වර්ෂ 2024 ක්වූ December 23 වැනිදා Monday
දානයේ අනුහස්
ලෝකයෙහි මිනිසුන් සතුටු වන ආකාර දෙකකි. ඉන් පළමුවැන්න යමක් තමන් සතු කරගෙන සතුටු වීමයි. දෙවැන්න තමන් සතු දෙයක් අනුන්ගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කොට සතුටු වීමයි.
මින් පළමු වැනි ආකාරයට සතුටු වීමට තිරිසන් සතෙකුට පවා හැකියාව තිබේ. නමුත් තමන් සතු දෙයක් අන්‍යයන්ගේ යහපත පිණිස පරිත්‍යාග කොට සතුටු වීමට සියලු සත්ත්වයනටම නොහැකිය. එය කළ හැක්කේ පරිත්‍යාගශීලී හදවතක් ඇත්තෙකුටම පමණි.
තමන් සතු දෙයක් තමන්ගේ අයිතිය අත්හැර වෙන කෙනෙකුට පරිත්‍යාග කිරීම දානයයි.
එම දානය,
1. අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානය සහ
2. පූජා බුද්ධියෙන් දෙන දානය යනුවෙන්
ආකාර දෙකකි.
මෙහි අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානය යනු යම් කිසිවක් අවශ්‍ය තැනකට, අඩුපාඩු තිබෙන තැනැත්තෙකුට, උපකාරයක් කිරීමේ අදහසින් සිදුකරන පරිත්‍යාගයයි.
පූජා බුද්ධියෙන් සිදුකරන දානය නම් පූජාවයි. සීල, සමාධි, ප්‍රඥා යන ගුණයන්ගෙන් තමනට වඩා උසස් උත්තමයෙකු පිදීම මෙයින් අදහස් වේ.
මේ කුමන ආකාරයක දානයක් හෝ වේවා, එය අසත්පුරුෂ දානයක් නොවී සත්පුරුෂ දානයක්ම විය යුතුයි. අසත්පුරුෂ දානය මහත්ඵල නොවන අතර සත්පුරුෂ දානය ඉතාමත් මහත්ඵල වේ.
ඒ පිළිබඳව තොරතුරු සත්පුරුෂ දාන සූත්‍රයේ දී විග්රහ කොට තිබේ.
ඒ මෙසේයි.
" පඤ්චිමානි භික්ඛවෙ සප්පුරිසදානානි. කතමානි පඤ්ච: සද්ධාය දානං දෙති, සක්කච්චං දානං දෙති, කාලෙන දානං දෙති, අනග්ගහිතචිත්තො දානං දෙති, අත්තානං ච පරං ච අනුපහච්ච දානං දෙති"
"මහණෙනි, සත්පුරුෂ දාන පසකි. කවර පසක්ද යත්:
1. ශ්‍රද්ධාවෙන් දන් දෙයි.
2. සකසා දන් දෙයි.
3. නිසි කල්හි දන් දෙයි.
4. දෙන දේ සිතින් අල්වා නොගෙන නැතිව
(මුත්තචාගීව) දන් දෙයි.
5. තමාව ද අනුන්ව ද නො පෙළා (ගුණ නොමකා)
දන් දෙයි.
යහපත් සිතින් දානමය පුණ්‍යකර්මයන් සිදු කිරීමෙන් උපනූපන් භවයන්හි භවභෝග උපභෝග පරිභෝග සම්පත් ඇතිව ඉපදීම ස්වභාවයයි. එනම් දානය පරිත්‍යාගය නිසා ධනවත්ව ආඪ්‍යව උපත ලැබීම සිදුවේ.
නමුත් සත්පුරුෂ දාන ආකාරයෙන් දන් දීම තුළින් ධනවත් වීමට අමතරව අතිරේක ආනිශංසයෙනුත් ලැබෙන බව එම සූත්‍රයේ විස්තර කොට තිබේ.
ශ්‍රද්ධාවෙන් දානය පූජා කිරීම යනු ඉතා පැහැදුණු සිතෙන් කර්මය, කර්මඵල විශ්වාසයෙන් යුක්තව ප්‍රසන්නව එම දානය පූජා කිරීමයි.
එසේ ශ්‍රද්ධාවෙන් දන් දෙන තැනැත්තා මහා ධනවතෙකුව ආඪ්‍යව උපදිනවා සේම ඔහු ඉතාමත් වර්ණ සෞන්දර්යයෙන් යුක්ත රූපත් ප්‍රියමනාප පුද්ගලයකු බවට පත්වී උපත ලබයි. එනම් මෙම සත්පුරුෂ දානයෙහි අතිරේක ආනිසංසය වන්නේ සුන්දර ලස්සන කෙනෙකු වී උපත ලැබීමයි.
ඔහුව හෝ ඇයව දකින්නන්ට ඉතාමත් ප්‍රියය. දුටුවන් ලොබ බඳින තරමේ රුවකින් යුක්ත වෙයි. ශ්‍රද්ධාවෙන් තොරව දන් දීම තුළින් මෙම අතිරේක ආනිශංසය ලබාගත නොහැකි වෙයි.
සකසා දන් දීම යනු අවශ්‍යතාවයන් සොයා බලා එසේම ගැළපෙන ප්‍රත්‍ය ආහාරපාන, අවශ්‍ය ඇඳුම් පැලඳුම් පිළිබඳව විමසා බලා දානය සිදුකිරීමයි. එසේම ඉතා පිළිවෙළට සැලසුමකට අනුව එම දානය සංවිධානය කිරීමයි.
එසේ සකසා දන් දුන් විට එහි ආනිශංස වශයෙන් ඉතා ආඪ්‍යව ධනවතෙකුව උපත ලබන අතර අතිරේක ආනිශංස වශයෙන් ඔහුගේ හෝ ඇයගේ පිරිස ඔහුට හෝ ඇයට ඉතාමත් කීකරු පිරිසක් බවට පත්වෙයි.
එනම් එම තැනැත්තාගේ සැමියා හෝ බිරිඳ දූ දරුවන් පමණක් නොවේ. සේවකයන් කම්කරුවන් පවා ඉතාමත් කීකරු පිරිසක් බවට පත්වෙයි. එම තැනැත්තට ඔහුගේ පිරිස කීකරු වේ. ඔහු හෝ ඇය අනුවම ඒ පිරිස පවතී.
එවිට ඉතා සමගියෙන් සතුටින් ජීවිතය ගත කරන්නට ලැබේ. නිසි කල්හි දන් දෙයි යනු සුදුසු කාලයේදී පරිත්‍යාගයන් සිදුකිරීමයි. යම් යම් පරිත්‍යාගයන් අපි සිදු කළ යුත්තේ එය ලබන්නාට අවශ්‍ය වන මොහොතේදීය. එසේම ප්‍රයෝජනයට ගත හැකි මොහොතේදීය. ආහාර නැති මොහොතකදී ඇඳුම් පැලඳුම් පරිත්‍යාග කිරීමෙන් අර්ථයක් නැත. පරිත්‍යාග කළ යුතු වන්නේ ආහාරය. ඉගෙන ගන්නා වයසේ දරුවන්ට පොත්පත් මිස එම වයසට නොගැළපෙන දේවල් පරිත්‍යාග කිරීම ගැළපෙන්නේ නැත. මේ ආදී වශයෙන් කාලය නොවරදවා පරිත්‍යාගයන් සිදු කිරීම කාල දානය වශයෙන් සඳහන් කළ හැකිය.
මෙසේ සුදුසු කාලයේ දී දන් දීම නිසා අතිරේක ආනිශංස වශයෙන් තමන්ට ලැබිය යුතු දේවල් , ඒවා ලැබීමට සුදුසු කාලයේදීම ලැබීම සිදුවේ.
එසේ නොවූ විට අවශ්‍ය දේ ලැබෙන්නේ අවශ්‍යතාවය අවසන් වූ පසුවය. නැතිනම් ප්‍රයෝජනයක් ගත නොහැකි මොහොතකය. සුදුසු වයසට සුදුසු දේ ලැබීමටත්, සුදුසු මොහොතේ බලාපොරොත්තු වන දේ ලැබීමටත් නිසිකලට දන් දීම පුරුදු පුහුණු කළ යුතුය. දෙන දෙය සිතින් අල්වා නොගෙන දන් දෙනවා යනු සම්පූර්ණයෙන්ම එය අතහැර දන්දීමයි.
යමෙක් පරිත්‍යාගයක් සිදුකොට නැවත ඒ පිළිබඳව පසුතැවීමට පත්වේ. " අපරාදේ මං එය දන් දුන්නේ. ඒ දේ තිබුණා නම් මට මේ මේ දේවල් කරගන්නට තිබුණා" ආදී වශයෙන් පසුතැවීම සුදුසු නැත.
කාශ්‍යප ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වූ පසු, ගෞතම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර යුගයේ දී ධනවත් මිනිසෙක් ජීවත් විය.
ඔහු ඉතාමත් ලෝභී මසුරු තැනැත්තෙකි. නිවසේ බිරිඳ හා අනෙකුත් පිරිස දන් දීමට පරිත්‍යාග කිරීමට කැමති වූවත් ඔහු ලෝභියකු නිසා ඒවා සිදු කරන්නට ඔවුනට නොහැකි විය.
දිනක් යම් කටයුත්තකට නිවසෙන් පිටත්ව යන මෙම ධනවතාට පසේ (ප්‍රත්‍යේක) බුදුරජාණන් වහන්සේ නමක් පිඬු සිඟා වඩිනු දක්නට ලැබිණි.
පසේ බුදුරජාණන් වහන්සේ වහන්සේගේ නිහඬ තැන්පත් විලාසය දුටු ඔහුගේ සිත පැහැදීමට පත්විය. නිෙවසේ අයට කතාකොට මෙම භික්ෂුවට යමක් දනට දෙන්න යැයි පැවසීය. නිෙවසේ අය බොහෝම සතුටට පත්ව පසේ බුදුපියාණන් වහන්සේගේ පාත්‍රය පුරවා දන් පිළිගැන්වූහ.
නිවෙස් හිමියා නැවත නිෙවසට පැමිණෙද්දී පසේ බුදුපියාණන් වහන්සේ දානය පිළිගෙන නැවතත් වැඩම කරන අවස්ථාව විය. දානය ලැබුණාදැයි විමසන්නට පාත්‍රයට එබී බැලූ මොහොතේදී පාත්‍රය ආහාරවලින් පිරී තිබෙන අයුරු ඔහු දුටුවේය. ඒ මොහොතේදී ඔහුට පසුතැවීමක් ඇතිවිය.
" මේ ආහාර ටික නිවසේ වැඩ කරන හතර දෙනෙක්ට දෙන්න තිබ්බා. එහෙමනම් මට ඔවුන්ගෙන් ගොඩාක් වැඩ කරගන්න තිබුණා. අපරාදෙ නාස්තියක්.."
යනුවෙන් ඔහුට සිතුනි.
පසේ බුදු කෙනෙකුට දුන්නා වූ දානයක් නිසා එම ජීවිතයෙන් පසු පිටපිට භව හතක් තව්තිසාවේ සක්දෙව් රාජ පදවියට පත්වන්නට හැකිවිය. ඉන් අනතුරුව භවයන් හතක් මිනිස් ලොව කෝසලය ප්‍රදේශයේ සිටු තනතුර ලැබීය. නමුත් දුන් දේ හිතින් අල්වා ගැනීමේ දෝෂය නිසා ලැබුණු සිටු සම්පත් රිසිසේ පරිහරණය කරන්නට ඔහුට සිත නොනැමිනි. දරුවන් නොසිටි සිටු කෙනෙක් නිසා සත්වැනි වර සිටුව උපන් භවයේ දී ඔහුගේ මරණයෙන් පසුව සියලු ධනය රාජසන්තක විය.
කොසොල් රජතුමා ඔහුගේ ධනය රාජ්‍ය භාණ්ඩාගාරයට රැගෙන යාම ආරම්භ කළේය. දින හතක් පුරා කරත්තවලින් රැගෙන ගිය මුත් එම සිටු මාලිගයේ රන් ආදී ධනය අවසන් නොවීය. එපමණ ධනය තිබූ මුත් කිසි කලෙක කුස පිරෙන්නට ඔහු අනුභව නොකළේය. හොඳ තලප්පාවක් නොපැලඳියේය. වටිනා පාවහන් භාවිතා නොකළේය. වෙළඹෙකු යෙදූ පරණ රථයකින් ගමන් කළේය.
මේ පිළිබඳව කුතුහලයක් ඇතිවුණු කොසොල් මහ රජතුමා ලොව්තුරා බුදුරජාණන් වහන්සේගෙන් මෙයට හේතුව විමසා සිටි විට, ඔහු පසේ බුදුනට දනට දුන් දේ සිතින් ග්‍රහණය කර ගැනීමත්, දීමෙන් පසු සිත අපිරිසිදු කර ගැනීමත් මෙයට හේතුව බව දේශනා කළ සේක.
යමෙක් මෙසේ ග්‍රහණය කර නොගෙන සම්පූර්ණයෙන්ම අත්හැර දන් දෙන්නේ නම් ඔහුගේ හිත ලැබූ ධනය දේපළ උපයෝගී කොටගෙන උදාර කාම සම්පත් අනුභව කිරීමට සිත නැමෙයි. එසේ සම්පූර්ණයෙන්ම අතහැර දන් නොදුන් විට කොපමණ ලැබුණත් ඒවා පරිභෝජනය කරන්නට සිත නොනැමෙයි. එනම් ධනසම්පත් ලැබීමේ ප්‍රයෝජනය ගත හැකි නොවෙයි.
තමන්ද අනුන්ද නොපෙළා දන් දන්දීම යනු කිසිවෙකුට වචනයකින් හෝ පීඩාවක් නොකොට දන්දීමයි. එම පරිත්‍යාගය නිසා කිසිවෙකුට හිරිහැරයක් නොවේ. කායික හෝ මානසික පීඩාවක් සිදු නොවේ. සුවසේ උපයා සුවසේ පිළියෙල කොට සුවසේ පරිත්‍යාග කරයි.
එසේ දන් දුන් විට ආඨ්‍යව ධනවත්ව උපදිනවා සේම ඉතා විශේෂ ආනිශංසයක් ලැබෙයි. එය නම් කිසිවෙකුට ඔහුගේ ධනය දේපළ ඔහුගේ කැමැත්ත නැතිව වැනසීමට හෝ පැහැරගැනීමට නොහැකි වීමයි.
ගින්නෙන් ඔහුගේ ධනය විනාශ නොවෙයි. ජලයෙන් හෝ සොර සතුරු බියකින් එම ධනය විනාශ නොවේ. අඩුම වශයෙන් රජෙකුට හෝ ඔහුගේ ධනය ඔහුගේ කැමැත්තෙන් තොරව පැහැරගැනීමට නොහැකි වෙයි.
මෙසේ යමෙක් සත්පුරුෂ දානයන් සිදුකරයි නම්, ඔහුට හෝ ඇයට ධනවත් වීම හා ආඪ්‍ය වීමට අමතරව ඉහත අතිරේක ආනිශංසයන්ද හිමිවෙයි.
එබැවින් සත්පුරුෂ ආකාරයෙන්ම දානය පුරුදු පුහුණු කිරීමට සිතට ගත යුතුය.
තෙරුවන් සරණයි !