ගැබිනි මවකට ගු ණ දෙන දිව ඔසු

සැප්තැම්බර් 30, 2024

 

ලොව උතුම්ම සම්පත දරු සම්පතයි. විවාහයෙන් පසු ඕනෑම කාන්තාවකගේ මුල්ම පැතුම වනුයේ මව් පදවියට උරුමකම් ලැබීමයි. සොබාදහමින් කාන්තා ශරීරය නිර්මාණය වී ඇත්තේ තම වර්ගයා බෝ කිරිම උදෙසාමය. එසේම ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය නීරෝගි සෞඛ්‍යසම්පන්න දරුවකු මෙලොවට බිහි කිරීමය. මෙකී කාර්යය උදෙසා කාන්තාව සූදානම් විය යුතු ආකාරය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ ඉතා මැනවින් පැහැදිලි කර අැත.

 

එසේම ගර්භය හටගත් දවසේ පටන් නවවැනි මාසය දක්වා පිළිපැදිය යුතු කාරණා සහ ගර්භයේ පෝෂණය උදෙසා අනුගමනය කළ යුතු ක්‍රියාපාටිපාටිය ගර්භිණී චර්යා යටතේ විස්තර කර ඇත.

 

මුල් මාස තුනේදී මිහිරිවූත්, සිසිල් වතුර ද්‍රව බහුල වූත් ආහාර වර්ග ගැබිනිය විසින් සේවනය කළ යුතුය. එළකිරි, පළතුරු යුෂ, ඉතා වැදගත් වේ. එපමණක් නොව උතුරවා නිවා ගත් පිිරිසුදු ජලය පානය කිරීම අත්‍යවශ්‍යය.

 

එළකිරි පුෂ්ටිකාරකය. ඕජස වර්ධනය කරයි. ආයුෂයට හිතකරයි. ජීව ශක්තිය ගෙන දෙයි. රක්තය දෝෂ දුරු කරයි.

 

උතුරුවා නිවාගත් පිරිසුදු ජලය බඩගින්න ඇති කරයි. මල කොටස් හොඳින් බැහැර කරයි. පිපාසය සංසිඳුවයි.

 

සැහැල්ලු ආහාරයක් වශයෙන් යවාගු හෙවත් කැඳ වර්ග හෘදයට හිතවත් වේ. බලය වඩයි.

 

මී පැණි ද නිර්දේශිත මධුර රසැති ආහාරයකි. හෘදයට හිතකර, සැහැල්ලු, ශරීර වර්ණය ඇති කරයි. සෙම නසයි.

 

උක් රසය ද ගුණදායක පානයකි. බලකාරකය. මුත්‍රා කාරකය. ලේ දොස් සමනය කරයි.

 

මිදි (මුද්දරප්පලම්) මිහිරි රසය. සැහැල්ලුය. විරේචනසුලුය.

සැටදාහාල්, දී කිරි, ගිතෙල්, කොල්ලු, බැබිල, සහිඳ ලුණු, මාංස රස යන මේවා ද ගැබිනිය පෝෂණය සඳහා ගත යුතු ආහාර පාන යටතට ගැනේ.

 

සැට දා හාල් වෙනුවට වර්තමානයේ නිවුඩ්ඩ සහිත සහලින් පිසූ බත්, බත් කැඳ යොදා ගැනේ. ඇසට හිතයි. වර්ණය හා බලය ඇති කරයි. විෂ දෝෂ නසයි. තුන් දොස් නසයි. මල බද්ධය දුරු කරයි.

 

දී කිරි මඟින් බඩගින්න වඩයි. බලය වර්ධනය කරයි. වායු නාශකයි. රුචිය ඇති කරයි. විශේෂයෙන් එළකිරිවලින් සැකසූ දී කිරි ශ්‍රේෂ්ඨ බව ආයුර්වේදයේ දක්වා ඇත.

 

එළඟිතෙල් හෙවත් ගිතෙල් සෞම්‍ය වන අතර මධුරය. ආයුෂයට හිතැතිය. ඇසට හිතකර වේ. බුද්ධිය, කාන්තිය, ප්‍රභාව, ඕජස, තේජස, බල මේවා වඩයි. විශේෂයෙන් අකලට මහලු වීම වළක්වාලයි.

 

කොල්ලු ආහාරයට ගැනීමෙන් විශේෂයෙන් තරබාරුව නසාලයි. වාතය නසයි. ශක්තිය වඩයි. හෘදයට හිතයි.

 

සුදුලූනු උෂ්ණ වීර්ය වුවද දෘෂ්ටිය වඩයි. හෘද රෝග අජීර්ණ නසයි. ශරීර වර්ණය ඇති කරයි. මතක ශක්තිය ඇති කරයි. වාත නාශකයි. එසේම රතුලූනු ද වාත නාශක, බඩගින්න ඇති කරන ධාතු ශක්තිය වඩන, පුෂ්ටිය ඇති කරන ඖෂධීය ගුණ බහුල ආහාරයකි.

 

පලා වර්ග හා එළවළු වර්ග අතර සාරණ, තම්පලා, කූර, ගොටුකොළ, එළබටු, කරවිල, තුඹ කරවිල, කළුකැම්බේරිය, කතුරුමුරුංගා මල් යන මේවා ගැබිනිය සඳහා විශේෂිත වේ. මේවා ඔබේ ආහාර රුචිය ඇති කරයි. වාතය නසයි.

 

සහිඳ ලුණු නෙතට හිත කරාවි. හෘදයට හිතයි. බඩගින්න ඇති කරයි. මල මුත්‍රා ශෝධනය කරයි.

 

මාංස යුෂය හෙවත් මස් සුප් හෘදයට හිතයි. ශරීරය පිනවයි. බලය වැඩියි. තුන් දොස් සමනය කරයි. ප්‍රාණජනකයි. ගැබ පෝෂණය කරයි. ශරීරය පුෂ්ටිමත් කරයි. සැහැල්ලු ගුණයි. ඇසට හිතකරයි.

 

බැබිල වාත නාශකයි. ඖෂධීය වටිනාකමින් අනුන වූ බැබිල මුල්, සුදුලූනු, උළුහාල් තම්බා බීමෙන් ගැබිනියගේ දෙපා ඉදිමුම අැති අවස්ථාවලදි ඉතා ගුණදායකය. වාතය නාශනය කරයි. සැහැල්ලු බවක් ගෙනදේ. මල බද්ධය නසාලයි.

 

තව ද මුං ඇට සුප් ශරීරයේ පවතින දාහය නිවාලයි. දිරවීම පහසු කරයි. බල කාරකයි. හොඳින් මුත්‍රා පහ කරයි.

 

මීට අමතරව පලතුරු වශයෙන් ගස්ලබු, දෙළුම්, අලිගැටපේර, දොඩම්, නාරං, ඉදුණු ,අඹ, මිදි, අනෝදා, කොමඩු යෝග්‍ය බව දැක්විමට පුළුවන.

 

වි‍ෙශ්ෂයෙන් ගර්භිණී මවක් සමබල ආහාරයක් ගත යුතුමය. පිරිසුදු ජලය පානය කළ යුතුය. මනසේ පවිත්‍රතාව ඉතාමත් වැදගත්ය. ඝෝෂා සහිත ස්ථානවලින් ඈත් වී නිසංසල පරිසරයක පහස විඳිය යුතුය.

 

කෙසේ වෙතත් ගර්භිණී මවගේ පෝෂණය හා ගර්භිණී සමයේ ඇතිවන්නා වූ විවිධ වූ රෝග මෙන්ම උපද්‍රව උදෙසා ආහාර, විහරණ මෙන්ම තමා ජීවත්වන පරිසරය ශාරීරික මෙන්ම මානසික සංතුලනය උදෙසා ඉතා වැදගත් බව සැලකිය යුතුය.

උපදෙස් - ආයුර්වේද විශේෂඥ වෛද්‍ය කාන්ති මදුරප්පෙරුම