වාසනාව හිමි වන අරුමය

නොවැම්බර් 7, 2022

 

ඔබේ ඉෂ්ට දේවතාවා වැඩ සිටින්නේ ඔබ තුළමයි. එනම් ඔබේ ඉෂ්ට දේවතාවා යනු ඔබගේම යටි සිතයි. එතකොට වාසනාව කියන්නේ ඔබේ යහපත්කම, යහ සිතුවිලි ගෙන එන ඉෂ්ටාර්ථයන් වේ.

ආකර්ෂණ නීතිය පිළිබඳ විශාල වශයෙන් ලෝකයේ අවධානයට යොමු වුණේ සාර්ථකත්වයට පත් වූ ඔප්රා වින්ෆ්‍රි වැනි චරිත නිසයි. ඔවුන් ආකර්ෂණ නීතිය හා ඒ තුළින් තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගත් ආකාරය පිළිබඳව කවුරුත් කතා කරන්න වුහ. ලෝක ප්‍රකට අමෙරිකානු මෝස්තර නිරූපණ ශිල්පිනී ඔප්රා වින්ෆ්‍රි වරක් ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ අනාගතය තමන්ම පරිකල්පනය කරන විට තමන්ගේ දෑස් දීප්තියෙන් බබළන්නට පටන් ගන්නා බවයි.

ආකර්ෂණ නීතිය යනු සරලව පැහැදිලි කළොත් මනස තුළ වන සිතුවිලිවලට සාපේක්ෂව, එම සිතුවිලි මඟින් විශ්වයට නිකුත්වන තරංගවලට සාපේව ඔබ වෙතට ආකර්ෂණය වන හොඳ හෝ නරක තත්ත්වයන්ගේ ස්වභාවයකුයි. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත යනුවෙන් න්‍යායක් ඇත. ඒ ආකාරයෙන්ම සිතීම ද අප විසින් සිදු කරන එක් ක්‍රියාවකි. එම සිතුවිලිවල තරංග සෑම විටම මේ විශ්වය වෙතට නිකුත් වේ. එමෙන්ම ඒ සෑම ක්‍රියාවකටම සාපේක්ෂව අපගේ ජීවිතයට විවිධත්වයන් ආකර්ෂණය වීමක් සිදු වේ.

එමෙන්ම මෙය ක්‍රියාත්මක වන ආකාරය යම් අයකුට හඳුනා ගත හැකි නම්, ඒ අනුව ක්‍රියාත්මක විය හැකි නම්, එම පුද්ගලයාට ඉතා පහසුවෙන් තම ජීවිතයේ මූල්‍ය, සෞඛ්‍ය, ආදරය හා සබඳතා, ආධ්‍යාත්මික ආදී සෑම අංශයකින්ම පහසු මෙන්ම ඉතා සුවිශේෂී සාර්ථකත්වයක් ළඟා කර ගැනීමට හැකි වනු ඇත.

ඔබට මිලියනපතියෙක් වෙන්න අවශ්‍ය ද?

ඔබට හොඳ පවුල් ජීවිතයක් ගෙවන්න අවශ්‍ය ද?

ඔබට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ගොඩ නඟා ගැනීමට අවශ්‍ය ද?

මේ ඕනෑම දෙයක් ප්‍රායෝගිකව පහසුවෙන් ළඟා කර ගැනීමට ආකර්ෂණ ශක්තිය නිවරැදිව භාවිත කිරීමට ඉගෙන ගැනීම නිසැකවම උපකාරී වනු ඇත. අප වෙත ලැබෙන්නේ අප සිතන පතන දේමයි. ඉංග්‍රීසි කිවිවර ජෝන් මිල්ටන් පැවසූ පරිද්දෙන් තම සිතුවිලි මඟින් ඔබට අපායේ දෙව්ලොව ද, දෙව්ලොව තුළ අපාය ද මවා ගත හැකියි.

අප සිතන දේ අපට ළඟා කර ගත හැකි තත්ත්වයක් උදාවනවා නම් අපි එය වාසනාව ලෙස හඳුන්වයි. බොහෝ දෙනකු සිතන්නේ වාසනාව යන්න ලැබිය යුතු දෙයක් ලෙසටය. නමුත් එය ලැබිය යුතු දෙයක් නොව, ඔබටම නිර්මාණය කරගත හැකි දෙයක් යයි මම කීවොත් ඔබට විශ්වාස කළ හැකි ද?

ඔබ ආකර්ෂණ ශක්තිය නිවැරැදිව භාවිත කරන්න ඉගෙන ගන්නවා යනු ඔබේ වාසනාව ඔබම, ඔබට අවශ්‍ය පරිදි නිර්මාණය කර ගැනීමට ඉගෙන ගන්නවා වැනිය.

 

මට හිතෙන හැටි.

තමන්ගේ ඍණාත්මක මත අන් අය වෙත පතුරන්න එපා. අන් සැපත ගරහන්න එපා. නායකයාට මඟ පෙන්වන්නාට කිසිදා ද්‍රෝහි වන්න එපා.

හැම දේකම නරකම දකින්නත් එපා. කෙළෙහිගුණ නොතකා ඉන්න එපා. දුන් අත සපා කන්න එපා.

දුප්පත්කම ඉදිරි බැලීමට බාධාවක් ලෙස හිතන්න එපා. අත්හැරි දේ නැවත ජීවිතයට ළංකර ගන්න එපා. කේලම් කියන්න එපා. අහන්නත් එපා.

වාදයට යන්න එපා. මනුස්සකම නැති අය ඇසුරට ගන්න එපා. හුදකලාව තෝරා ගන්න බය වෙන්නත් එපා. බොළඳ වෙන්න එපා. කඳුළු ආභරණයක් කර ගන්න එපා. ලොකු මහත් වූ පසු යැපෙන්න එපා. ඉගෙනීමට පසු බාන්න එපා. විකල්ප රැකියාවකට සුදුසුකම් සපුරා ගන්න පසුබට වන්න එපා. හදවතින්ම තීරණ ගන්න එපා. පරිසරය සමඟ ජීවත් වෙන්න අමතක කරන්න එපා. දෙවියන් බුදුන් සිහි වෙන්න ප්‍රශ්න එනකම්ම ඉන්න එපා. මවුපියන්ට සලකන්න තමන් එසේ වනතුරු ඉන්න එපා. නැතිවාදම නිතර දොඩවන්න එපා හොඳට අඳින්නෙ මොකටද කියා හිතන්න එපා. ගෙදර ලී බඩු මාළිගාවක් කරගන්න එපා. කිසිවෙක් ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා. කිසිවකුගෙ බත් පතට වැලි දාන්න නම් හිතන්නවත් එපා. නොමැරෙන මිනිහෙක් ලෙස ජීවත වන්න එපා.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - අලෙවි

පාලිත දිසානායක මහතාගෙන්

ඔබේ දිවිමඟට පහන් වැටක්