මලක් වගේ වැඩට යන්න පහසු ඇඳුමක්

ජූලි 31, 2023

කාර්යාලයට යන ඔබට ගැළපෙන ඇඳුමකි මේ. ෂ‍ර්ට් බ්්ලවුසයක් සහ දිගු කලිසමකි. මේ දිනවල වෙ‍ෙළඳපොළේ ඇඳුම්වල මිල අහස උසට ගණන්ය. ඉතින් මැහුමට ගෙතුමට දක්ෂ ඔබට මෙවැනි ඇඳුමක් මසාගන්නට හැකි නම් එය කෙතරම් අගනේද? තමන්ගේම දෑතින් මසාගත් ඇඳුමක් ඇඳගෙන යාමේ අභිමානය ද ඔබ සතුයි.

 

බ්ලවුසයට මිමි

 

* උරහිස අඟල් 15 1/2

* කරවට අඟල් 14

* ඉණ දක්වා උස අඟල් 15 1/2

* උස අඟල් 24

* පපුව වට අඟල් 39

* ඉණ වට අඟල් 32

* උකුළ වට අඟල් 43

* අත උස අඟල් 15

* කැප් උස අඟල් 4

* අත අග වට අඟල් 9

* පතරොමේ අත්කට අඟල් 10

 

බ්ලවුසය නිර්මාණය සඳහා සුදුසු රෙදි වර්ගයක් තෝරාගන්න.

ඉදිරිපස පතරොම විවර සහිත මෙන්ම විවරයට වෙනම පටි කොටසක් අල්ලා ඇත.

පතරොම සාදා ගැනීම සඳහා බලවාටියට තබා ගන්න. බලවාටියේ සිට අඟල් 1/2 තබා නැම්ම රේඛාව අඳින්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4

ක් පහත්කර A ලක්ෂ්‍යට යා කරන්න. එය AC වේ.

කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න. කර මඳක් පළලට ගෙන ඇති නිසා E සිට අඟල් 1ක් පමණ වැඩිකර අවශ්‍ය ගැඹුරට අඳින්න.

E සිට පහතට ඉණ දක්වා උස හා සම්පූර්ණ උසට මැහුම් වාසි එකතුකර පහත ලකුණුකර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා අඟල් 8 ක් A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා එකතු කර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

උකුළ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා එකතුකර වාටිය රේඛාවේ හරහට ලකුණු කරන්න. එය JK වේ.

GIK යාකර අංශය අඳින්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍ය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ෂ්‍ය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍ය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

බ්ලවුසයේ ඉදිරිපසට අවශ්‍ය කර විවරයෙන් පහතට වෙනම පටියක් අල්ලා ඇත. එය අඟල් 2 1/2 ක් පමණ ගෙන නවා අල්ලා ගන්න.

 

පසුපස

ඉදිරිපස විවරය සහිත නිසා පසුපස පතරොම නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොමේ නැම්මට පසුපස පතරොම තබාගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩිකරන්න. පසුපස කර ගැඹුර අඟල් 1 1/2ක් පහත්කර අඳින්න.

 

අත

අත සඳහා රෙදි කොටස නැම්මට තබාගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මෙ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න.එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න.එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍ය ලකුණු කර අත්කට වක්‍රය අඳින්න. අත අග වට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා රැලි සඳහා එකතුකර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එයB E වේ. ED යාකරන්න. අත අග රැලිකර වෙනම පටියක් අල්ලා ඇති නිසා එම පටිය අත අගවට ප්‍රමාණයට වෙනම කපාගත යුතුයි.

 

කලිසම සඳහා මිමි

 

* ඉණ වට අඟල් 34

* උකුළ වට අඟල් 39

* කකුළ වට ඉහළින් අඟල් 22

* දණහිස වට අඟල් 18

* පහත කකුළ වට අඟල් 15

* දණහිස දක්වා උස අඟල් 22

* සම්පූර්ණ උස අඟල් 36

 

රෙදි කොටස බලවාටියට නවාගන්න. අඟල් 1/2ක් මැහුම් වාසි තබා ඉණ රේඛාව අඳින්න. ඉණ රේඛාවේ සිට පහතට ගොල්ෆි උස, දණහිස දක්වා උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න. වාටිය සඳහා අඟල් 1 1/2ක් තබා ගන්න. බලවාටියේ සිට ඉණ රේඛාවේ අඟල් 2 1/2ක් ලකුණු කරන්න. එය AD වේ.

 

බලවාටියේ සිට ගොල්ෆි රේඛාවේ හරහට අඟල් 1 1/2 ක් ලකුණු කරන්න. එය BE වේ. ED යාකරන්න.

E සිට ගොල්ෆි වක්‍රය අඟල් 1 1/2ක් අඳින්න.

ඉණ රේඛාවත් ගොල්ෆි රේඛාවත් අතර මැද ගෙන හරහට රේඛාව අඳින්න. එය උකුළ රේඛාවයි.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර D සිට හරහට ලකුණු කරන්න. එය DF වේ.

උකුළ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය GH වේ.

ඉහළ කකුල වට ප්‍රමාණයෙන් අඟල් 2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය දෙකෙන් බෙදා ගොල්ෆි රේඛාවේ හරහට ලකුණු කරන්න. එය MN වේ.

ඉණ මිම්මෙ මැද ලක්ෂ්‍ය ලකුණුකර එතැන් සිට වාටිය රේඛාවට කෙළින් ඉරක් අඳින්න.

දණහිස වට හතරෙන් බෙදා එම පිළිතුර දණහිස රේඛාවේ මැද සිට දෙපසට ලකුණු කරන්න. එය IJ වේ.

කකුල වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර වාටිය නැම්ම රේඛාවේ මැද සිට දෙපසට ලකුණු කරන්න. එය KLවේ. දෙපස හැඩකර ඇද මැහුම් වාසි තබා කපාගන්න.

දෙපස හැඩ ඇඳ මැහුම් වාසි තබා කපාගන්න.

 

 

පසුපස

 

පසුපස සඳහා බලවාටියට ගෙන ඉදිරිපස පතරොමෙන් ගොල්ෆියේ සිට අඟල් 2ක් ද දණහිස රේඛාවෙන් හා වාටිය රේඛාවෙන් අඟල් 1ක් බැගින් වැඩිකර අඳින්න.

කලිසම සඳහා සිපර් එකක් අංශයට භාවිත කළ හැකියි. නැතිනම් ඉදිරිපස ගොල්ෆි වක්‍රයට භාවිත කළ හැක.

දෙපසට ඔබට අවශ්‍ය නම් සාක්කු ද යොදා ගැනීමට පුළුවන.

 

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක