වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ලෝකය වෙනස් කළ කළු කෙල්ලෝ
මේ කාලේ තරුණියන් සුදු වෙන්න මහත් වෑයමක් දරනවා. වෙළෙඳපොළ සිසාරා බ්ලීචිං ක්‍රීම් සොයා වෙහෙසෙනවා. සුදු වෙන්න නොකරන දෙයක් නැහැ.
මෙවැනි සමයෙකදී ලෝක රූ රැජින කිරුළත්, විශ්ව රූ රැජින කිරුළත් හිමි වූයේ කළු පැහැති සම සහිත සුරූපිනියන් දෙදෙනකුටයි. මෙයින් පෙනී යන්නේ සුදු පැහැ සම පරදවා කළු පැහැ සම ජය ගෙන ඇති බව නොවේද?
ලන්ඩන් නුවර ‘එක්සෙල් ලන්ඩන්’ ශ්‍රවණාගාරයේදී පැවැත් වූ ලෝක රූ රැජින තරගාවලියෙන් කිරුළ දිනාගත්තේ ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං නමැති කළු ජාතික තරුණියක්.
23 හැවිරිදි ඇය අමෙරිකාවේ ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියකි. වෛද්‍යවරියක වීම ඇගේ අපේක්ෂාවයි. එමෙන්ම ඇය බොහෝ දක්ෂතා සහිත තරුණියකි. නිරූපිකාවක්, නර්තන ශිල්පිනියක් ලෙස මෙන්ම යූ ටියුබ් එකට
කෙටි වීඩියෝ නිර්මාණය කරන්නියක ද වේ. ඉවුම් පිහුම් ඇගේ ප්‍රියතම විනෝදාංශයකි. ඇය කාන්තාව සවිබලගැන්වීම කෙරෙහි දැඩි ඇල්මක් දක්වයි.
ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ කැරිබියානු ශිෂ්‍ය සම්මේලනයේ සභාපතිනිය ලෙස ද කටයුතු කර ඇති ටෝනි ඈන් ලෝක රූ රැජින කිරුළ ජයග්‍රහනය කළ හතරවැනි ජැමෙයිකානු කාන්තාවයි.
ලෝක රූ රැජින ලෙස ජැමෙයිකාවේ ටෝනි ඈන් කිරුළ එලෙස පලඳිද්දි විශ්ව රූ රැජින ලෙස කිරුළු පැලදුවේ දකුණු අප්‍රිකාවේ සොසිබිනි ටන්සි නමැති කළු සම සහිත රූමතියක්. ලෝක මතවාද වෙනස් කරමින් ඔවුන් ලෝකය ඉදිරියේ කිරුළු දැරුවාය.
පසුගියදා එක්සත් ජනපදයේ අට්ලන්ටා නුවර පැවැති විශ්ව රූ රැජින තරගාවලිය සඳහා ලොව පුරා සුරූපිනියන් 90 දෙනකුට වැඩි පිරිසක් සහභාගි වුණා. ඒ සියලු දෙනා පරදා 26 හැවිරිදි සොසිබිනි ටන්සි කිරුළ ජයග්‍රහණය කළේ සැමදෙනාගේම අවධානය දිනාගනිමිනි.
සොසිබිනි කළු පැහැ සමකින් සහ ගෙල දක්වා කැපූ කෙටි කොණ්ඩයකින් යුතු තරුණියකි. දකුණු අප්‍රිකාවේ සෝලෝ නරගයේ උපත ලැබූ ඇය වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවකි.
විශ්ව රූ රැජින ලෙස කිරුළු පැලඳීමට මොහොතකට පෙර ඇය කළු පැහැති සමක් සහිත කාන්තාවන් පිළිබඳ සමාජය දරන ආකල්පය දුරු කිරීමට අවශ්‍ය බව පවසමින් කාන්තාවන් දිරිගන්වන සුළු කතාවක් කළාය.
ඇගේ අවසන් පිළිතුර ලෙස සදහන් කළේ මෙවැන්නකි.
“මගේ වගේ සමක් සහ කෙටි කොණ්ඩයක් තිබෙන මා වැනි කාන්තාවන් කිසිදාක ලස්සනයි කියා සලකපු නැති ලෝකයකයි මම හැදී වැඩුණේ. ඒක අදින් නවතිනවා කියා මා සිතනවා.”
ඇය වෙත ඉදිරිපත් කළ ප්‍රශ්න සියල්ලට පාහේ ඇගෙන් ලැබුණේ අද සමාජයට පණිවිඩයක් ගෙන දෙන පිළිතුරුයි.
සොසිබිනි වෙත යොමු කරන ලද අනෙක් පැනය වූයේ ‘වර්තමානයේ බාලවියේ පසුවන ගැහැනු ළමුන්ට ඉගැන්විය යුත්තේ කුමක්ද යන්නයි. ‘නායකත්වය’ ඇයගේ නිරවුල් හා නිවැරදි පිළිතුර වුණා.
ඇය තම පිළිතුර සාධාරණීකරණය කරමින් මෙසේ ද පවසා තිබුණා. ‘නායකත්වය කියන්නේ දීර්ඝ කාලයක සිට බාල වයසේ ගැහැනු ළමුන් සහ කාන්තාවන් තුළ අඩුවෙන් තිබෙන දෙයක්. එසේ වී තිබෙන්නේ කාන්තාව එසේ විය යුතුයි කියා සමාජය දී තිබෙන ලේබලය නිසයි. නැතුව අපේ ඕනෑකමට නොවෙයි. මම හිතන්නේ අප තමයි ලෝකයේ බලසම්පන්නම වර්ගය. අපට සියලුම අවස්ථා ලැබිය යුතුයි කියා මා සිතනවා.”
මෙතෙක් පැවැත්වූ විශ්ව රූ රැජින තේරීම් තරගවල දී ලැබුණු හොඳම පිළිතුරු ලබා දුන්නේ ඇය බවයි විනිශ්චය මණ්ඩලයත්, සංවිධායක පිරිසත් පවසන්නේ.
සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් සටහනක් තබමින් සොසිබිනි කියා සිටියේ ‘අද එක් දොරක් විවර වුණා. ඒ තුළින් පිය නැගීමට අවස්ථාව ලත් පුද්ගලයා වීම ගැන මගේ කෘතවේදීත්වය පළකරනවා. මේ මොහොත දකින සෑම කුඩා ගැහැනු ළමයෙක්ම තමන්ගේ සිහිනවල ඇති බලය ගැන සැමදාම විශ්වාස කරාවි. ඔවුන් මා තුළින් ඔවුන්ගේම මුහුණ දකිවි යැයි පැවසුවා.
අවසානයේ කළු පැහැයට ලෝකය දී තිබුණු තැන වෙනස් කිරීමට ඔවුන්ට හැකි විය.