ජිම්නාස්ටික් වළල්ලෙන් වැටුණු මම අලුත් ගැම්මකින් නැඟිට්ටා

ශෙනුකි දිශල්‍යා
රට වෙනුවෙන් බර උසුලන රන් දියණි තරුණී ට කතා කරයි
දෙසැම්බර් 5, 2022

 

දසතින් ඇසෙන ඔල්වරසන් හඬ පරයා තරගයට ප්‍රවේශවන සීනුව නාද වූයේ මහත් හඬකිනි... කවුරුත් දෑස් අයා බලා සිටියේ තරග වළල්ලට ප්‍රවේශවෙන ඊළඟ ක්‍රීඩිකාව කවුදැයි කුතුහලයෙනි. අහසින් බැසගත් සුරංගනාවියක් ෂා... හරිම හැඩකාර සුකොමාල යුවතියක්. සැමගේ අත්පොළසන් හඬ මුළු ක්‍රීඩාංගයම සිසරා රැව්පිළි රැව් දෙන්නට වූයේ ජයග්‍රහණයටත් පෙරමය.

 

ශෙනුකි දිශල්‍යා එදිරිමුණි... මේ සියලු දෙනා දෑස් දල්වා බලා සිටි ක්‍රීඩිකාවයි. අප මේ හැඩකාර, දඟකාර, සුරතල් සුරංගනාවිය සොයා යන්නේ ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය දිනාගත් කතාවේ සුවිශේෂී සටහනක් තබන්නටය. ඒ කතාව අසන්නට අප ඇය සොයා ගියේ පාමංකඩ High Octane Finess පුහුණු ආයතනයටයි.

හිරු උදා වී හෝරා කිහිපයකි. ඇය සුපුරුදු ලෙසින් පුහුණුවීම් කටයුතුවලට පැමිණ තිබුණේ ආදරණීය මවත් සමඟිනි. පුහුණු මධ්‍යස්ථානය පුරාම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විවිධ කායවර්ධන පුහුණුවීම්වල යෙදෙන්නේ මහත් උනන්දුවෙනි. මේ අතුරින් ශෙනුකි දියණිය ද තම පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබුණේ පුහුණුකරු දරීත් ධීරසිංහ මහතාගේ උපදෙස් මතය. අප එහි පැමිණ සුළු මොහොතකින් ශෙනුකි අප වෙත පැමිණියේ පුහුණුවීම් අතර සුළු විවේකයක් ගනිමිනි.

 

"අපි ටිකක් ඉන්නම්.... ඔයා තව ටික වෙලාවක් ෆැක්ටිස් කරන්න." මා ඇයට පැවසුවේ අපේ පැමිණීම බාධාවක් කර නොගැනීමේ අපේක්ෂාවෙනි.

 

" එහෙනම්... අපි පොඩ්ඩක් කතා කරමු. ඇයට බාධාවක් නොවෙන්න මම කතාවට මුල පිරුවෙමි.

 

ශෙනුකි..... කොහොම ද මේ ක්‍රීඩාවට යොමු වුණේ කියලා මුලින්ම කියන්නකෝ

මම අවුරුදු හතරෙදි තමයි මුලින්ම ජීම්නාස්ටික් ක්‍රීඩාවට යොමු වුණේ. අවුරුදු හතරෙ සිට දහ අට දක්වා ඒ ක්‍රීඩාව දිගටම කරගෙන ගියා. ජිම්නාස්ටික් කරන ගමන්ම අවුරුදු 12 දී විතර මම ඩයිවින් කරන්න පටන් ගත්තා. මම පාසල් ගියේ බිසොප් විද්‍යාලයට. පාසල් කණ්ඩායම නියෝජනය කරමින් තමයි මුලින්ම ක්‍රීඩාවට ප්‍රවේශ වුණේ. ජිම්නාස්ටික් වගේම මම ඩයිවින් ක්‍රීඩාවෙනුත් ජාතික ශූරතාවය දිනාගෙන තියනවා.

 

ඇත්තටම ඒ ක්‍රීඩාවට යොමු වෙලා ටික කාලයක් යනකොට තමයි World champion ship සඳහා ට්‍රියල් එකකට තෝරා ගැනීම සිද්ධ වුණේ. ජාතික ශූරතාවය දිනාගන්න ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ලෝක ශූරතාවයට යවන්න තමයි සැලසුම් කරලා තිබුණේ. මේ තරගය තිබුණේ 2016 වසරෙදී. මම ඒ තරගයෙන් රන් පදක්කම දිනා ගත්තා කියලා දැනුම් දුන්නා. හැබැයි දවස් දෙකකට පස්සේ සම්මාන පිරිනමන අවස්ථාවට උදා වුණා. අපේ පවුලේ ඔක්කොම මම සම්මානය ගන්නවා බලන්න ආවා. ඒත් මගේ නම කියන්නේ නැතුව වෙන කෙනකුට ඒ සම්මානය පිරිනැමුවා.

සාමාන්‍යයෙන් මාව නුසුදුසුයි කියලා කියන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. ඒක තීරණය කරන්නේ විනිසුරු මණ්ඩලය. දවස් දෙකකට පස්සේ ඒක වෙනස් කරන්න බැහැ. අපි ඒ ඇයි කියලා ඇහැව්වාම කිව්වේ මගේ ඉල්ලුම් පත්‍රයේ වැරැද්දක් කියලා. මට ඇත්තටම දරා ගන්න බැරි වුණා. පුදුම විදිහට මානසිකව කඩා වැටුණා. ඇත්තටම මම අවුරුදු ගාණක් කරපු කැප කිරීම වතුරේ ගියා කියලා මට එදා හිතුණා. මම එතකොට සා.පෙළ කරන කාලේ. මම හිතා ගත්තා ආයෙමත් ක්‍රීඩා කරන්නේ නැහැ කියලා. හැබැයි මගේ අම්මයි , තාත්තයි මාව පුදුම විදිහට ධෛර්යමත් කළා. එයාලා මට කිව්වා මේක නෙවෙයි ජීවිතය කියන්නේ.... තව ඔයාට දිනාගන්න තව පාරවල් තියනවා කියලා ඒ දෙන්නා මට පුදුම දිරි ගැන්වීමක් කළා.

ඊට පස්සෙ ද ශෙනුකි මේ බර ඉසුළුම් ක්‍රීඩාව තෝරා ගත්තේ....

ම්... ම්... ඇත්තටම මට කාලයක් ක්‍රීඩා කරලා නිකම් ඉන්න බැරිව ගියා. ඒ නිසා ජිම් එකකට යන්න තීරණය කළා. මම අම්මගෙන් ඇහැව්වා මගේ ෆිට්නස් හදාගන්න ජිම් එකකට යන්න ද කියලා. අම්මා නම් කැමැති වුණේ..... නැහැ. එයා කිව්වා ඔයා ගෑනු ළමයෙක්නේ..... ඔයාගේ ඇගේ safe එක නැති වෙයි කියලා. නමුත් මම ලෝකේ ඉන්න පවුර් ලිෆ්ටින් කරන තරුණියෝ ගැන පෙන්නුවා. ඒ අය තමුන්ගේ Body safe එක හදාගෙන තියන විදිහ, ඒගොල්ලෝ මේ ක්‍රීඩාවෙන් ඉදිරියට ගිහින් තියන විදිහ ඒ අය පුදුම ලස්සනයි කියලා පෙන්නුවාට පස්සේ අම්මාත් කැමැති වුණා. මේ ක්‍රීඩාවේ අරමුණ තමුන්ගේ ශක්තිය පාලනය කරගෙන ක්‍රීඩා කරන්නේ කොහොමද කියන සිද්ධාන්තය. මේ Powerlifting කියන ක්‍රීඩාවට සිංහලෙන් කියන්නේ " බලය එසවීම කියලා". ඇත්තටම මේ ක්‍රීඩාව මම පටන් ගන්න කොට මගේ බර හරිම අඩුයි. මම ටික ටික බර වැඩි කරගෙන බර වැඩි කරගෙන 2020 දී ලංකා වාර්තාව අලුත් කළා. ඊට පස්සේ මට තුර්කියේ තිබුණු පවුර්ලිෆිටින් තරගයට යන්න අවස්ථාව උදා වුණා. කිලෝ ග්‍රෑම් 47 බර පන්තිය ක්‍රීඩා කරලා ඒ තරගයේදී Event තුනකින්ම රන් පදක්කම් තුනක් දිනාගන්න පුළුවන් වුණා. ඒකත් එකක් ලංකාවේ අලුත් ට්‍රේන්ඩ් එකක් හැදුණා.

ඉතින් ශෙනුකි ඔයාගේ පෞද්ගලික තොරතුරුත් ටිකක් අපට කියන්නකෝ....

මම දැන් ක්‍රීඩා කරන ගමන්ම උපාධියක් හදාරනවා. Globle technology Campus එකේ තමයි ඒක කරන්නේ. ඊට අමතරව මම ආනන්ද විද්‍යාලයේ ජිම්නාස්ටික් සහාය පුහුණුකාරිනියක් ලෙසත් කටයුතු කරනවා. දැන් මම පුහුණු කරපු දක්ෂ ක්‍රීඩිකාවෝ පිරිසක් ඉන්නවා. ඇත්තටම මට එදා වුණු අසාධාරණය නොවෙන්න ඒ අය පුහුණු කරලා ඔලිම්ෆික් පදක්කමක් ගේන මට්ටම දක්වා පුහුණු කිරීම මගේ එක හීනයක්.

දැන් මගේ වයස අවුරුදු 20යි. මගේ පියා අනුෂ සංජීව එදිරිසිංහ. ඔහු ස්වර්ණවාහිනි ආයතනයේ හිටපු නිෂ්පාදකවරයෙක්. අම්මා ක්‍රිෂාන්ති කුලසූරිය. ඇය හොඳ දක්ෂ ලේඛිකාවක්. මට අක්කා කෙනෙකුයි, මල්ලියෙකුයි ඉන්නවා. අක්කා නම් පරිගණක ක්ෂේත්‍රයේ ඉංජිනේරුවරියක්. ඒ අයගෙන් ලැබෙන සහයෝගය නිසයි මම මට මේ තරම් ගමනක් යන්න ලැබුණේ. ඇත්තටම මගේ මේ ක්‍රීඩාවට විශාල වියදමක් යනවා. සියල්ල දරන්නේ මගේ මව්පියෝ. මගේ පුහුණූවීම් කටයුතුවලට High Octane Fitness ආයතනයක් විශාල සහයෝගයක් දෙනවා. ඇත්තටම මගේ පුහුණුකරු දරිත් වීරසිංහ මහතා. ඔහු දක්ෂ ක්‍රීඩිකයෙක්. ඔහු මට හොඳ පුහුණුවක් ලබාදෙනවා.

ඇත්තටම මට ක්‍රීඩාව ගැන කළකිරීමක් ඇති වුණත් තරිඳු පෙරේරා සහ අරුණ ප්‍රසාද් සර්ලා මට හොඳ පුහුණුවක් පොඩි කාලේ ලබා දුන්නා. ඒක හරිම වටිනවා.

මේ ක්‍රීඩාවට යොමුවෙන්නේ ආසාවක් ඇති ඔබ වගේම නංගිලා අක්කලාට දෙන මඟ පෙන්වීම මොකක්ද?

බල ඉසුළුම් ක්‍රීඩාව ටිකක් වෙනස් එකක්. ඒක උදේ ඉදන් රෑ වෙනකම් කරන ක්‍රීඩාවක් නෙවෙයි. ඇත්තම තරුණියකගේ ශරීරයේ හැඩය හදාගන්න මේක හොඳම ක්‍රීඩාවක්. බර නැති කෙට්ටු සිරුරක් තිබුණත් මේ ක්‍රීඩාව කරන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය මම. මම ක්‍රීඩා කරන බර පංතිය 47 ඒක හොඳ බරක්. මගේ ඇගේ හැඩයත් තියාගෙන තමයි හැමදාම ක්‍රීඩා කරන්නේ. හුඟාක් අය බයයි කාන්තාවකගේ ඇග වෙනස් වෙයි කියලා. නමුත් මේ ක්‍රීඩාවෙදි ලැබෙන පුහුණුවෙන් ඇගේ හැඩය හදාගන්න පුළුවන්. මම ක්‍රීඩිකාවක් ලෙස මට ජීවිතයේදී ලැබුණු අත්දැකීම් හරිම වටිනවා. ජීවිතයේ කඩා නොවැටී ඉදිරියට ගියොත් අපට ඕනෑම දෙයක් ජය ගන්න පුළුවන්.

 

 

ඡායාරූප - ශාන් රූපස්සර