කොළ මහන්න ඉ‍ෙගනගන්න

ජූලි 29, 2024

 

Hand Embroidery කලාවේ හයවැනි පාඩමේදී අපි ඉගෙන ගනු ලබන්නේ තවත් මූලික මැහුම් රටා ක්‍රම කීපයකි. එනම් පත්‍ර විවිධ ආකාරයට මැසිය හැකි මැහුම් රටා ක්‍රම කීපයකි.

එනම්,

 

මාළු කටු මැස්ම - fishbone Stitch

සැටින් මැස්ම - satin Stitch

මැස්සා මැස්ම - fly stitch

රෙයිස්ඩ් හෙරිංබොන් මැස්ම - Raised herringbone Stitch

 

මාළු කටු මැස්ම - Fishbone Stitch

මෙහිදී මුලින්ම පත්‍රයක හැඩයක් ඇඳ ගත යුතු වේ. පසුව පත්‍රයේ මැද නාරටිය ඇඳ එහි ඉහළ කෙළවරේ සිට මඳක් මැදට එන ලෙස එම නාරටි රේඛාව මැසිය යුතුය. එම මසාගත් රේඛාවේ වම්පස ඉහළින් ඉඳිකටුව ඉහළට ගෙන පිටතට ගත යුත්තේ පළමු මැද රේඛාවේ කෙළවරිනි. පසුව දකුණු පස ඉහළ කෙළවරින් ඉඳිකටුව ගෙන එය පිටතට ගත යුත්තේ මැද මැස්මේ පහළ අවසානයෙනි. මේ ආකාරයට පත්‍රයේ හැඩය රකිමින් මසා ගත යුතු වේ.

 

සැටින් මැස්ම Satin Stitch

මෙම මැස්මේදී පිරවීමක් සිදු වේ. පත්‍රයක හැඩය ඇඳගෙන පසුව එහි හරි මැදින් නාරටිය ඇඳ එම නාරටිය මැසිය යුතුය. එසේ මසා ගත් පසු හරි මැදින් පත්‍රය දෙකට බෙදේ. පළමුව එහි වම් කොටස හෝ දකුණු කොටස ගෙන ඉහළ සිට පහළට මසා ගත යුතුය. මේ ආකාරයට මල් වර්ග ද මසා ගත හැකි වේ. (රූපයේ දක්වා ඇති ආකාරයට)

 

මැස්සා මැස්ම Fly Stitch

කළින් පාඩම්වලදී කතා කළ මෙම මැස්ම පත්‍ර මැසීමටද භාවිත කරනු ලැබේ. මෙහිදී ද පත්‍රය ඇඳ නාරටිය ද ඇඳ ගත යුතුය. පළමුව පත්‍රයේ මුදුනේ සිට නාරටිය කුඩා කොටසක් මසා ගත යුතුය. පසුව පත්‍රයේ ඉහළ කෙළවරින් නාරටියට වම්පසින් ඉඳිකටුව ඉදිරියට ගෙන නැවත එයට සමානවම දකුණු පසින් ඉඳිකටුව යවා කුඩා ලූප් කොටසක් ඉතිරිකර නැවත ඉඳිකටුව ඉහළට ගත යුත්තේ මැද නාරටිය මසා ගත් තැනින්ය.

 

 

රෙයිස්ඩ් හෙරිං‍ෙබාන් මැස්ම

Raised Herringbone Stitch

මෙහිදී පත්‍රය සහ නාරටිය ඇඳ පත්‍රයේ මුල සිට නාරටිය මැදට ආසන්න වශයෙන් මැස්මක් දැමිය යුතුය. පසුව පත්‍රයේ මුදුනේ නාරටියේ දකුණු පසින් ඉඳිකටුව ඉදිරියට ගත යුතුය. එය කළින් පත්‍රයේ මුල මසා ගත් මැස්ම ඇතුළතින් ඉඳිකටුව දමා කලින් ඉඳිකටුව ගත් ස්ථානයට සමාන්තරව වම්පසින් පිටතට ගනු ලැබේ. මේ විදිහට දිගටම මසා ගත යුතුය.

උපදෙස් -
ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනි
ඊ.ඒ. සඳමාලි නවෝදිකා