වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
මම පුංචි කාලයේ හැම තැනකම ගියේ තාත්තාගේ සුළැඟිල්ලේ එල්ලිලා
සති කිහිපයකට පෙර මුහුණු පොතේ හරි අපූරු සටහනක් විය. “යාළුකමට එහා ආදරයට මෙහා නතරවුණු බැඳීම හරි ලස්සනයි...” හැබැයි මේ ලස්සන බැඳීමටත් වඩා ගැඹුරු, ජිවිතයට පාඩම් කියාදෙන ආත්මිය බැඳීම් අපට හමුවෙනවා.
ආදරණීය මවුපියන්ගේ ආදරය කියන්නේ එවැනි ගැඹුරු දහමක්.
තමුන්ගේ ජීවිතයේ අරුත කියාදුන් ආදරණීය පියකුගෙ සෙනෙහස කියන්නේ නොනවතින ගංගාවක් වගේ. එවැනි ගැඹුරු ආදරයක් ලබන්නට, එවැනි පියකුගේ ආදරණීය දියණියක් වන්නට, ගුරු හරුකම් ලබන්නට තරම් වාසනාවක් තිබීමත් ජීවිතයේ ලබන විශාල භාග්‍යයක්.... මෙවැනි සෙනෙහසක් ලද දියණියක් සමඟ පිළිසඳරකට එක්වීමට ලැබීමත් වටිනාම අවස්ථාවක්.
ඇය නදී දිසානායක....
තරුණී පත්ඉරු සටහන තබන්න ඇය සොයා ගියේ තරමක වෙනස් චරිතයක් ගැන දැන ගන්න. ඔහුගේ නම කියූ පමණින් ඔබ හඳුනා නොගත්තත් ‘මිහිර පත්තරේ යෝධයා’ ගැන කිවුවොත් කවුරුත් දන්නවා.
දශක හතරකටත් එහා අතීතයක් ඇති ‘යෝධයා’ ගැන නොදන්න වැඩිහිටියෝ නම් හරිම අඩුයි. අදත් මිහිර පත්තරේ දරුවන්ගේ ජනප්‍රියතම කාටුන් චිත්‍ර සටහන වුණු ‘යෝධයා’ ගැන සටහන් තබන්න විශේෂ හේතුවක් තියෙනවා. හැරී පොටර් නිර්මාණය වන්නට දශක කිහිපයකට පෙරයි. ඔහු නිර්මාණය කළ මායාකාර බටකොළ ආච්චී, බූ බබා, තුල්සි, පුංචිත්තා අප හමුවට ආවේ. යෝධයා සහ පඬිතුමා ඇතුළත් කරමින් නිර්මාණය කළ ‘යෝධයා’ චිත්‍ර කතාව හරි අපූරුවට සිතුවම් කළ චිත්‍ර ශිල්පියා තමයි ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පී එස්. ඒ. දිසානායක මහතා. අවුරුදු 87 අප අතර සිටි ඔහු පසුගිය සතියේ මෙලොවින් සදහටම සමුගත්තා. මෙරට ළමා පුවත්පත් කලාවේ ආරම්භයේ පටන්ම විශාල සේවයක් කළ ඔහුව බොහෝ දෙනෙක් හඳුනන්නේ ‘යෝධයා’ චිත්‍ර කතාව නිසයි. ශරීරයෙන් ඉතා කුඩා මිනිසකු වුවත් යෝධයා වගේ තම ජීවිතය ජයගත් දිසානායක ශූරීන්ගේ ජීවිත කතාව තුළ යෝධයකුටත් එහා කතාවක් තිබෙනවා. ඔහු අප අතරින් සදහටම සමුගැනීමත් සමඟ ‘යෝධයා’ ගැන තරුණී ඔබට සටහනක් තබන්න ඔහුගේ ආදරණීය දියණිය හමුවුණේ ඔහුට දක්වන උපහාරයක් ලෙසයි.
නදීි දිසානායක කියන්නේ යෝධයාගේ දුව විතරක්ම නොවෙයි. ඇය රජයේ ඉහළ තනතුරක් දරන නිලධාරිනියක්. දේශීය ආදායම් දෙපාර්ත්මේන්තුවේ කොමසාරිස්වරියක් වන ඇය රාජකාරි දිවියේ හරිම කාර්යය බහුල ක්‍රියාශීලී චරිතයක්. කොයි තරම් රාජකාරි තිබුණත් පුවත්පත් කලාවට ඇය දක්වන ඇල්ම හා ළෙන්ගතුකම හරිම ඉහළයි.
ඒ නිසාම ඇයගේ කාර්යයබහුල දිවියේ පුංචි වෙලාවක් වෙන්කර ගත්තේ ඇයගේ ආදරණීය පියා ගැන අහන්නයි.
පොතක් තරමට දිග ඒ කතාව පැයක් වැනි කාලයකදී මිටක් තරමට ඈ ගොනු කළේ චිත්‍ර කතාවක් ලෙසින්. හැබැයි ඒ කතාව අතරතුර ඇයගේ රාජකාරියට නම් විරාමයක් තබන්න ඇය ඉඩක් නොතැබීමත් විශේෂයි. ‘ආසයි අහන්න ඔහු ගැන කියන්න’ සංවාදයට ඇය ඔහු ගැන කියූ දේයි.
ඔබේ පියාගේ චිත්‍ර වැඩියෙන්ම රසවින්දේ 50, 60, 70 දශකවල දරුවෝ. ඒ කියන්නේ දැන් ඔවුන් වැඩිහිටියෝ. ඔබත් හැත්තෑව දශකයේ කුඩා දරුවෙක්. පියාගේ මාධ්‍ය ජීවිතය කොහොමද පටන් ගත්තේ කියලා ටිකක් මතක් කරන්න පුළුවන්ද?
අපේ තාත්තා ඉපදිලා තියෙන්නේ 1932 වසරේදී අවිස්සාවේල්ල, ගැටහැත්ත, මාදොළ කියන ගමේ. එස්. ඒ. දිසානායක කියලා කියන්නේ සෝමපාල අල්විස් දිසානායක. ඒ නම කෙටි කරලා තමයි තාත්තාගේ චිත්‍ර කතා එස්. ඒ. දිසානායක නමින් පත්තරවල පළවුණේ. තාත්තා මුලින්ම චිත්‍ර කලාවට එකතුවුණේ ‘නවයුගය’ පත්තරේ කර්තෘ ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ මහතාගේ මඟ පෙන්වීමෙන්. ලියනගේ මහත්තයා තමයි තරුණී පත්තරෙත් ආරම්භක කර්තෘ. මගේ පියාගේ හැකියාව හඳුනාගත්තු ලියනගේ මහත්තයා මිහිර පත්තරේ චිත්‍ර කතාවක් අඳින්න ආරාධනා කරලා තියෙනවා. මේ කාලේ පත්තරයක චිත්‍ර කතාවකට පිටුවක්ම වෙන් කිරිම විශාල වාසනාවක්. ඒ තරමටම මේ කතාව ජනප්‍රිය වෙලා තියෙනවා. මේ කතාව වගේම ජනප්‍රිය චිත්‍ර කතාවක් වුණේ ‘බටකොළ ආච්චි’. මේ චිත්‍ර කතාවෙන් තමයි අපේ ව්‍යවහාරයටත් ‘බටකොළ ආච්චි වගේ’ කියන කියමනත් එකතු වෙලා තියෙන්නේ. මේ කතාව ඇසුරෙන්ම චිත්‍ර කතා කිහිපයක් කරලා තියෙනවා. නැන්දම්මයි මාමයි, ලන්තෑරුම, ගස අගනා, සම්මා සම්බුද්ධ, දුම් මැද්දෙන් කියන කතා පෙළම නිර්මාණ්ය වී තිබෙනවා. 1991 වසරේදී තාත්තාට රාජ්‍ය සාහිත්‍ය සම්මානයකුත් හිමි වුණා. ඒ නැන්දම්මයි මාමයි චිත්‍ර කතාවට.
2019/12/18 තරුණි බලන්න