හුදෙකලා මහල්ලාගේ පිළිතුර

දශක දෙකකට එහා මතකය
ජුනි 27, 2022

 

 

    ටික කලෙකින් සීයා ටිකට් කපා රෝහලෙන් බැහැරව ගියේය. නමුත් ඊට සති කිහිපයකට පසු මා නමට හෙද විදුහලට ලියුමක් ලැබී තිබිණි. එහි සඳහන් වූයේ "ජීවිතයේ මා ලද හොඳම තෑග්ග දුන් මගේ දුවට ස්තූතියි"



සුපුරුදු හුදෙකලා බව පා මා වෙතට
මගෙන් අසයි එය නොදැනේ දැයි මෙමට
කණාමැදිරියකු විමි තරු පිරි රැයක
ඉඳින් කොඳ කැකුළු නො පිපුණි මා නමට

හඬාගෙන ඉපිද ඉකිලා මිය ඇදෙන
විසල් විශ්වයේ එක ප්‍රාණියකු මිස
මහා වෙනස්කම් නො දැනුණි මගේ මට
කුමන දුකක් වුව සතුටින් දැරිමි මම

නොයෙක මිතුරු රූ වෙස් ගෙන අවුත් ළඟ
බලයි පුදුම වී මා හිනැහෙනු කොහොම
අසමි කඳුළු නෙතු සඟවා සිනා ගෙන
කුමට හඬා ඇස කඳුළැලි බාල කොට

කල්පයක් තරම් ආයුෂ නැති කලට
අල්පෙකට ඉතින් විරසක වී කුමට
හිතේ කොනක් වුව පෙම්බැඳි මිනිසකුට
මහා ඉඩක් වෙයි නොමැකී හිඳින්නට

විදා හිරුකිරණ පැහැසර අහස්තල
පුබුදුවා කුසුම් ඔච්චම් කරන කළ
එකදු මලක් වුව නොම පිපි තුරු හිසට
නැගුණු පොහොට්ටුව මල් යායකි සබඳ

 

මේ කවි පන්තිය හා බැඳුණු මතකය වසර 2000 දක්වා දිවේ. එකල මා අවසන් වසර හෙදි සිසුවියකි. මෙම කවි පන්තියේ සඳහන් කතා නායකයා හෙවත් 74 හැවිරිදි වියපත් ආදරණීය මිනිසා මුණගැසුණේ මා හෙද සිසුවියක්ව සිටි සමයේදී ය. මා එවකට අනුයුක්තව හිටියේ මහ රෝහලේ වාට්ටු අංක 44ටය. සැමදා උදෑසන අපි රෝගීන්ට විවිධාකාර රෝගී සත්කාරයන් කරන්නෙමු. තම අවශ්‍යතා ඉටුකර ගත නොහැකි අසරණ රෝගීන්ට මුහුණ, කට සේදීම, නැහැවීම ආදී විවිධ කටයුතුවල සිට ඔවුන්ට කැවීම, පෙවීම ආදී බොහෝ දේ දක්වා අපගේ හෙද සත්කාරයන් දිව යයි.

 

මේ සීයාගේ දුටු විශේෂත්වය වූයේ ඔහු ඉතා පිරිසිදු පිළිවෙළට වැඩ කළ මැනවින් අන් අය හා කතා කළ ඉතා සුහදශීලී මිනිසකු වීමයි. උදෑසන මා දුටු විට "ගුඩ් මෝනිං පොඩි මිස්" කීම ඔහුගේ සිරිතකි. ටික දවසක් යද්දි පොඩි මිස් කීම හැලී "ගුඩ්මෝනිං දුව" යැයි කීමට ඔහු පුරුදු විය. කිසිදු විශේෂිත සත්කාරයක් කිරීමට නැති ඒ සීයාට මා තේ එකක් හදා දීමෙන් පසුව අපේ යාළුකම් ඇරැඹිණි. මා හදා දුන් කිරි තේ කෝප්පය බී "හරිම රසවත් තේ එකක් බිවුවා පුතේයි" ඔහු මට කීවේය. මම තුටින් පිනා ගියෙමි.

ඔහු මහලු නිවාසයක ජීවත් වූ හුදෙකලා තනිකඩ පුද්ගලයෙකි. රජයේ සේවයෙන් විශ්‍රාම ලැබීමෙන් අනතුරුව සිය සහෝදර සහෝදරියන්ට කරදරයක් නොවන්නට අවිවාහක මේ සීයා මහලු නිවාසයක පදිංචිවී සිටියේය. ජීවිතයේ විවිධ දේවල් පිළිබඳ ඔහු කතා කළේය. කොහොමටත් සිසු හෙද හෙදියන්ට වැඩක් නැති වෙලාවට වාට්ටුවේ අපට අයිති රාජකාරි සහ අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු බොහෝවිට කළේ රෝගීන්ගේ ටිකට් පත් කියවීම, අප නොදන්නා දේවල් අන් අයගෙන් අසා දැනගැනීම, එසේත් නැත්නම් කා සමඟ හෝ සුහද කතාබහක යෙදීමයි. විශ්‍රාමික රජයේ සේවකයකු වූ අවුරුදු හැත්තෑ හතරක් වයසැති මේ සීයා බොහොම රසවත් ඉපැරණි කතා තිබු කතා මල්ලකි. ඒ කතා ඇසීමට අපි බෙහෙවින් ප්‍රිය කළෙමු. මේ කතා අතර හිත නො රිදෙන පරිදි ඔහු අවිවාහකව සිටියේ ඇයි දැයි ඇසීමි. පෙම්වතියක් සිටි බවත් ඔහුට වඩා වත් පොහොසත්කමින් යුතු තරුණයකු හා එම තරුණිය මිතුරු වී සිය ආදර සම්බන්ධතාව බිඳ දැමූ බවත් ඔහු මට කීවේය. ඒ ඔහුගේ පළමු සහ අවසාන ප්‍රේමයයි. "දුක හිතුණේ නැද්දැයි" මා ඇසූ විට “ආදරයක් නැති වුණාම දුක හිතන්නේ ටික කාලයක් විතරයි දරුවෝ. දැන් ඉතින් අපි මේ වයසෙ දි නැති වෙච්ච ආදරේ ගැන දුක් වෙන කාලයක් නෙවෙයි. ඒවා දිහා උපේක්ෂාවෙන් බලන කාලයක්.” යැයි කීවේය. බිඳුණු පෙමක් වෙනුවෙන් ජීවිත කාලයක් තනිකඩව සිටින මහලු මිනිසකුගෙන් මම මෝඩ ප්‍රශ්නයක් ඇසුවා නොවේද?

 

ඔහු කියවීමට ඉතාමත් ළැදි පුද්ගලයකු විය. එකම පත්තරේ කීප වතාවක් ඔහු කියවනු මම බලා සිටියෙමි. ඉන්පසු “මගේ ළඟ කතා පොත් තියෙනවා ගෙනත් දෙන්න ද කියවන්න? හැබැයි ඒ පොත් කිළුටු කරන්න බෑ, ඒවාට මම පිටකවර දාලා තියෙන්නේ, ඒවා කිළුටු කරන්න බැහැ, සීයෙ, ඔන්න පොත්වල පිටු නමන්නන් එපා bookmark එක තමයි පාවිච්චි කරන්න ඕනෙ.” බැචාලාට පොත් දීමේ දී මම ඉදිරිපත් කරන කොන්දේසි මාලාව සීයාට ද කීවෙමි. කොන්දේසිවලට යටත්ව සීයා පොත් ගෙනැවිත් දෙන්න යැයි කීවේය.

 

පසුදා වාට්ටුවට යනවිට ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද “වෘකයන් අතර නග්නව" නමැති පොත ගෙන ගියෙමි. දෙවැනි ලෝක යුද සමයේ දී සිරකරුවන් විසින් සිර කඳවුරක් තුළ සඟවා උස් මහත් කර ගත් කුඩා ළමයකුගේ ගේ ජීවිත කතාවක් එහි ඇතුළත් වෙයි.

 

සාමාන්‍යයෙන් අපගේ වාට්ටුවට අයත් සේවා මුරය නිමා වූ පසු අපගේ හිතවත් රෝගීන්ට ටටා බායි කියා සමුගැනීමේ සිරිත අප තුළ තදින් ම පැවැතිණි. ඉතින් මා සිත් ගත් සීයාට ද "ඔන්න සීයෙ මම යනවා කතා පොත කියවන්න" යැයි කියන්නට මම ගියෙමි. මා ගන්නා ඕනෑම කතා පොතක අවසානයේ කුඩා කවියක් ලිවීම මාගේ පුරුද්දයි. කතා පොතේ අන්තිම පිටුව පෙරලා "මේ කවිය ලිව්වේ කවුද" ඔහු ඇසුවේය. "මගේ පොතේ මම නැතුව වෙන කවුරු ලියන්න ද සීයේ" යි කියූ මම "ඇයි සියා දන්නෙ නැද්ද මම හොඳ කවිකාරියක්." යැයි ආඩම්බරයෙන් කීවෙමි. "හොඳයි එහෙනම් හෙට එද්දී මටත් කවියක් ලියන් එන්න පුතේ" යි ඔහු මට කීවේය. "හරි ලියනවාමයි"

 

එදින නේවාසිකාගාරයට ගොස් මට කරන්නට වැඩක් තිබිණි. සාමාන්‍යයෙන් මාගේ සිරිත වූයේ වේලපහින් කා බී ඇඟපත සෝදා හරි බරි ගැසී පොරවන් නිදාගැනීම වුවද එදා මට විශේෂ රාජකාරියක් තිබිණි. මා රෝගියකුට පොරොන්දුවක් දී පැමිණ තිබේ. ඒ ඔහු ගැන කවි පන්තියක් ලියා දීමටය. එබැවින් මා ඒ රැයේ කවි පන්තිය ලියුවෙමි. නමුත් මා එයට මාතෘකාවක් දැම්මේ නැත.

මේ කවි පන්තියේ සඳහන් වූයේ අප දෙදෙනා අතර කතාබහ වූ විවිධ කාරණා ය. ඇසූ ප්‍රශ්නය, ලද පිළිතුරුය. කවි පන්තිය ලියා අවසන එය A4 කොළයක බොහොම ලස්සනට ලියා ප්‍රසිද්ධ කතුවරුන් කරන ආකාරයට මගේ අත්සන සහ දිනය ද දමා ලියුම් කවරයක බහා උදෑසන ගෙන ගොස් සීයා අතට දුනිමි. එය කියවා ඔහු ප්‍රීතියට පත් විය. අවසානයේ මෙසේ කීවේය. "දන්නවා ද දුවේ මගේ ජීවිතේ මට හම්බවෙච්ච හොඳම තෑග්ග තමයි මේ! කවුරුත් මෙච්චර කල් මං ගැන කවියක් ලියල නෑ." ඔහු කීවේය. මාතෘකාවක් දැමීමට අවශ්‍යම බව ඔහුට කීවෙමි. "හොඳයි ඔයාට හිතෙන්නේ මේකට මොන වගේ මාතෘකාවක් දැම්මොත්ද හොඳ"? ඔහු මගෙන් පෙරළා විමසුවේය. "මම කැමැතියි හුදෙකලා වගේ වචනයක් ඇතුළත් මාතෘකාවකට" මම ඔහුට කීවෙමි. ටිකක් වෙලා කල්පනා කර ඔහු මේකට "හුදෙකලා මහල්ලාගෙ පිළිතුර කියලා දාන්න පුතේ"යි මට කීවේය.

 

"ඔන්න සීයේ මම මේක පත්තරේට දානවා" මම ඔහුට කීවෙමි. "දාන්න! හැබැයි දැන්ම නෙවෙයි, තව ටික කාලයක් ගිහිල්ලා. මොකද ඔයා ලියල දීපු මේ කොළේ දැන් මගේ ළඟ තියෙනවා නේ. මේක හැමදාම බලලා කිළිටි වෙන කාලෙ. තව මාස හය හතකින් ඕක පත්තරේට දාන්න, එතකොට මම පත්තරෙන් බලලා පත්තර පිටුව අරගෙන තියාගන්නම්" ඔහු කීවේය.

 

ටික කලෙකින් සීයා ටිකට් කපා රෝහලෙන් බැහැරව ගියේය. නමුත් ඊට සති කිහිපයකට පසු මා නමට හෙද විදුහලට ලියුමක් ලැබී තිබිණි. එහි සඳහන් වූයේ "ජීවිතයේ මා ලද හොඳම තෑග්ග දුන් මගේ දුවට ස්තූතියි" යන්නයි. නමුත් පෙරළා පිළිතුරු යැවිය හැකි ලිපිනයක් එහි නොවීය. වාට්ටුවට ගොස් රෝගීන් ඇතුළත් කරගන්නා නාම ලේඛනයෙන් සීයාගේ ලිපිනය සොයා ගැනීමට මට හැකියාව තිබූ නමුත් තනිව නිදහස්ව ජීවත්වන බැඳීම්වලින් නිදහස්, සතුටින් ජීවත් වෙන මිනිසකුගේ සිත තුළ නො ලද දරු මුණුපුරන් ගැන දුකක් ඇති කිරීමට මට සිතුණේ නැත.

අප හෙද විදුහලෙන් පිටව මාස ගණනක් ගිය පසු 2000 වසරේ දෙසැම්බර් මාසයේ දී මම එහි පිටපතක් පත්තරයට දැමීමි. ජීවතුන් අතර සිටියා නම් ඔහු එය කියවා තිබෙනු නොඅනුමානයි. ජීවිතයේ ලද බොහෝ වටිනා ත්‍යාගයක් ලෙස සැලකුණු මා පරිස්සමෙන් තබාගත් ඒ ලියුම 2021 වසර වන තෙක් තබාගෙන සිටියෙමි. නමුත් අලුත් ගෙදරට ඇවිත් සියලු අනවශ්‍ය දෑ ගිනි තබන මොහොතක පිලිස්සුණු ලියුම් කරදහි අතර මා බොහෝ ආදරය කළ ඒ ලියුම ද නොදැනීම දැවී ගොස් තිබිණි. නමුත් ඇති වූ ආදරණීය මතකයන් නම් කිසිදිනක හදවතින් ගිලිහී නොහේ. මේ කවි පංතියේ කියවෙන පරිද්දෙන්ම හිතේ පුංචි කොණක් වුවත් ආදරය කර මිනිසකුට ජීවත් වීමට එය මහා ඉඩකි. වසර විසි එකකට පසුවත් මට මගේ කවිය තුළ ඒ සීයාව මුණ ගැසේ.

 

 

ලක්මාලි ධර්මවංශ

විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි

රිජ්වේ ආර්යා ළමා රෝහල