රැවුල නිසා ගිනස් පොතට ගිය ලස්සන කෙල්ල

දෙසැම්බර් 27, 2021

 

ගැහැනිය උපතින් ම සියුමැලි ය. සුන්දර ය. ගැහැනියක හා පිරිමියකු සතු මූලික වෙනස වන්නේ ද මේ බාහිරව දකින්නට ඇති වෙනස්කම් ය. සුන්දර ගෘහණියකගේ සිරුරේ පිරිමියකුගේ මෙන් රෝම වැවුණොත්...? එය කොතරම් අවාසනාවන්ත තත්ත්වයක් දැයි ඔබ සිතාවි.

ඇත්තකි, එය එසේමය. අපේ සමාජයේ පවා මතයක් වී ඇත්තේ රැවුල වැවුණු කාන්තාවන් අවාසනාවන්ත බවයි. ඒ නිසාම ඔවුහු සැඟවුණ දුක් සහිත ජීවිත ගත කළහ.

මෙය කාන්තාවන්ගේ හෝමෝන අසමතුලිතතාව නිසා ඇතිවන රෝගයක් බව ඒ කිසිවෙක් දැන නොසිටින්නට ඇත. එහෙත් අදවන විට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් (Polycystic Ovary Syndrome) නැතිනම් PCOS ලෙස බොහෝ දෙනා දන්නා කාන්තා රෝගයේ එක් රෝග ලක්ෂණයක් වන්නේ සිරුරේ පිරිමියකුගේ මෙන් රෝම වැවීමයි.

මෙසේ සිරුර පුරා රෝම වැවීම හා රැවුල වැවීම කාන්තාවකගේ පෙනුමට මෙන්ම මානසික තත්ත්වයට ඇති කරන බලපෑම සුළුපටු නැහැ. එහෙත් 30 හැවිරිදි ඉන්දියානු තරුණියක වූ හර්නාම් කොවුර් මේ රෝගයන් වසර ගණනාවක සිට පීඩා විඳින්නියකි. ඉතාමත් සුන්දර තරුණියක වන හර්නාම්ගේ සුන්දර මුහුණේ කොටසක් පිරිමියකුගේ මෙන් වැවුණු ඝන රැවුලකින් ආවරණය වී ඇත. සිරුර පුරා පිරිමියකුගේ මෙන් දික් වූ රෝම වලින් සියුමැලි සිරුර ආවරණය වී ඇත. එහෙත් ඇය තමාගේ මේ රෝග තත්ත්වය මානසික පීඩාවක් ලෙස නොසිතා, මේ වන විට එය තම ජීවිතයට බද්ධකොටගෙන සිටින්නීය. එය තමාගේ අනන්‍යතාව හඟවන දෙයක් බවට පත්කොටගෙන ඇත.

නමුත් අද පවතින තත්ත්වයට එනතෙක් ඇයට මෙය දරා ගැනීම පහසු නොවීය. මුලින්ම හර්නාම්ගේ මුහුණේ අනවශ්‍ය රෝම වැවීම ඇරඹුණේ වයස 11 දී පමණය. නව යොවුන් වියේ දැරියකට මින් සිදුවන අපහසුතාව ඔබට අමුතුවෙන් කිව යුතු නැත. හර්නාම්ගේ මුහුණේ වැඩෙන රැවුල් ගස් කැපීමත් ඒවා බ්ලීච් කිරීමත් නිසා වඩාත් ඝනකමින් යුතුව රැවුල වැවෙන්නට විය. ක්‍රම ක්‍රමයෙන් ඇයගේ අත් පා මෙන්ම පපු පෙදෙසේ ද රෝම වැවෙන්නට වූවාය. මේ නිසා ඇය පාසලේදී මෙන්ම පාරතොටේ දී ද අන් අයගේ දැඩි අවධානයටත් විමසුම් ඇසටත් ලක්විය. ඇයට මේ පෙනුම නිසා මරණ තර්ජනවලට පවා මුහුණ දීමට සිදු විය.

පසුව ඇය තමාගේ මේ පෙනුම නිසාම, වයස 16දී හිසකේ රැවුල් කැපීම තහනම් ආගමක් වූ සික් ආගම වැලඳගත්තීය. රැවුල කැපීම නැවතීමේ පහසුම තීරණය එය විය. කලක් ගතවන විට ඇයගේ රැවුල ඇයට කොතරම් සමීප වී දැයි කිවහොත් ‘රැවුල කැපූ පසු ඒ සිටින්නේ මා නොවෙයි කියා මට සිතුණා...‘ යනුවෙන් හර්නාම් පවසා තිබුණි. ‘මට හිතෙන්නේ මා තුළ කාන්තා ලාලිත්‍ය වගේම අනුරාගි ආකර්ෂණීය පෙනුමකුත් මේ නිසා වැඩියෙන් තියෙනවා. ඒ නිසා කාටවත් දැන් මාව මානසිකව වට්ටන්න බැහැ.‘ හර්නාම් පවසන්නේ දැඩි විශ්වාසයකින්.

නමුත් නව යෞවනයේ දී තත්ත්වය මීට වඩා වෙනස්. සතියකට දෙවරක් ඇය වැක්ස් කිරීම්, රැවුල කැපීම සිදු කළා. පාසලේ ළමයි ‘රැවුලා‘ කියා කියනවිට ෂීමේල්, ෂී මෑන් කියලා විහිළු තහළු කරන විට ඇගේ සිත දුකින්, ලැජ්ජාවෙන් මිරිකුණි. මේ නිසා මිනිස්සු සමඟ කතා කරන විට අතින් මුහුණ ආවරණය කර ගැනීමටත් සිරුර වැසෙන සේ ලොකු, කර තෙක් හා අත් දිගු ඇඳුම් ඇඳීමටත් පුරුදු විය. වැඩි වශයෙන් නිවෙසට වී සිටීමට පුරුදුවු හර්නාම් තමාගේ කාමරයේ ම තමාගේ ලෝකය සකසා ගත්තීය. හර්නාම්ගේ මවුපියන් පීඩාවට පත් කළ කරුණ වූයේ කිසි දිනෙක ඇයට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නොහැකි වේවි යන සිතුවිල්ලයි. නමුත් ඒ බිය කෙමෙන් තුරන් කරමින් ඇය තනිව තමාට ම හිමි ලෝකයක් ගොඩනගා ගත්තී ය. මේ සියල්ලේදීම ඇගේ සහයට සිටියේ ඇගේ සොයුරා වූ ගුර්දීප් සිං ය.

“දවසක් මගේ රැවුල කැපුවම මගේ සොයුරා ෂොක් වුණා. ඔහු මාව බදාගෙන පැවසුවේ රැවුල නිසා මා වඩාත් ලස්සනයි කියලා.“ හර්නාම් පැවසුවාය. “මට මේ ගැන ආත්ම විශ්වාසයක් ඇතිවුණේ එදා සිටයි. ඉන් පස්සෙ මම ආයෙ කවදාවත් රැවුල කැපුවේ නෑ...“ සොයුරු දමක වටිනාකම ද මේ හර්නාම්ගේ කතාවෙන් අපිට හොඳින් ම පැහැදිලිය.

ප්‍රාථමික සික් විද්‍යාලයක ගුරු සහායිකාවක් ලෙස සේවය කිරීමේ දී ඇයට බොහෝ දෙනා ‘සර්‘ යයි ඇමතීම මෙන්ම පළමුව ඇගේ මුහුණේ ඇති රැවුල දැක පසුව ඇයගේ ළැම දෙස බලා විමතියෙන් බලා සිටින දසුන මුලදී ඇයව දැඩි අපහසුතාවට ලක් කළාය. නමුත් මේ රෝග තත්ත්වය ගැන වැටහීමක් නොමැතිකම නිසා ඇතිවන කුතුහලය එයට හේතුවන බව ඇයට වැටහිණි. දැන් එලෙසින් ඈ දෙස බලන බොහෝ දෙනා සමඟ සිතේ කනස්සල්ලකින් තොරව සිනාසී සිටීමට තරම් ඇය ශක්තිමත් ය.

“දැන් සමහර වෙලාවට ගැඹුරු හඬකින් කතා කරලා මේ තත්ත්වය විනෝදයකට හරවන්නත් මට පුළුවන් වෙලා“ හර්නාම් පවසන්නීය. සාමාන්‍ය යුවතියක සේ ම විලාසිතා ප්‍රිය කරන ඇය රූපලාවණ්‍ය කටයුතුවලට ද ප්‍රියතාවක් දක්වන්නී ය. මේ වන විට විටෙක පීඩාවක් වූ තම රැවුල නිසාම ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වීමට ඇයට හැකිව තිබේ. රැවුලක් සහිත කාන්තාව ලෙස ගිනස් වාර්තාවට උරුමකම් කීමට ද ඇයට හැකිව තිබේ. සඟරාවල මුල් කවර පවා තමාගේ රූපයෙන් සැරසීමට ඇයට හැකිව ඇත්තේ ද පවතින තත්ත්වයට මුහුණදීමට ඇය ගත් තීරණය නිසයි.

කුඩා දේටත් සිත් බිඳෙන අපිට, ජීවිතයෙන් වන්දි ගෙවන තරුණියන්ට හර්නාම් කියා දෙන්නේ කදිම පාඩමකි. තමාගේ සිරුරේ පවතින තත්ත්වයට ආදරය කරන ඇය, කුඩා විරූපිකම්, සම කළුවීම ආදිය නිසා දැඩි අවදානම් සහිත දේ මඟින් රුව ලස්සන කරගැනීමට යන අපේ සහෝදරියන්ට ආදර්ශයකි.

තමාට යම්කිසි රෝගයක් පවතී නම් ඒ සඳහා ප්‍රතිකාර ලබාගත යුතුය. එය ප්‍රකෘතියට පත් කළ හැකි නොවේ නම් ඒ සඳහා පිළියම් අප සතුය. ඒ ශක්තිමත් සිතයි.