වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මල් ගොමුව සරසන පුංචි සුරඟන
එම්බ්‍රොයිඩරි කලාවන් අතර සුන්දරම නිර්මාණ බිහි කරන රිබන් එම්බ්‍රොයිඩරි, ලාංකේය කතුන් වඩාත් ප්‍රිය කරන්නකි. මෙහි දැක්වෙන මේ ලස්සන පුංචි සුරංඟන මසා ඇත්තේ ද එම කලාවෙනි. කුෂන් කවර, ඇඳ ඇතිරිලි, මේස රෙදි මෙන්ම බිත්ති සැරසිලි හා ඇඳුම් හැඩ කිරීමටත් මේ මෝස්තර භාවිත කළ හැකියි.
බලන්න මේ අපූරු නිර්මාණය දිහා... මලින් පිරුණු මල් ගොමුවක සිටින ලස්සන පුංචි සුරංඟනාවක්. බිත්ති සැරසිල්ලක් සඳහා අපූර්ව නිර්මාණයක් වන මෙය රිබන් එම්බ්‍රොයිඩරි කලාවෙන් ඔබටත් මෙලෙස නිර්මාණය කරගත හැකියි. මේ නිර්මාණය ඔබේ දියණියගේ කාමරය සරසන්න වගේම දියණියකට තෑගි දෙන්නත් කදිමයි
අවශ්‍ය ද්‍රව්‍ය
එම්බ්‍රොඩර් රාමුවක්
සුදු, රෝස, ලා කහ, රතු, කීම් පැහැ සහ ලා නිල් පැහැ පින්තාරු තීන්ත
No 22/18 ටැපැස්ට්‍රි ඉදිකටු
22MM පළල ලීෆ් ග්‍රීන්, ඇපල් ග්‍රීන්, සැමන් පින්ක් සහ මැජන්ටා වර්ණවලින් රිබන්
තද දුඹුරු, කොෆී බ්‍රවුන් සහ ලා දුඹුරු පැහැ බේබි රිබන්
අඟල් 1/2 පළල සුදු, රෝස සහ ලා කොළ පැහැ සැටිං රිබන්
අඟල් 1/4 පළල දුඹුරු පැහැ ඔගැන්සා රිබන්
අඟල් 3/4 පළල ක්‍රීම් පැහැ ඔගැන්සා රිබන්
තද සුදු, ලා දුඹුරු, සුදු, රෝස සහ කහ පැහැති කැරලි නූල්
නිර්මාණය කිරීම
පළමුව රූපයේ පරිදි මෙහි දළ සටහනක් සකසා ගන්න. එය ලිනන් රෙදි කොටසක පිටපත් කරගන්න. එසේත් නැති නම් Fabric photo copy ක්‍රමයෙන් ඡායාරූප රෙදි මත මුද්‍රණය කරන ස්ථානයකින් වුවද මුද්‍රණය කරවා ගත හැකියි.
ඉන්පසු රූපයේ පෙනෙන ආකාරයට රෝස, කහ, ක්‍රීම් පැහැ සහ සුදු පින්තාරු තීන්ත භාවිත කරමින් සුරංගනාවියගේ අත්, පා සහ මුහුණ වර්ණ ගන්වන්න. ඇයගේ සපත්තු යුගළය රතු පැහැයෙන් වර්ණ ගන්වන්න. දැන් පින්තූරයේ දක්වා ඇති පරිදි, පහළ සිට ඉහළට නිල් පැහැය සහ රතු පැහැය ෂේඩ් වී යන ආකාරයට පසු බිම වර්ණ ගන්වා ගන්න.
වර්ණ ගන්වා ගත් රෙදි කොටස මඳ පවනේ වියැළුණු පසු එම රෙද්ද රැලි නැතිවන සේ අයන් කරගන්න. දැන් මෙය එම්බ්‍රොයිඩර් රාමුවට දමා තද කර මැසීම අරබන්න.
ගසේ කඳ සහ අතු මසා ගැනීම සඳහා No 22 ටැපැස්ට්‍රි ඉඳිකටුව තද දුඹුරු බේබි රිබන් එකෙන් නැටි මැස්මෙන් මසා ගන්න. රූපයේ පෙනෙන ආකාරයට කොෆි බ්‍රවුන් සහ ලා දුඹුරු බේබි රිබන් වලින් මාරුවෙන් මාරුවට මසා ගනිමින් වර්ණ ෂේඩ් වන ආකාරයට අතු මසා ගන්න.
ඉන්පසු සුරංඟනගේ අත්තටු දුඹුරු, සුදු මිශ්‍ර කපු කැරලි නූල් භාවිතයෙන් නැටි මැස්මෙන් මසා ගන්න. කොණ්ඩය සඳහා දුඹුරු, කොෆි බ්‍රවුන්, ලා දුඹුරු නූල් කැරලි ගෙන මේ සියල්ල එකට තබා අවශ්‍ය දිගට ගෙන කපා ගන්න. ඉන්පසු රූපයේ පෙනෙන පරිදි එක් කොනකින් ගැටයක් ගසා ගන්න. එම ගැටය නළල මැඳින් හිසේ තබා මසා ගන්න. දැන් කොණ්ඩයක පෙනුම එන සේ අතින් නූල් ටික සකසා, කුඩා මැහුම් දමමින් ස්වභාවික කෙස් කළඹක පෙනුම ලැබෙන සේ මසා ගන්න. අඟල් 3/4 ක්‍රීම් පැහැ ඔගැන්සා රිබන් එක දෙකට නවා නූල් ඇද, රැළි කරගන්න. එම රැළි කරගත් කොටස සුරංඟනගේ ගවුමේ යට කොටස ලෙස තට්ටු සිටින සේ තබා මසා ගන්න.
අඟල් 1/4 ඔගැන්සා රතු පැහැති රිබන් එක ද නූල් ඇද, රැලි ගන්වා ඉදිරිපස කරේ සිට ඉණ දක්වා හැඩකර ගන්න.
රූපයේ පරිදි ගසේ කොළ දක්වා ඇති ස්ථානවලට කොළ පැහැ වර්ගවල රිබන් භාවිත කරමින් මසා ගන්න. මේ සඳහා 2mm ප්‍රමාණයේ කොළ පැහැ වර්ගවල රිබන් භාවිත කර ඇත. කොළ ෂේඩ් වීම සඳහා කොළ පැහැ වර්ණයේ ප්‍රභේද භාවිත කළ හැකියි. අවසානයේ අඟල් 1/2 පළල සුදු සැටින් රෙදි භාවිත කරමින් පෙති 5ක් 6ක් එන ලෙස රිබන් ස්ටිච් දමා ගනිමින් ස්වභාවිකත්වයක් එන ලෙස පෙති මසා ගන්න. ඉන්පසු කහ වර්ණයේ කපු කැරැලි නූල් භාවිතයෙන් ෆ්‍රෙන්ච් නොට් දමා ගනිමින් මල් රේණු මසා ගන්න.
දැන් ඔබ මසාගත් මලින් පිරි සුරඟනගේ අසිරිය බලන්න.
උපදෙස්
අත්කම් උපදේශිකා
ශලින්ද්‍රි අලෝකා