වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ප්‍රේමය නම් කිමැයි.....
“ජීවිත කාලය පුරාම, සෑම මොහොතකම මට ඔයාව ඕන. තත්පරයක් ගාණේ මං ඔයාට ආදරෙයි. “
ආදරවන්තයන් ගේ දිනයේදී ඔහුත් ඔබත් කී වරක් නම් එසේ පවසන්න ඇත්ද ? ජීවිත කාලය පුරාම කියා පැවසුවාට ඊළඟ පෙබරවාරි 14 වැනි දිනය උදාවනතුරුවත් දෙදෙනාට ම එකිනෙකා වෙනුවෙන් පැවසූ දේ ක්‍රියාත්මක කළ හැකි වේවිද ? විවාහ මංගල්‍ය පවත්වා මංගල ඇල්බමය ගන්නා තුරුවත් ආදරය පවත්වා ගත නො හැකි ආදරවන්තයන් සුලබ කාලයක් උදාවී තිබෙයි. වරද කොතැනකද ? ආදරය වරදක් නො වෙයි. වරදක් කරගත යුත්තක් ද නො වෙයි. ජීවිතය ජීවත් කරවන්නේ ආදරය ය.
ආදරය කිරීම පෙබරවාරි 14 වැනි දිනට කරන ගරු රඟ පෑමක් කියා නො සිතන්න. ආදරයෙන් ආදරය කරන්න. ඒ ආදර විජිතයේ දොරටුව මෙසේ විවර කර ගන්න.
සෑම ආදරයක ම එකිනෙකට වෙනස් සුන්දර අනන්‍යතාවක් පවතියි. ඒ නිසා කිසිදු විටක අන්‍යයන් ගේ ආදරය හා තම ආදරය සැසඳීමට නො යා යුතුය. බොහෝ දෙනකු මං මුලාවන්නේ තමන් ලබන ආදරය ගැන තෘප්තිමත් නොවී අන් ආදරයෙන් තම ආදරය හා සංසන්දනය කිරීමට යාමෙන්ය.
අවංකකම ආදරයේ පදනමයි. අවංකකම මත ගොඩ නැඟෙන විශ්වාසය ආදර බන්ධනය මරණය දක්වා පවත්වා ගෙන යාමේදී ඉතා වැදගත් වෙයි.
දෑසට දෑසින් නිහඬ කෙරෙන කතා බහ සෙනෙහසේ බන්ධනය මොන තරම් ශක්තිමත් කරනවාද ? ඒත් ඒ වැදගත්කම තේරෙන්නේ පෙම්වතුන් ගේ දිනයේදී පමණයි නේද ? දුරකථන පණිවුඩ, විද්‍යුත් තැපෑල, මුහුණු පොත මඟින් හුවමාරුකර ගන්නා අදහස්වලට වඩා වැදගත් වන්නේ මුහුණට මුහුණ බලා සිදු කරන සන්නිවේදනයන්ය. කාලයා ගේ ඇවෑමෙන් මේ සන්නිවේදනය ප්‍රේමවන්තයන් බහුතරකගෙන් ගිලිහී යයි. නිතර දකින කුකුළා ගේ කරමල සුදු පැහැයට පෙනෙන්නට ගනියි. කෙතරම් කාර්ය බහුල වුණත් එකට එක්වී වැඩ කිරීමෙන්, කෑම ගැනීමෙන්, තේ පානයෙන්, ඇවිදීමෙන් ගිලිහී යන මුහුණට මුහුණ නම් වැදගත් සංවේදනය රැකගත හැකියි.අලුත් අලුත් අත්දැකීම් දෙදෙනාම එක්ව අත්දකින්නට යාමෙන් ද ආදරය අලුත්කර ගත හැකිය. වෙනදා නො ගිය තැනකට යාම, අලුත් විනෝදාංශයක් ඇරැඹීම පරණ බැඳීම අලුත් කරයි. කිසිවකුටත් තමන්ට සියයට සියයක්ම බලාපොරොත්තු වන ආකාරයේ පෙම්වතකු පෙම්වතියක මුණ නො ගැසෙයි. ඒ නිසා පෙම්වතාගෙන් පෙම්වතියගෙන් අපේක්ෂා සියල්ල ඉටුකර ගැනීමට යාමෙන් සිදු වන්නේ අනවශ්‍ය පීඩනයක් ඇතිවී ආදරය දෙදරා යාමයි. ආදරය කිරීමත් ආදරය කරන බව දැනීමත් දෙ ආකාරයක අත්දැකීම්ය. මේ දෙකම ආදර විජිතයේ බලකණු වෙයි.