අභියෝග හමුවේ නො සැලී යන්න හැකි නම් ඉදිරියට ඔබ දිනුම්

ජීවිතය අත්හරින අය අතර ඉන්ද්‍රඛීලයක් වන්න
ජූලි 4, 2022

 

ජීවත් වීම යනු කලාවකි. අටලෝ දහමට අනුව අපි අපේ ජීවිත ගෙවන්නෙමු. හැමදාම දුක ම ලැබෙන්නේ නැත. ඒ වගේම සැප ද ලැබෙන්නේ නැත. ඒ දේවල්වල අනන්තයට නො ගොස් මධ්‍යස්ථව ජීවිතය ගෙවන්න අප පුරුදු විය යුතුයි. සැප උපරිමයෙන් ලැබුණු කළ එය දරා ගැනීමටත්, දුක උපරිමයෙන් ලැබුණු කළ එය විඳ ගැනීමටත් පුරුදු පුහුණු කළ මනසක් ඇත්නම් ඔබ ඉතාමත් සුන්දර, සරල කාන්තාවකි.

 

ඔබට අවශ්‍ය මොනවාද යන්නත් ඔබ ගැන විශ්වාස කිරීමට ඉගෙන ගැනීමෙනුත් ඔබට අවශ්‍ය සියල්ල කළ හැකියි. අපි හැමෝටම ඉලක්ක තියෙනවා. ඒවා ඉටු කර ගැනීම සඳහා අප භාවිත කරන ක්‍රම ද තිබෙනවා. ඒ හැම දෙයක්ම එකිනෙකාට වෙනස්. ඔබ සාර්ථකත්වයට ගමන් කරන විදිහට නෙමෙයි මම මගේ සාර්ථකත්වය සඳහා ගමන් කරන්නේ. නමුත් ඔබෙත් මගෙත් දැක්ම එකයි. එනම් අපි දෙදෙනාටම සාර්ථක වීමට අවශ්‍යයි, නමුත් අප ගමන් කරන්නේ මාර්ග දෙකක. එයයි වෙනස. මාර්ගවල දී එහෙමත් නැත්නම් සාර්ථක වෙන්න අප භාවිත කරන ක්‍රමවල දී ඒක හරි යන්නත් පුළුවන්. ඒ වගේම වැරැදෙන්නත් පුළුවන්. ඒ සියලු දේවල්වල වගකීම සහ වගවීම අප තනි තනිවම භාරගත යුතුයි.

 

අනුන් මත පැවරීම නො කරන්න

නමුත් බොහෝ දෙනා කරනු ලබන්නේ තමන්ගේ සාර්ථකත්වයට එන අභියෝග සහ බාධක ජය ගන්න නො හැකි වූ තැන එහි වගවීම්, වගකීම තමන් බාර නො ගෙන අනුන් මත පැටවීමයි. අනුන්ට දෝෂාරෝපණය කිරීමෙන් සිදුවන්නේ අපේ ගමන අමතක කර දමා ප්‍රශ්නය තුළ ගිලී හිඳීමයි. වැටෙන හැම විටම නැගී සිටීමට උත්සාහ නො දැරීමෙන් හෝ එය අතහැර දැමීමෙන් ඔබ විසින් ම ඔබව සමාජයට නො වටිනා පුද්ගලයෙක් බවට පත් කර ගනී.

ඔබ යන්නේ කොහේ දැ යි ඔබ දන්නා විට, ඔබට යා හැකි යැයි ඔබ විශ්වාස කළ විට, ඔබේ ප්‍රතිඵල විස්මයජනකයි. මෙතෙක් වෙලා ඔබ නො දැකපු අවස්ථාවන් හා මාර්ග නිරන්තරයෙන් ඔබ දකින්න පටන් ගන්නවා. ඔබට නව මං මාවත් විවර වෙනවා. නිරන්තරයෙන්ම ඔබට සුබවාදී වෙන්න පුළුවන් නම්, ගැටලු වෙනුවට විසඳුම් දකිනවා නම්, මින් අදහස් කරන්නේ ඔබ ධනාත්මකව සිතන්න පුරුදු වූ කෙනෙක් බවයි. එනම් ඔබ ඉදිරියට එන හැම අභියෝගයකටම මුහුණ දෙන්න පුළුවන් පෞරුෂයක් ඔබට තියෙනවා. අප භෞතික හෝ අභෞතික දේවල් අතින් සර්ව සම්පූර්ණ වෙන්න ප්‍රථම, ඔබ කියා පුද්ගලයෙක් සිටිය යුතුයි. එහෙම නම් ඒ පුද්ගලයා තුළ මොනවා තිබිය යුතු ද? කුමන ආකාරයේ ගුණාංගවලින් පරිපූර්ණ විය යුතු ද?

 

උපේක්ෂාවෙන් බලන්න

අප හැමෝම මනුෂ්‍යයන් විදිහට මෙලොව එළිය දුටු දා පටන් මියයන තුරු ගෙවන ජීවිතය අභියෝගාත්මකයි. ජීවිතය අතහැර දාන මිනිසුන් අතර අභියෝග හමුවේ නො සැලී ඉදිරියට යන ඔබ ගැන ඔබ ආඩම්බර විය යුතුයි.

දරාගන්න නොහැකි තැන ජීවිතය අත් හරින මිනිසුන් අතර උපේක්ෂාවෙන් ජීවිතය දිහා බලා ජීවත්වෙන්න අරගල කරන ඔබ ගැන ඔබ ආඩම්බර විය යුතුයි.

ඉතා කුඩා ප්‍රශ්නවල දී ත් ආවේගකාරී ලෙස හැසිරෙමින් තම බලය පෙන්වමින් මිනිස්සු තළා පෙළා දමන මිනිසුන් අතර අනෙකාට උදව් උපකාර කරමින් අනෙකා ගැන හිතමින් සහයෝගයෙන් ජීවත් වෙන ඔබ ගැන ඔබ ආඩම්බර විය යුතුයි. බඩගින්නේ ඉන්න අයකුට තමන්ගේ බත්පත දී වතුර උගුරක් බී ඉන්න ඔබ ගැන ඔබ ආඩම්බර විය යුතුයි.

අපි අද හැමතැනම දකින්නේ පෝලිම්. දවස් ගණන්, පැය ගණන් පෝලිම්වල ඉන්න මිනිස්සුන්ට තේ එකක් දීලා බනිස් ගෙඩියක් දෙන්න තරම් ඔබ මානුෂික වුණ කෙනෙක් නම් ඔබ, ඔබ ගැන ආඩම්බර විය යුතුයි. පැය ගණන් පෝලිම්වල ඉඳලා ගහ ගත්ත තෙල් ටික අතරමඟ දී තව කෙනකුට දෙන්න තරම් ඔබ පරාර්ථකාමී වුණ කෙනෙක් ඔබ, ඔබ ගැන ආඩම්බර විය යුතුයි.

 

මනුස්සකම තිළිණ කරන්න

අපි ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් වූ මිනිසුන්. නමුත් අපි මනුෂ්‍යත්වයට නිගා දෙන ක්‍රියාවන් කොතරම් කරන්නේ ද? අපි හැමෝම දැන් තියෙන පීඩාකාරී තත්ත්වය යටතේ තමන් ගැන පමණක් සිතන්නට පුරුදු වෙලා. අකැමැති වුණත් බහුතරයකට ආත්මාර්ථකාමී වෙන්න සිදු වෙලා තියෙනවා. අපි අකැමැති වූ දේවල් අද කරන්න සිදු වෙලා තියෙනවා. අපිට අපිම වෙන්න බැරුව මොකක්දෝ බලවේගයකින් අපිව මෙහෙයවන තැනකට අපි පත් වෙලා තියෙනවා.

එවන් වූ තත්ත්වයක් යටතේ මෙය කියවන ඔබට ඔබ ගැන අවංකවම සතුටු වෙන්න පුළුවන් නම් "මා ගාව තාම මනුස්සකම තියෙනවා " කියලා ඇත්තටම ඔබ මෙලොව වෙසෙන ශ්‍රේෂ්ඨ ම පුද්ගලයෙක්. පුංචි කාලේ අපිට වැඩිහිටියෝ කියලා දුන්නා ජීවත් වෙන්න ඕනේ කොහොමද කියලා. ගහට, කොළට සතුන්ට සිවුපාවන්ට ආදරේ කරන්න, මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ඕනැ හැටිත් අපිට කියලා දුන්නා. මව්පියන්ට අමතරව පාසලේ දීත් කියලා දුන්නා. අප අවට පරිසරයෙනුත් මේ දේවල් උකහා ගත්තා. එහෙම වැඩුණු අපි අද වෙනකොට කොහෙද ඉන්නේ. ඔබ අහන දකින දේවල් එක්ක මොහොතක් සංසන්දනය කරලා බලන්න. අපිට මොකද වුණේ? ඉස්සරහට අපිට මොකද වෙන්නේ?

 

ඔබ ඔබව හඳුනාගන්න

මට ඔබට යමක් කියන්නට තියෙනවා. ඒ අතීතයේ වෙච්ච දේවල් දිහා බලා පසුතැවී වැඩක් නැති බවත් අනාගතය දිහා බලා අවිනිශ්චිත බියක් ඇතිකර ගැනීම වැඩක් නැති බවත්ය. ඔබ මේ ගෙවන මොහොතේ සතුටින් ඉන්න උත්සාහ කරන්න. ඔබ හොඳ සිහියක් පවත්වා ගන්න උත්සාහ කරන්න. අපි ඉපදුණා වගේම දවසක මිය යනවා. මේ කාලයේ ඔබට ඔබව හඳුනාගෙන ඔබට අවශ්‍ය දේ තේරුම් අරගෙන ජීවත්වෙන්න පුළුවන් නම් ඔබ ඒ වෙනුවෙන් වෙහෙසෙන්න. ඔබට ඔබව පාලනය කරගන්න පුළුවන් හැම තැනකම ඒ දේ කරන්න. ඔබට වෙන කිසිවෙක් පාලනය කළ නො හැකියි. වෙන අයව හදන්න උත්සාහ කිරීමත් වැඩකට ඇති දෙයක් නොවේ. ඔබට සතුට දැනෙන දේවල් කිරීමට නිරන්තරෙන් පෙළඹෙන්න. භෞතිකව හෝ මානසිකව තවත් කෙනකුට උදව් උපකාර කරන්න පුළුවන් නම් නොපැකිළිව ඒ සඳහා යොමු වන්න.

කුමන අමාරු කාලයක දී වුවත් අපි ගත කරන ක්‍රමය තමයි වැදගත් වෙන්නේ. ඒ ක්‍රමය අන් අයට අපහසුවක් කරදරයක් නො වෙන විදිහට ගෙවන්න පුළුවන් නම් ඔබ සමාජයට ආදර්ශවත් පුද්ගලයෙක්.

 

රූපලාවණ්‍ය,

පෞරුෂ සංවර්ධන හා මනෝ උපදේශිකා

දීප්ති පෙරේරා ලියයි