිත් එක්ක කියනවා.
සමහර අම්මල තාත්තලගේ ප්‍රශ්නත් දරුවො අපිට කියපු වෙලාවල් ඕනෙ තරම් තියෙනව. සමහර ඒවා ඉතින් ලියන්නත් බෑ. ඔයාට හිතෙයි, සමහර වෙලාවට අපේ දරුවෝ ඒගොල්ලන්ගේ පාඩුවේ සෙල්ලම් කර කර ඉන්නවා කියලා. මවුපියෝ වැඩිහිටියෝ ගෙදර කතාවෙන දේවල් එයාලට ඇහෙන්නේ නෑ කියලා. නමුත් ඔයා දන්නවද? දරුවන්ගේ මනස හරිම නිදහස්, නිරවුල්. අපිට වගේ දාහක් ප්‍රශ්න එයාලගෙ ඔළුවේ නෑ, එයාලා සෙල්ලම කර කර හිටියත් සමහර වෙලාවට අම්මලා තාත්තලා කියන දේවල් එයාලට හොඳට ඇහෙනවා. හැබැයි ඉතින් අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ, දරුවාට කියපු කිසිම දෙයක් ඇහුණෙ නෑ කියලා.
පවුල්වල ප්‍රශ්න ඇතිවෙනවා.බොහෝ ප්‍රශ්න සාමාන්‍යයි. අම්මා තාත්ත අතර ඇති වෙන මතභේද, පුංචි පුංචි වචන හුවමාරු වීම්, ඒ වචන දුරදිග යාම නිසා එකිනෙකාට බැණ වැදීම හා පහරදීම්, වැනි දේවල් අපේ සමාජයේ සමහර පවුල්වල සිද්ධ වෙනවා.
නමුත් සමහර ප්‍රශ්න නම් ඉතින්, සාමාන්‍ය ප්‍රශ්නවලින් ගොඩක් එහාට ගිය ඒවා. ඒ නිසා අපි බොහෝ ප්‍රශ්න හා සිදුවීම් අපේ නිවස ඇතුළේ කතා කරනකොට දරුවොත් ඉන්නවා කියලා අපිට අනිවාර්යයෙන්ම හිතන්න වෙනවා.
දරුවෝ මේවා පාසලට ඇවිල්ල ගුරුතුමියට කිවුවහම, ඔබේ ගේ ඇතුළෙ ප්‍රශ්න ගුරුවරුත් දැනගන්නවා. ඒ විතරක්ද?
අපේ දරුවන්ගේ පුංචි හිත හුඟාක් රිදෙනවා. ඒවා එයාගේ පුංචි මනසට යම් දිනක බලපෑම් ඇති කරන්නත් පුළුවන්.
ඒ විතරක් නෙමෙයි, සමහර මවුපියෝ දරුවගේ ටීචර්ගේ පාසලේ අඩුපාඩු කියමින් දොස් කියන වාර ඕනෙ තරම් තියෙනවා. බොහෝ දරුවෝ ගෙදර සිදුවෙන මෙවැනි සිදුවීම් අපිත් එක්ක කියනවා. අපේ දරුවන්ගේ ජීවිතයේ සැනසුම වගේම සාර්ථකත්වයත් රැඳිලා තියෙන්නේ මවුපියෝ වන අපි ළඟ කියලා දැනගෙන ජීවත් වුණොත්, අපේ දරුවන්ගේ හෙට දවස ගොඩක් ලස්සන වේවි.
මේ කතාව ඔබට කිවුවෙ ගොඩක් දේවල් ඔයාගෙ ජීවිතේට එක් කරගන්න කියන ගමන්. දරුවොන්ට කොන්දේසි පනවනකොට පරිස්සමෙන්. දරුවො ඉස්සරහ කට අරින්නෙත් පරිස්සමෙන්.
ගුරු සිතක පොඩි මතක සමඟ මම
නදීකා කරුණාරත්න