සුරතලා ගෙදරම සාමාජිකයෙක් කරගන්නේ කොහොමද?

මැයි 27, 2024

 

අපි හැමෝම පුංචි සුරතලෙක්ව ගේන්න කැමතියි. බහුල වශයෙන්ම ලංකාවේ නම් සුරතලෙක් වන්නේ බලු පැටව්. මේ අය නිවෙසට ගේන්න වඩාත් සුදුසුම වයස වන්නේ සති 8ක 12ක කාලයයි. එහෙත් ලංකාවේ අත්දැකීම් අනුව මාසය, මාස දෙක වගේ කාලයකදී තමයි සුරතලා නිවෙසට ගෙන එන්නේ. එවැනි කුඩා වයසක පසුවන සුරතලකු ගෙදරම කෙනෙක් බවට පත්කර ගන්නේ කොහොමද? ඒ අලුත් පරිසරයට හැඩගස්වා ගැනීම හරිම ක්‍රමානුකූලව කළ යුතු දෙයක්. කොහොමද මේ සුරතලා ගෙදර සාමාජිකයෙක් කරගන්නේ? අද අපි ඒ ගැන කතා කරමු.

මේ සුරතලා ඔබේ ගෙදරට ගෙන එන විට ඉන්නේ දැඩි මානසික පීඩනයකයි. ඒකට හේතුව ඔහු, ඔහුගේ අම්මා, සහෝදර සහෝදරියන් ගෙන් වෙන්වීම. මේ අලුත් පරිසරයට එක්වර අනුගත වීමම සුරතලකුට විශාල පීඩනයක්.

ආදරයෙන් කතා කිරීම, ඔළුව, බඩ ප්‍රදේශය, නිකට පිරිමැදීම, ඇඟ මසාජ් කිරීම යන කාරණා මත සුරතලා සමඟ ආදරණීය වීමම මුල් පියවර ලෙස පටන් ගත යුතුයි. පීඩනය අඩු, ළෙන්ගතු පරිසරයක් නිර්මාණය කිරීමම සුරතලාගේ සංක්‍රාන්ති සමය මැඩ පවත්වා ගැනීමට පිටුවහලක්. එමඟින් ලෙඩ රෝග වැලඳීම අඩුකර ගැනීමට ලැබෙනවා.

මීළඟ වැදගත්ම කාරණය සුරතලාට ඔහුට අයිති ස්ථානය හඳුන්වා දීමයි. ඔබ සුරතලා සමඟින් හොඳින් කතා කරන්න. එසේ නොවුණහොත් ඔහු ආහාර ගන්නවා, නිදාගන්නවා

යන ක්‍රියාවලට පමණක් සීමා වේවි.

එලෙස නොවන්නට නම් නිවෙසට රැගෙන ආ විගසම සුරතලාට මේ තියෙන්නේ ඔයාගේ ගෙදර, මේ ඔයා නිදියන තැන, මෙතැනින් එහාට ඔයා යන්න එපා. මේ වචන එක් වරක් නොව කිහිප වරක්ම ඇහෙන්න කියන්න. එය සුරතලාට ලොකු පහසුවක්. එවිට ඔහුව නිවෙසේ සාමාජිකයෙක් බවට පරිවර්තනය කරගන්නට ඔබ දක්වන වෙහෙස අපතේ නොයාවි.

තවත් වැදගත්ම කාරණයක් වන්නේ, ඔබ මේ සුරතලාව ගෙන එන අවස්ථාව වන විටත් තවත් සුරතලෙක් ගෙදර ඇති දැඩි වේ නම්, ඒ ගැනත් කිහිප වරක්ම සිතන්නට අවශ්‍යයි.

ගෙදර ඉන්න එම සුරතලුන්ට මේ පුංචි සුරතලාව හඳුන්වා දෙන්න. නැතිනම් ඔවුන්ගෙන් හිරිහැරවලට ලක්වන්නට ඇති ඉඩකඩ වැඩියි.

මේ හඳුන්වා දීම ඉතා කල්පනාකාරී ලෙස සිදු කළ යුතුයි. මක්නිසා ද යත්; සමහර සුරතල් සතුන් නිවැසියන්, අසල්වැසියන් සමඟ හොඳින් කාලයගත කළත් තවත් සුරතල් සතෙකුට දක්වන ප්‍රතිචාරය වෙනස්. එයට ප්‍රධාන හේතු දෙකකි. එකක් තමන්ගේ ආධිපත්‍ය තියෙන පරිසරයට ආගන්තුකයකු පැමිණි විට ඔහුව යටත්කර ගැනීමට ඇති අභිලාෂය. නැතිනම් තමන් ආදරය කරන තමන්ගේ හාම්පුතා තව සුරතලකුට ළංවේ යැයි ඇතිවන ඊර්ෂ්‍යාවයි. එබැවින් මේ අවස්ථා දෙකම මඟහරවා ගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුයි. එහිදී පරණ සුරතලා ඉදිරියේ අලුත් සුරතලාට ආදරය කිරීම, ළංකර ගැනීම නොකළ යුතුයි. පරණ සුරතලාට අලුත් සුරතලා ඉදිරියේ තරවටු නොකිරීමටත් වග බලාගත යුතුයි. මක්නිසාද යත් තම ආධිපත්‍යය නැතිවීමේ මානසිකත්වයක්, ලැජ්ජාවක් ඇතිවීමෙන් එම සුරතලා, අලුත් සුරතලා සමඟ ගැටුම් ඇතිකර ගැනීමට පටන් ගනී.

 

උපදෙස්

පශු වෛද්‍ය

නුවන් වික්‍රමසිංහ