ගැහැනු දරුවන් බිහි කරන යන්ත්‍ර නෙවෙයි

ජූලි 11, 2022

 

දරුවකු පිළිසිඳගන්නටත් පෙර සිටම දරුවා සහ මව දුරස් කර දැමීමේ චේතනාවක් පැවතීම කෙතරම් අසාමාන්‍ය සහ ස්වභාව ධර්මයට ප්‍රතිවිරුද්ධ සිදුවීමක්ද?

 

ඊටත් වඩා භයානක තත්ත්වය වන්නේ මව දරුවාට කෙතෙක් ආදරය කළද දෙදෙනා වෙන්කොට දෙපසකට දැමීමයි. මවක හා දරුවකු වෙන් කොට දැමීම යනු අමානුෂිකත්වයෙහි නරකම සහ දූෂිත ආකාරයකි. කොංග්‍රසය තුළ එවැනි අදහස් ඕනෑතරම් පළ විණි.

දරුවන් නොමැති යුවළකට දරුවකු ලබාදීමේ කර්තව්‍යයට මා ගිවිසුම් ගතවූයේ ස්වකැමැත්තෙන්ම ඔවුනට උපකාර වීමේ අවංක චේතනාව මා සිත තුළ නොඅඩුවම පැවැතිණි. දරුවා කුස තුළ සිටියදී මගේ අනෙක් දෙදරුවන් නැගූ ප්‍රශ්නවලට මම අවස්ථානෝචිතව පිළිතුරු සැපයූවෙමි. ඔවුන්ගේ සහෝදරිය ඩොලර් දස දහසකට අලෙවි කිරීම එවක බරපතළ ගැටලුවක් බව මට දැනී ගියේ නැත. එහෙත් දැන් මට එය විස්තර කිරීම පවා අපහසු බවක් හැඟේ.

අවසානයේදී නොදන්නා පවුලකට සතුට සපයනු සඳහා මම මගේ පවුල අවුල් වියවුල් කොට දමා ඇත්තෙමි. ආදේශක මව්පියවරුන් බවට පත්වීම යන බෝම්බ අටවන ලද හෘදයංගම භූමි භාගයකට පිවිසෙනවා වැන්නකි. කෙසේ නමුත් කිසියම් පවුලක් තුළ සංවේදි මානවීය ස්ථාවරභාවයක් නිර්මාණය කිරීමේ කාර්යභාරය ආදේශක මවෙකුට - පියෙකුට කළ හැකිය. එහෙත් එය මුදලකට මිල කිරීම අසීරුය.

"අද දින මා අලෙවි කරන දරුවාගේ පැවැත්ම පිළිබඳව මම නොදන්නෙමි. ඒ දරුවාගේ මිහිරි ළමාවිය මට විඳිය නොහැකිය. මගේම අත්සනින් මා ඒ සියල්ල අහිමි කරගන්නේ දරුවා උපදින්නටත් පෙරාතුවය."

ඒ ආදේශක මව්වරුන්ගේ සාමාන්‍ය කතාවයි.

මා අසා ඇති බොහෝ කරුණු සහ මගේ අත්දැකීම් සමඟ ගොනු කරමින් මම ද වොෂිංටනයේ කමිටුව ඇමතුවෙමි. මා වන් ආදේශක මව්වරුන් වී අප්‍රසන්න අත්දැකීම් ලද තවත් කාන්තාවන් පිරිසක් මා පසෙකින් වාඩි වී සිටියහ.

ඔවුන් අතර සිටි පැටී ෆොස්ටර් ආදේශක මවක ලෙස තම බිලිඳු පුත්‍රයා කුස දරා සිටියදී මගේ කතාව රූපවාහිනිය සහ පුවත්පත් ආශ්‍රයෙන් අසා දැක තිබිණි. මගේ අත්දැකීම අනුව තම දරුවා ගැන ඇය මහත් සේ බියපත්ව සිට ඇත. කෙසේ වුව දැන් ඇගේ පුතු ඇයට අහිමිව ගොසිනි. එහෙත් මා සාරා උදෙසා සටන් කරන්නා සේ ම ඇය ද තම පුත්‍රයා ඉල්ලා සටන් කරන්නීය.

අප පමණක් නොව ඇලේජැන්ඩ්‍රා මුනෝස් සහ එළිසබෙත් කේන් ඇතුළු අප බොහෝ දෙනෙක් එකම ඉරණමකට මුහුණ පා සිටි අය වුහ. අප එක්ව කණ්ඩායමක් ලෙස ක්‍රියාකාරී වූයේ එබැවිනි.

"අපි ද මනුෂ්‍යයෝ වම්හ

අප ළදරුවන් බිහි කරන යන්ත්‍ර සූත්‍ර නොවේ."

අපගේ සටන් පාඨය වූයේ එයයි.

දැන් අප ආදේශක මව්පිය ක්‍රමයට විරුද්ධව නැඟී සිටින ජාතික ඒකාබද්ධ සංගමයෙහි සාමාජිකයෝ වෙමු. අනෙක් බොහෝ ගැහැනුන් මේ වේදනාවට නොවැටී ගලවාගන්නට මට, අපට හැකියාවක් ඇති බව ඒ වන විට මම හොඳින්ම අවබෝධ කරගෙන සිටියෙමි.

මානව රුධිරය සහ මස් මාංශ අලෙවි කිරීමේ මෙම ව්‍යාපාරය නතරකරන්නට නීති මාර්ගයෙන් කටයුතු කළ යුතු බවට අපි ගිවිසගෙන සිටියෙමු.

ආදේශක මව් පිය ක්‍රමය යනු දරුවන් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් බව සහ එය සිදු නොවිය යුත්තක් බව ඒ වන විට මම හොඳින් දැන සිටියෙමි. එය සමාජයට උචිත නොවන බව ද මගේ අත්දැකීම් තුළින් ඒ පණිවුඩ මා ලෝකයට දිය යුතු බව ද මම උගෙන සිටියෙමි.

එපමණක් නොව දරුවකු මිල දී ගැනීම ද නොකළ යුත්තකි. ගැහැනුන් යනු හැඟීම් විරහිත යන්ත්‍ර බවට අදහසක් සමාජය තුළට නොයා යුත්තකි.

ඒ හැරුණු විට අනෙක් සහෝදර සහෝදරියන් ද වේදනාවට, ත්‍රාසයට පත් කෙරෙන මෙම ක්‍රමයෙහි ඇති තවත් අවාසනාවන්ත පැතිකඩක් ටියුස්ඩේ සහ රයන්ගේ පළුදු වූ සිත් තුළින් මම හොඳින්ම දුටුවෙමි.

ආර්ථික සහ අධ්‍යාපනික අතින් ද සමාජයේ තරමක් පසුපසින් සිටි මා ආදේශක මව්වරුන් පිළිබඳව බොහෝ කරුණු ආරම්භයේදී දැන නොසිටීම ද සැබවින්ම මේ ව්‍යසනයන්ට හේතුවකි.

එහෙත් දැන් අපි ඒ පිළිබඳව සමාජය දැනුවත් කරමින් සිටින්නෙමු. අප කළ බරපතළ අපරාධය අපේ දරුවන්ට අසීමිත ලෙස ආදරය දැක්වීම ම නොවේද?