සුවඳ රෝස කුමාරියට හැඩට වැඩට සිඟිති ගතට

දෙසැම්බර් 30, 2024

 

මලක් වගේ ඉන්න පොඩිත්ති තවත් ලස්සන කරන්නට කදිම විලාසිතාවක ගවුමකි. රෝස පැහැය එකතු කර ගැනීමෙන් දෝණිගේ හැඩකාර බව වගේම දඟකාරකමත් ඉස්මතු වෙනවා.

 

ගවුම මසන්නට අප උදාහරණ ලෙස අවශ්‍ය මිමි දී ඇතත් ඔබේ දියණියගේ මිමි ඒ සඳහා ආදේශ කර පතරොම් ඇඳ කපා ගවුම මසාගන්න.

 

ඉදිරි පළුව

 

මූලික ඉදිරි පළුව පිටපත් කරගන්න. කර AB ලෙසත් උරහිස BC ලෙසත් කිහිලි කට CD ලෙසත් නම් කරගන්න. කිහිලි කට අග බුරුලක් අවශ්‍ය නම් පමණක් අඟල් 1/2 හෝ අඟල් 1/4ක් පහත් කර නැවත කිහිලි කට ඇඳගන්න.

 

A සිට කර මුල සිට අවශ්‍ය ප්‍රමාණ ඉණ උස ගන්න. මෙය ඉණ උස ගවුමකි. එම උස Aසිට පහතට ගෙන E යොදා E සිට තිරස් අතට ගන්න. රේඛාව පැත්තේ මැස්ම කැපෙන තැන F ලෙස නම් කරන්න. A සිට අවශ්‍ය කර ගැඹුර ගෙන අඟලක් හෝ අඟල් 1 1/4ක් සෑහේ. මෙහි උරහිස B සිට C  දෙසට අඟල් 1/2ක් ගන්න. B යොදා ගවුමේ කර නැවත ඇඳ පතරොම මැහුම් වාසි තබා කපාගන්න. කඩ ඉරි මඟින් පෙන්වා ඇත්තේ ෆ්‍රිල් එක අල්ලන රේඛාවයි. B, C උරහිස හරි මැදින් යන ලෙස ෆ්‍රිල් එක මසාගන්න. ඉදිරිපස රෙද්දේ නැම්මට තබා නවන්න. පොප්ලින් රෙද්දේ කපා සෙටින් හෝ සුදුසු රෙද්දකින් කපාගන්න.

 

 

පිට පළුව

පිට පළුව ද ඉදිරිපස ආකාරයටම කර සහ අත ඇඳගන්න. ඉදිරිපස DF දුර මැන ගන්න. එම මිම්ම පිට පළුවේ D සිට පහළට ගෙන F යොදා පිට මැද රේඛාවට දිගට ගන්න. කැපෙන ලක්ෂ්‍යය E ලෙස නම් කරගන්න. AE සිට මැද විවරය සඳහා මැහුම් වාසි තබා කපාගන්න.

 

සාය

ගවුමේ ඉණ මෙන් දෙගුණයක් දිග ගෙන (EF) AB රේඛාව ඇඳගන්න. ඉන්පසු උස ගැනීමේදී කොට ඉණ ගත් තැන සිට අවශ්‍ය උස ගන්න. එය CD  වේ. රැලි වැඩියෙන් අවශ්‍ය නම් කැමැති පරිදි අඩු වැඩි කරගන්න. AC සහ BD හරි මැදින් රේඛාවක් ඇඳගන්න. එම ප්‍රමාණයට කොටස් 2ක් කපාගන්න. (රෙද්දෙන් සහ ලයිනින්වලින්)

 

ඊට පසුව දෙවැනි තට්ටුව මසා (AB, EF)  එම ප්‍රමාණයම රෙද්දෙන් පමණක් කොටස් දෙක කපාගන්න. මැසීමේදී සෑම කොටසකම පැත්තේ මැස්ම මසා වාටිය ද මසා ගන්න. කොටස් ටික එකට තබා රැලි කර ගවුමේ ඉණට තබා මසාගන්න.

 

ෆ්‍රිල්

 

ෆ්‍රිල් දිග උරහිස මැද සිට අත වැසෙන තෙක් ගන්න. එම උසට AC දිග වනුයේ ඉණ රේඛාව මසා දෙගුණයක් දිගට ගෙන රැලි කර අල්ලා ගන්න. රැලි කර ගැනීමේදී කර පැත්තට අල්ලා ගන්න. අඟල් 1/2ක් පහළින් රැලි මැස්ම දමා මසාගෙන රැලි කර අල්ලා ගන්න. අගට වාටියක් හෝ සුදුසු රේන්දයක් අල්ලා ගන්න.

අත

 

අවශ්‍ය අතේ උස ඒඕ ද අතවට දෙකට බෙදා පිළිතුර ගෙන ඕඛ් ලෙස ද ගන්න. ඛ්සිට ඉහළට අඟල් 1ක් ගෙන ඛ් යොදා ඒ වෙත හැඩකර ඇඳගන්න. රෙද්ද මත කැපීමේදී ඒඕ සිට ඉදිරියට රැලිවලට අවශ්‍ය ප්‍රමාණය තබා කපාගන්න. අතේ අග ඛ්ඕ සිට ඉහළින් ඉලාස්ටික් පටියක් අල්ලා ඇත. එය රැලි කර ගන්න. අගට රේන්දයක් හෝ වාටියකින් කෝඩ්කර ගන්න.

 

මේ සඳහා රෙදි වර්ග 3ක් භාවිත කළහොත් ඉතාමත් අලංකාර ගවුමක් මසා ගත හැකියි.

 

මසා ගැනීම

 

ඉදිරි කඳ කොටස නැම්මට තබා කපා ගන්න. පිට පළුව, පිට මැද විවරය එලෙස තබා කපාගන්න. උරහිස් මූට්ටුකර කරට පේසිමක් හෝ පයිපින් අල්ලා ගන්න. රැලි කර ගත් කොටස කඩ ඉරි දිගට තබා මසාගන්න.

 

හැඩ අතට හෝ දිග අතට තබා කපාගත් බෝරිච්චි අත සහිත පතරොම රෙද්දේ නැම්මට කපාගන්න. අත වට කෝඩ් කර හෝ රේන්දයක් අල්ලා ඉලාස්ටික් පටිය අල්ලා ගන්න. අත් කට රැලි මැස්මක් දමා ගවුමේ අත් කටට අල්ලා ගන්න.

අත යට සිට පැත්තේ මැස්ම මසාගන්න.

 

සාය මැසීමේදී දිග කොටස මත කෙටි කොටස තබා ඉණ රැලි කරගන්න.

 

නිරූපණය - ජෙනුලි ඉමෙත්මා

රූ රටා - නිලක්ෂි ආරියරත්න

 

උපදෙස් - ප්‍රවීණ මැහුම් උපදේශිකා ෂර්මිලා රණවීර

 

[email protected]