සංගීතයට ප්‍රිය ක්‍රීඩා උපාධිධාරිනිය සිතාරා කුමුදුමාලි

ඔක්තෝබර් 31, 2022

ගායනයට හා වාදනයට පෙම් බැඳි සිතාරා කුමුදුමාලි ධර්මසේන කෑගල්ල, අලවල කියන සුන්දර ගමේ උපන් තරුණියකි. ගුරුවරයෙක් වූ පියාගේත් බැංකු කළමනාකරිනියක වූ මවගේත් සෙනෙහස මැද හැදුණු වැඩුණු ඇයට සිටින්නේ හෙදියක් වූ එක් සොයුරියක් පමණි.

කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලය ඇගේ පාසලයි. පාසල් අධ්‍යාපනය හදාරන අවධියේ, එනම් 4 ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේ සිතාරා ගායනයට යොමු වී ඇත. ඇයට සිය හැකියාව වර්ධනය කරගන්නට ගුරුවරුන්ගේන් ලැබී ඇත්තේ ශක්තිමත් අත්වැලකි. සංගීතය හා ගායනය කෙරෙහි දක්ෂතා දැක්වූ සිතාරා කලා අංශයෙන් උසස් පෙළ සමත්ව සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යන්නට සිටියත් අවසානයේ ඇය අධ්‍යාපනය හමාර කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ක්‍රීඩා විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (Bsc Sports Science) උපාධියක් ලබාගැනීමෙනි.
ක්‍රීඩාවෙන් උසස් අධ්‍යාපනය ලැබුවත් සංගීතයට හා ගායනයට දැක්වූ කැමැත්ත හා හැකියාව යටපත් වන්නට දුන්නේ නැත.

"පුංචි කාලෙ අම්මා මට ලස්සන සිංදු කියලා දෙනවා. ඒනිසා කුඩා කාලෙ ඉඳලම සංගීතය ට ආස වුණා. ඉස්කෝලෙ යන කාලෙ කෑ/ශාන්ත ජෝෂප් විද්‍යාලයේ සංගීතය ඉගැන්නුවේ ජයන්ත දිසානායක සර්. මාව ඉස්කෝලෙ සංගීත කණ්ඩායම ට තෝරගත්‍තා.
හැම අවුරුද්දකම වගේ සමස්ත ලංකා සංගීත තරගවලින් අපි ජයග්‍රහණය කළා. සර් එක්ක ඒ කාලෙ ප්‍රායෝගිකව කරන ලද පුහුණුවීම් වගේම, බොකලවල සර් ගෙ මඟ පෙන්වීමත් මාව සංගීතයට යොමු කළා. උසස් පෙළ ට කලා විෂය ධාරාව තෝරා ගත්තෙ සංගීතය විෂය ට තියෙන ආශාව නිසාමයි. කොහොම නමුත් ක්‍රීඩාව කියන දේ මගේ ජීවිතයේ කුඩා කල ඉඳලම කොටසක් වුණා. ඒ නිසාම A/L පාස් වුණාට පස්සෙ සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයට යන්න හිතුවත් සංගීතයට වගේම ක්‍රීඩාවට තියන ආශාව නිසා මගේ දිවි මඟ වෙනස් වුණා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා Bsc Sports Science උපාධිය ලබා ගත්තා.
මම දැනට ජර්මන්වල Saarland විශ්වවිද්‍යායේ Master of High Performance Sports, මගෙ ශාස්ත්‍රපති උපාධිය හදාරමිනුයි ඉන්නේ. ඉතින් මේ නිසාම මගේ සංගීත දිවිය උසස් පෙළ අවසන් වනවාත් සමඟම නතර වුණා. නමුත් විනෝදාංශය විදියට කරපු ගිටාර් වාදනය නම් නතර කළේ නෑ. ඒනිසාම මට හිතුණා නැවතත් සංගීතය පැත්තට යොමු වෙන්න. ඉතින් මුලින්ම cover song එකක් කරලා පටන් ගත්තේ ඒ නිසයි. ඒ ගීතයේ මුල් අයිතිකරුවන් ජය ශ්‍රී, මම ඔවුන්ට හදවතින්ම ස්තූති කරන්න කැමැතියි, මට ඔවුන්ගේ නිහතමානී අවසරය ලබා දීම නිසා. විනෝදයට කරපු මේ ගීතය මේ තරම් දුරක් එයි කියලා නම් පොඩ්ඩක්වත් හිතට ආවෙ නෑ." සිතාරා කුමුදුමාලි ධර්මසේන සිය සංගීත ගමන ගැන එසේ විස්තර කළාය.

ඇය ගීත වීඩියෝවට මේ වන විට අන්තර්ජාලයෙන් විශාල ප්‍රතිචාරයක් ලැබෙමින් පවතී. "ඉතින්, මතක් කරන්න ඕනෙ, ජර්මන්වල යාළුවො තමයි මේකෙ වීඩියෝ එක කරගන්න උදව් කළේ. පසුව ලංකාවට ඇවිත් තමයි ඕඩියෝ එක රෙකෝඩ් කළේ. චතුර කියලා යාළුවෙක්ගෙ මාර්ගයෙන්, මිරාන් අයියගෙ ස්ටූඩියෝ එකේ තමයි ඕඩියෝ එක රෙකෝඩ් කළේ. මිරාන් අයිය තමයි music rearrangement කළේ. ඉතින් ඔවුන් දෙදෙනාට ද ස්තූති කරන්න මේ මොහොත අවස්ථාවක් කරගන්නවා.
මේ සිංදුවට ලැබෙන ප්‍රතිචාර හොඳ නිසා ඉදිරියේ දී මගේම සිංදුවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තවත් විශේෂයෙන් කියන්න ඕනෙ මම මේ ගීතය එළියට දාපු ගමන්ම Fb, instagram යාළුවො ඒක share කළා. මම අඳුරන හැමකෙනාම වගේ උදව් කළා. ඒ හැමෝටමත් ගොඩක් ස්තූතියි.