ආහාරවල අඩංගු ඇෆ්ලටොක්සින් යනු මොනවාද?

පෙබරවාරි 19, 2024

ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇෆ්ලටොක්සින් ව්‍යාප්තිය පිළිබඳ වාර්තාවීම හේතුවෙන් ඒ පිළිබඳ පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාව තුළ සාකච්ඡාවට බඳුන් විය.

බොහෝ ආහාර නරක්වීම සඳහා දිලීර හේතුවන අතර, ඇෆ්ලටොක්සින් යනු ආහාර මත ක්‍රියාකරන ඇස්පර්ගිලස් (Aspergillus) දිලීර මඟින් නිපදවන විස රසායනිකයකි. මෙම දිලීර කොප්පරා, රටකජු, බඩඉරිඟු, ඇට වර්ග, කුළුබඩු සහ සහල් ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන මත ආසාදනය වී පැතිරීම නිසා ඇෆ්ලටොක්සින් විස රසායනිකය නිකුත් කරයි. මේවා අපට පියවි ඇසින් දැකිය නොහැකිය. මීට අමතරව කිරි සහ කිරි නිෂ්පාදනවල පැවතිය හැක. පරිසර උෂ්ණත්වය, තෙතමනය සහ නුසුදුසු පසු අස්වනු පිළිවෙත් සමඟ දිලීර පහසුවෙන් වර්ධනය වේ. අස්වැන්න නෙළන විට, ප්‍රවාහනයේදී හෝ ගබඩා කිරීමේදී භෝගය කෙතේ ඇතිවිට දිලීර මඟින් බොහෝ අවස්ථාවලදී භෝග ආසාදනය කළ හැක.

පොල්තෙල් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී පොල් මද අව්වේ වියළා කොප්පරා නිපදවීමට ලක් කෙරේ. කොප්පරා ලබාගැනීම සහ ගබඩා කිරීම සඳහා පොල් වියළී මේ ක්‍රියාවලියේදී, අඩු සනීපාරක්ෂක පිළිවෙත් නිසා, ඇස්පර්ගිලස් (Aspergillus) දිලීර වර්ධනය වී ඇෆ්ලටොක්සින් නිපදවිය හැකිය.

ඇෆ්ලටොක්සින් දූෂිත ආහාර පරිභෝජනය කිරීමෙන් මිනිසුන් ඇෆ්ලටොක්සින් වලට නිරාවරණය විය හැකිය. ඇෆ්ලටොක්සින් යනු විශේෂයෙන් අක්මාවට සහ වකුගඩුවලට බලපෑම් කළ හැකි පිළිකා කාරක වේ. ගෝලීය වශයෙන් මිනිසුන්, පශු සම්පත් සහ ගෘහාශ්‍රීත සතුන් තුළ රෝග කිහිපයක් ඇති කරන අධික විස සහිත බව හේතුවෙන් මෙම ඇෆ්ලටොක්සින ් පාලනය කිරීම කෙරෙහි අවධානය යොමුකරන ලදී.

මෑත වසරවල සිදුකරන ලද අධ්‍යයනයන්ට අනුව, ආහාර ද්‍රව්‍යවල වාර්තා වූ ඇෆ්ලටොක්සින ් සංසිද්ධීන් පෙර අධ්‍යයනයන්ට වඩා සැලකිය යුතු ලෙස අඩුවී ඇති අතර එයට නිසි ගෘහ පාලන පිළිවෙත්, නිසි ගබඩා කිරීම සහ නිසි තාක්ෂණික ක්‍රම අනුගමනය කිරීම හේතු වී ඇත. කෙසේ වෙතත්, ආහාරවල ඇති ඇෆ්ලටොක්සින් පාලනය කිරීම, නියාමන ආයතන විසින් නියම කරන ලද උපරිම අවසරලත් මට්ටම් තුළ රැඳී සිටීමේ අවශ්‍යතාවයකි. හොඳ කෘෂිකාර්මික පිළිවෙත්, දිලීර නාශක යෙදීම, පළිබෝධ පාලනය සහ නව ජෛව පාලන ක්‍රම, ඇෆ්ලටොක්සින් මඟින් සිදුවන දූෂණය පාලනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් අස්වනු නෙළීමට පෙර සිදු කළ යුතුය.

 

ඩබ්ලිව්. එම්.පී.බී.කේ. වර්ණසූරිය

විද්‍යාවේදී,.BSc(Peradeniya)

විද්‍යාපති (විශ්ලේෂණ රසායන විද්‍යාව), MSc (Analytical Chemistry) විද්‍යාපති (ආහාර විද්‍යාව හා තාක්ෂණය) MSc (Food Science & Technology)