වර්ෂ 2024 ක්වූ December 16 වැනිදා Monday
බිලිඳු සිනාව තවමත් පමා වීද?
බිලිඳු සිනාවන් නිවෙසට සැබැවින්ම සිරියාවකි. ඒ සිනාවන්ට පණ දෙන්නට නොහැකිව ළතැවෙන විවාහ පත් යුවළ බොහෝ වේ. මොවුන් බොහෝවිට මඳසරුබවින් පෙළෙන්නන්ය.
විවාහපත් යුවළක් පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත නොකොට සක්‍රියව ලිංගික කාර්යයේ යෙදෙද්දී පළමු වසර ඇතුළත ස්වභාවිකව පිළිසිඳ ගැනීමක් සිදුවන්නේ සියයට 80ක ප්රමාණයකටයි. ඉතිරි සියයට 20න් තවත් සියයට 10ක් දෙවැනි වසර තුළදි ගැබ් ගනියි. විවාහ වී වසර දෙකක් අවසානයේ අනෙක් සියයට 10 ප්‍රතිකාර කරා යොමුවේ. සමස්තයක් ලෙස ගත්කළ සියයට 10ක 12ක පිරිසක් මඳසරු බවින් පෙළෙන බවට ගණනය කර තිබේ. මෙම අගය එන්න එන්නම වැඩිවෙමින් බරපතළ ගැටලුවක් බවට පත්වෙමින් තිබේ.
වයස අවුරුදු 35ට අඩු කෙනෙක් නම් විවාහ වී වසරකට පසුව ප්‍රතිකාර කරා යොමු වීම වැදගත් වේ. නමුත් යම් අයෙක් කලින් ගර්භාෂයේ හෝ ඩිම්බකෝෂයක ගෙඩියක් හටගෙන සැත්කමක් කර ඇත්නම්, වයස අවුරුදු 35ට වැඩි නම්, මාස්ශුද්ධිය අක්‍රමවත් නම්, එන්ඩ්රොමෙට්ට්රීස් වැනි රෝගයක් වැලඳී ඇත්නම්, යෝනි මාර්ගය වටා ඇති මාංස පේශී අනවශ්‍ය ලෙස හැකිළීම(Vaginismus), ස්වාමි පුරුෂයාගේ සාඵල්‍යතාව පිළිබඳ ගැටලු ඇත්නම්, ලිංගික කාර්යයේ යෙදෙද්දී ගැටලු මතුවේ නම්, කම්මුල්ගාය වැලඳී වෘෂණ කෝෂ ඉදිමී තිබුණේ නම්, ශිෂ්ණය ප්‍රාණවත් වීමේ ගැටලු ඇතැයි හැඟේ නම්, ලිංගිකව එකකු වීම සාර්ථක නැතැයි හැඟේ නම් ... මේ අය විවාහ වී මාස හයක් හෝ ඊටත් අඩු කාලයකදී වුවත් කාලය නාස්ති නොකර ප්‍රතිකාර කරා යොමු වීම වැදගත් වේවි. දෙදෙනාගේම එකඟත්වය මත නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ මඳසරුබව සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක්ගේ වෛද්‍ය උපදෙස් ලබාගත යුතුවේ.
මූලික හමුව
* පළමුව යෝනි මාර්ගය වෙතින් කෙරෙන අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව කරයි.
* පුරුෂයාගේ නම් කරන්නේ ධාතූ පරීක්ෂණයකි.
* දින 21ත් 35ත් අතර මාස්ශුද්ධිය සිදුවේ. (දින 21න් 21ට, දින 35න් 35ට) නම් එය සාමාන්‍යය මාසික ශුද්ධ වීමකි. සාමාන්‍යය ලෙස ඩිම්බ පිටවීමකි. මෙවැනි කෙනකුගේ රුධිර සාම්පල පරීක්ෂාවක් අවශ්‍ය නොවේ. මාස්ශුද්ධිය අක්‍රමවත් එකක් වූයේ නම් TSH(තයිරොයිඩ් සම්බන්ධ ගැටලු ඇත්නම්), Prolactin පරීක්ෂාවන් ආදිය සිදු කරයි. මෙම රෝගී තත්ත්වයන් නිසා ඩිම්බ මේරීම ප්‍රමාද වේ.
* මීට අමතරව විවිධ හෝමෝන පරීක්ෂාවන්(ඇන්ටිමුලේරියන් පරික්ෂාව, ඕවේරියන් රිසච් පරික්ෂාව, FSH පරීක්ෂාව.....) සිදු කෙරේ.
මෙම පරීක්ෂණ මඳසරුබවින් පෙළෙන සෑම කාන්තාවකටම පොදු නැත.
කරාපිටිය ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහලේ මඳසරුභාවය පිළිබඳ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය
දීපානි ජයසිංහ