ආසියානු කුසලාන අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සුබ පැතුම්

ඔක්තෝබර් 24, 2022

 

ආයෙත් ක්‍රිකට් වසන්තය ඇවිත්.... තවත් ලෝක කුසලතායක් අභියස අපි දෑත් දල්වාගෙන බලා ඉන්නවා. ඒ අතර අපේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් ගැනත් සුවිශේෂී කතාවක්. මේ අවස්ථාව අපේ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට උදා වුණේ වසර 4කට පසුවයි. ඒ තමයි ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය. මේ තරගාවලියේ අනුශූරතාව හිමි කරගන්නට ඔවුන් සමත් වුණා.

බංගලාදේශයේදී පැවැත්වුණු ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා තරගාවලියේ දී අපේ කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ පකිස්තානයට එරෙහිව පැවැති පූර්ව මහා තරගයේ ජය වාර්තා කරමිනි. 2012 වසරේදී අවසන් පූර්ව වටයේ ඉවතට විසි වී ගිය ක්‍රිකට් ක්‍රීඩිකාවන් ට 2016 වසරේදී තෙවැනි ස්ථානය හිමි විය. නැවත 2018 වසරේදී පැවැති තරගයේදී අප කණ්ඩායමට හිමි වූයේ සිව්වැනි ස්ථානයයි.

අවසන් පුර්ව වටයේ තොරතුරු බිඳක්

ඕවර් 16ක් අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 100ක් ලබා සිටි පකිස්තානු කණ්ඩායම අවසාන ඕවර් 4දී ජයග්‍රහණය කරා යෑමට අවශ්‍ය වූයේතවත් ලකුණු 23ක් පමණි. එහෙත් 17 වැනි ඕවරය ලකුණු 5 කට සීමා කළ ඉනෝකා රණවීර ඉන් නොනැවතී 19 වැනි ඕවරයේදී දවා ගැනීමක් ද සමඟ ලකුණු 4 කට ඕවරය සීමා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවරිය බවට පත් වෙමිනි. මේ අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහිදී කඩුළු 6ක් දැවී ලකුණු 122ක් ලබා ගන්නේ කැපී පෙනෙන පිති හරඹයක යෙදෙමිනි. මෙහිදී හර්ෂිණී මාධවී තරගයේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූයේ පන්දු 41ක් තුළ ලකුණු 35ක් ලබා ගනිමිනි. මේ තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දක්වමින් ක්‍රීඩා කරන ඇය වැඩිම ලකුණු ලාභිනියන් අතර දෙවැනි ස්ථානයේ පසුවෙයි.

ශිලෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අවසන් මහා තරගයේදී ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ අප කණ්ඩායම තරග බිමට පිවිසියේ 15 වැනිදා සවස 1.30 ට පමණය. මීට පෙර ද අනුශූරතාව 4 වරක් දිනා සිටි අප කණ්ඩායම සෑම අවස්ථාවකදීම පරාජයට පත් වී ඇත්තේ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමටයි.

 

අවසන් මහා තරගය

මෙලෙස 4 වරක් ඉන්දියානු කණ්ඩායමට පරාජය වූ කණ්ඩායම පිළිබඳ විශාල බලාපොරොත්තු තබා සිටි කණ්ඩායමට මෙවර ද එම කිරුළ අහිමි වූයේ ඉන්දියානු කණ්ඩායමේ දක්ෂ පිති හරඹයේ හමුවේ පරාජය වෙමිනි. මුලින්ම පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි අපේ කණ්ඩායම සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 65ක් පමණකි. ඉනෝකා රණවීර ලකුණු 22 ද ඕෂධී රණසිංහ ලකුණු 13 හා නිලක්ෂි ද සිල්වා ලබා ගත් ලකුණු 6 හැරෙන්නට අනෙකුත් සියලු ක්‍රීඩිකාවන් සියලුදෙනා ඉතාම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යෑම මේ තරගයේ පරාජයට හේතු විය.

දෙවනුවට පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මෙම පහසු ලකුණු සංඛ්‍යාව හඹා යමින් ලකුණු 71ක් ලබා ගත්තේ කඩුළු 2ක් පමණක් දැවී යමිනි. ශාන්ති මන්දනා ලකුණු 51 ක් ද නාමන්සීරු කාවුරු 11 ක්ද ලබා ගත් අතර සනාලී වර්මා ලකුණු 5ක් ලබා ගනිමින් පහසු ජයග්‍රාහී ලකුණු 71 කරා යෑමට හැකි විය. මේ ලකුණු 71ක ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවර් 8.3ක් පමණක් වීම ද විශේෂයකි.

කෙසේ වෙතත් අනුශූරතාව හිමි කර ගත් ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අපේ සුබ පැතුම්!