බුද්ධියේ කඩඉම් ජය ගත් බුද්ධිමා

ජූලි 10, 2019

මා අභිමුවේ මේ සිටිනුයේ දකුණු ආසියාවේ ළාබාලතම ආචාර්ය උපාධිධාරිනියයි. ඉතාම සරල, ප්‍රසන්න පෙනුමැති ඈ බෙහෙවින් ම නිහතමානී ය. ඉංග්‍රිසි භාෂාව පිළිබඳ හසල දැනුමක් ඇත්තීය.

ආචාර්ය බුද්ධිමා සුබසිංහ ගේ ජීවිතය ගංගාවක් සේ ගලා බසිනුයේ ගල්කුළුවල හැපෙමින් නොයෙකුත් බාධක මධ්‍යයේ ය. බුද්ධියේ කඩඉම් බුද්ධිමා ජයගත් අයුරු ඔබටත් නිසැකවම විපුලඵල ගෙන දෙනු ඇත. නියමිත වයසට එළැඹෙද්දී ඊට වඩා බොහෝ දුරින් සිටි බුද්ධිමා ගේ ජීවිතය ඉතාම ආදර්ශවත් එකකි. ‘තරුණී’ කියවන ආදරණීය මවුවරුනට ‘අනේ මටත් මෙවැනි දුවක් සිටියා...’ නම් යැයි නිසැකවම සිතේවි. යෞවනියන්ට, තරුණියන්ට ඇගේ ජීවිතයෙන් ගත හැකි දේ බොහෝ යැයි මට හැඟේ.

නියමිත වයස එළැඹීමටත් පෙර

අවුරුදු 2 1/2 ක් තරම් පුංචි වියේදී පාසල වෙත පියමනින ඈ බත්තරමුල්ලේ විල්ස්ඩන් ඉන්ටර්නැෂනල් පාසලේ හි ඉගෙනුම ලබමින් පංති දෙක තුන මඟ හරිමින් ඉහළ පංති වෙත යැවෙයි. (Double Promotion) මුලින්ම පෙර පාසල වෙත කිරි බෝතලයක්ද රැගෙන ගිය ඈ දහතුන් වැනි වියේදී සාමාන්‍ය පෙළ විභාගයත් (London O/L)  අවුරුදු 15 දී උසස් පෙළ විභාගය (London A/L)  සඳහාත් මුහුණ දෙනුයේ පංතියේ සිටින ළාබාලතම ශිෂ්‍යාව ලෙසිනි. උසස් පෙළ හැදෑරීමට විල්ස්ඩන් පාසල සහ ගේට්වේ ජාත්‍යන්තර පාසල යන දෙකම තෝරා ගනිමින් ඔස්ට්‍රේලියාවේ කර්ටන් විශ්වවිද්‍යාලයේ සහ මාලඹේ SLIIT  හි උපාධියත් යන දෙකම එකවර(Double Degree)  හදාරයි.

ඉගෙනීම අවියක් කරගනිමින්

ඉගෙනීමට උපන්හපන්කම් දැක්වූ ඇය ජීවිතයේ සියලු අභියෝග ජයගනුයේ ඉගෙනීමම අවියක් කරගනිමිනි. තමා සෑම පන්තියකදීම ළාබාලතමයා නිසා සිසුන් ඇයට අනන්ත අප්‍රමාණ ලෙස විවිධ හිරිහැර කර තිබේ. බාහිර පෙනුමෙනුත් පුංචි නිසා මේ තත්ත්වය තවත් දරුණු විය. මේ සෑම අවස්ථාවකදීම බුද්ධිමා කිසිසේත්ම මානසිකව ඇද නො වැටුණාය. ඒ සිතිවිලි අතර අතරමං වන්නට නොදී කුමක් හෝ අරමුණක්, ඉලක්කයක් පිළිබඳ සෑම විටකදී ම සිතූ නිසා ය.

උපාධි දෙකක් රටවල් දෙකක දී එකවර හදාරමින් එම උපාධි දෙකම ඉතාම ඉහළ ප්‍රතිඵල ඔස්සේ නිම කළ බුද්ධිමා නම් සැබෑම බුද්ධිමතෙක් යැයි ඔබට සිතේවි. ඉගෙනීමට ඇති හැකියාවට ඇය හැමවිටම ආදේශ කළේ ආසාව සහ උනන්දුවයි. රේගු දෙපාර්තමේන්තුවේ රැකියාව කළ පියාත්, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කළ මවත් මාතර සිට බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිට තම එකම දරුවා වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරන්නට විය. බුද්ධිමාගේ මව රැකියාවට සමුදෙන්නේ ද ඒ අනුවය.

 

2019/07/10 තරුණි බලන්න