Doctor Door

ඔබේ ගැටලුව අපට එවන්න
දෙසැම්බර් 2, 2024

හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධි පසු කරමින් යන විට දී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම් දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයා ගත නොහැකිව පීඩා විඳින්නන් බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.

 

අපේ ලිපිනය. Doctor Door, තරුණී, ලේක්හවුස්,

කොළඹ - 10. එසේත් නැත්නම් ඔබගේ ගැටලුව

0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

මූත්‍රා කරන විට දැඩි වේදනාවක්

 

ප්‍රශ්නය

33 හැවිරිදි මා විවාහ වී මාස 3කි. මා මූත්‍රා රෝගයකින් පෙ‍ෙළමි. මූත්‍රා කරන විට මා හට දැඩි වේදනාවක් ඇති වේ. එමෙන්ම යටිබඩ ප්‍රදේශයේද වේදනාවක් පවතී. මෙය කුමන තත්ත්වයක් ද?

 

පිළිතුර

මෙය Honeymoon cystitis යනුවෙන් හඳුන්වයි. ළඟදී විවාහ වුණු අය සාමාන්‍යයෙන් ලිංගිකව එකතු වීමේ වාර ගණන වැඩිය. ඒ නිසා මූත්‍රා මාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් ඇතුළු වන විසබීජ මූත්‍රාශයේ එකතු වෙන්න පුළුවන්. ඒ හේතුවත් මෙයට බලපාන්න පුළුවන්.

 

ඒ වගේම පළමුවරට එකතු වීමක් නම් සම තුවාල වීමක් සිදුවිය හැකියි. එම කාර්යයට පහසුවක් වන ලුබ්‍රිකන්ට් වර්ග සහ ජෙලි වර්ග ෆාමසියෙන් ලබා ගත හැකියි. ඒ වගේම ඇතැම් කොන්ඩම් වර්ග ආසාත්මික වන අවස්ථා තිබෙනවා. ඒවාත් මූත්‍රා දැවිල්ලට හේතුවක් වෙන්න පුළුවන්.

ඒ වගේ මූත්‍රාවල වර්ණයෙහි වෙනසක් ඇත්ද කියා පරීක්ෂා කර බලන්න. මූත්‍රාවල කුඩා රොඩු මෙන් අපද්‍රව්‍ය ස්වභාවක් දැකිය හැකි නම් බොහෝ දුරට එය විසබීජයක් ඇතුළු වීමකි.

 

ලිංගික කාර්යය කිරීමට පෙර සහ එම කටයුත්තෙන් පසුවද මූත්‍රා පිට කිරීම කළ යුතුයි. එවිට මෙවැනි ගැටලු ඇතිවීම අවම වේ. මෙය Honeymoon cystitis තත්ත්වය නම් සති කිහිපයක් යන විට සුව වේ. නමුත් දිගින් දිගටම පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම කළ යුතු ය.

 

සම වියැළිලා

ප්‍රශ්නය

48 හැවිරිදි මාගේ කකුල්වල සම ඉතාම රළු ස්වභාවයක් ඇත. කොරළ මෙන් පොතු ගැල වී යයි. මේ නිසා දිගු ඇඳුම් ඇඳීමට මා හුරු වී සිටිමි. මෙය සුව කර ගැනීමට මාහට අවශ්‍යයි. ඊට සුදුසු ප්‍රතිකාරයක් තිබේද?

 

පිළිතුර

Dry skin යනුවෙන් හඳුන්වන්නේ මෙම රෝග තත්ත්වයයි. මේ තත්ත්වය සමට විතරක් නෙවෙයි හිසටත් ඒ වගේම බලපාන්න පුළුවන්. උණුසුම් දවස්වල අව්වේ වැඩ කරන විටත් සම මේ විදිහට වියැළෙන්න බලනවා. එතකොට සබන් ජාතිත් සම වියළි වෙන්න හේතුවක් වෙනවා. මේ විදිහට සම වියළුණාම සම රැලි වැටෙන්න වගේම සම රළු වෙන්නත් බලපානවා.

ආසියාතික රටවල පවතින උෂ්ණත්වය නිසා සම නිතරම වියැළෙනවා. ඒ නිසා නිතර සමෙන් වාෂ්ප පිට වෙනවා. ඒ සඳහා සමේ තෙතමනය රැකදෙන ක්‍රීම් වර්ග, ජෙල් වර්ග ෆාමසිවලින් මිල දී ගන්න පුළුවන්. නිවෙසින් එළියට යන්න ප්‍රථම මෙවැනි ආලේපනයක් ආලේප කිරීමෙන් සමෙහි වේළීම නතර කරගත හැකියි. මෙවන් සමක් සහිත අයට දැඩි උණුසුම් වතුරත්, දැඩී සීතල වතුරත් සුදුසු නොවේ. ඒ නිසා සාමාන්‍ය ජලය ස්නානය කිරීමෙන් පසු සමේ තෙතමනය රැකදෙන ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. ඔලිව් ඔයිල් වැනි ඖෂධීය තෙලක් සමෙහි ආලේප කළ හැකි නම් වඩා ප්‍රතිඵලදායකය.

මෙම සමේ වේළීමේ තත්ත්වය උග්‍ර අතට හැරුණු විට සම කැසීමකට ලක් වේ. එහිදී සම තුවාල වීම නිසා ශරීරය තුළට විසබීජ ඇතුළු වීමට වැඩි ඉඩක් පවතී. ඒ වගේම මේ තත්ත්වය ජානමය වශයෙන් ද ඇති වේ. ඒ වගේම කලාතුරකින් වකුගඩු රෝග නිසාත් මෙසේ සම වියළි වීම සිදු වේ. මෙය දිගින් දිගටම පවතී නම් සමේ රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුගෙන් උපදෙස් පැතිය හැකිය.

 

 

උපදෙස් -

කායික රෝග විශේෂඥ වෛද්‍ය

එච්. ඩී. විජේසිංහ