නොගැළපෙන චාජර් පාවිච්චි කරන්න එපා

සැප්තැම්බර් 23, 2024

 

නොගැළපෙන චාජර් භාවිත කිරීම දුරකතනයේ ආරක්ෂාවට බාධා ඇති කරන්නකි. පමණට වඩා දුරකතනය සහ චාජරය උණුසුම් වීමෙන් ගිනි අනතුරු ඇතිවීමේ අවධානම පැන නගී.

මුල් චාජරයේ නිෂ්පාදකයා විසින් නියම කර ඇති ආරක්ෂක ප්‍රමිතීන්ට අලුත් චාජරය අනුකූල නොවෙන්නට පුළුවන්  එහි ප්‍රතිඵලයක් ලෙස අධික ලෙස උණුසුම් වී ගිනි ගැනීමේ අවදානම ඇති වේ. එමෙන්ම දුර්වල ගුණාත්මක බවකින් යුතු චාජරයක් භාවිත කර දුරකතනය ආරෝපණය කිරීමෙන් වෝල්ටීයතා උච්චාවචනයන් ඇති වේ. එයින් පරිපථවලට සහ දුරකතනයේ අභ්‍යන්තර කොටස්වලට හානි සිදු වේ. දුරකතන බැටරියේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමට නිසි වෝල්ටීයතාවයකින් යුතු විද්්‍යුත් ධාරාවකින් චාර්ජ් කිරීම අත්‍යවශ්‍ය වේ. නමුත් නොගැළපෙන චාජර්වලින් ලැබෙන වෝල්ටීයතා ධාරාව දුරකතනයට නොගැළපේ. එහි ප්‍රතිඵලයක් ලෙස බැටරිය අධික ආරෝපණයකට හෝ අඩු ආරෝපණයකට මුහුණ දේ. එහි ප්‍රතිඵලයක් ලෙස බැටරියේ ආයු කාලය සහ ක්‍රියාකාරීත්වය පිරිහී යයි. නොගැළපෙන වැරදි චාජර් භාවිත කර දුරකතනය චාර්ජ් කිරීමෙන් බැටරිය ඉදිමීම සිදුවිය හැකිය. එය දුරකතනයට හානි ඇති කරයි.
 
නිවැරදි චාජරයට සාපේක්ෂව වෙනත් චාජර්වලින් චාර්ජ් කිරීමේදී කාර්යසාධනය සහ කාර්යක්ෂමතාවය අඩු බව කැපී පෙනේ. දුරකතනය සම්පූර්ණයෙන් ආරෝපණය වීමට වැඩි වේලාවක් ගත වේ. සමස්ත කාර්යක්ෂමතාවය අඩු වේ. දුරකතනයට ගැළපෙන නිවැරදි චාජර් නිර්මාණය කර ඇත්තේ ආරෝපණ ක්‍රියාවලියේදී හටගන්නා තාපය කාර්යක්ෂමව කළමනාකරණය කිරීමටයි  නමුත් නොගැළපෙන චාජර්වලින් මේ කටයුත්ත සිදුවන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස ආරෝපණ ක්‍රියාවලිය අතරතුර ඇතිවන තාපය නිසා දුරකතනයේ අභ්‍යන්තර කොටස් වලට හානි සිදු වේ.
 
බාල තත්ත්වයේ චාජර්වල කේබල්වල ගැටලු තිබෙන්නත් පුළුවන්. කේබල් එකෙහි ඇතුළත ඇති වයර්, දුරකතනය සමඟ සම්බන්ධ කෙරෙන සම්බන්ධකය ආදියේ ගැටලු තිබුණහොත් කාර්යක්ෂමතාවය වැනි විවිධ සෘණාත්මක ප්‍රතිඵල  මතුවෙන්න පුළුවන්. 
 
නොගැළපෙන චාජර් භාවිත කර දුරකතනයේ බැටරියට හානි වුවහොත් නිෂ්පාදකයා වගකීම ගන්නේ නැහැ  මුල් උපාංග පමණක් භාවිත කළ යුතු බව නිෂ්පාදකයින් බොහෝ විට කොන්දේසි වශයෙන් සඳහන් කරනු ලබනවා. ඔබ ගැටලුකාරී, නොගැළපෙන චාජරයක් භාවිත කිරීමෙන් දුරකතනයට හානි ඇති වූ බව හසු වුවහොත් වගකීම් සහතිකය අවලංගු විය හැකියි. එය පාරිභෝගික සහාය ලබා ගැනීමට ගැටලුවක් වෙනවා.
 
දුරකතනය සඳහා  වෙනත් චාජරයක් භාවිතා කිරීමට සිදුවන්නේ නම් ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.
 
අලුත් චාජරයක් මිලදී ගන්නේ නම් පිළිගත් වෙ‍ෙළඳ නාමයක් යටතේ එය මිලදී ගන්න. තත්ත්ව සහතිකයක් තිබේදැයි පරීක්ෂා කර බලන්න. අනිකුත් පාරිභෝගිකයන්ගේ සමාලෝචන කියවා බලන්න. එමඟින් ගුණත්වයෙන් අඩු චාජරයක් මිලදී ගැනීමේ අවදානම අඩු වනු ඇත. 
 
චාජරයේ වෝල්ටීයතාවය සහ ධාරාව පරීක්ෂා කර බලන්න. එය වර්තමාන චාජරයට ගැළපෙන බව සහතික කරගන්න. සාමාන්‍යයෙන් ඔබගේ දුරකතනයට ගැළපෙන චාජරයේ තොරතුරු දුරකතනයේ අත්පොතෙහි සඳහන් වී තිබෙනු ඇත. එය කියවා අලුත් චාජරය ඔබගේ දුරකතන මාදිලය සමඟ ගැළපෙන බව තහවුරු කර ගන්න.
 

චාජරයේ සහ වයර්වල ගුණාත්මකභාවය පරීක්ෂා කර බලන්න. එය පමණට වඩා ඝන හෝ දුර්වල නොවිය යුතුය. දුර්වල බව වැඩියෙන් දැනෙනවා නම් එය ප්‍රමිතියෙන් තොර චාජරයක් වීමට වැඩි ඉඩක් ඇත. කේබලයේ ගුණාත්මකභාවය හොඳින් පරීක්ෂා කර බලන්න. හානි වූ හෝ ගුණත්වයෙන් පහළ කේබල් භාවිත කිරීමෙන් වළකින්න.
 
 චා‍ර්ජ් කරන අතරතුර පමණට වඩා උණුසුම් වන්නේද යන්න පරීක්ෂාවෙන් සිටින්න. දුරකතනය හෝ චාජරය පමණට වඩා රත්වන බව දැනෙනවා නම් වහාම එය විසන්ධි කර දමන්න. හොඳින් වාතාශ්‍රය ඇති ස්ථානයක දුරකතනය චාර්ජ් කිරීමෙන්ද උණුසුම් වීම වළක්වා ගත හැකි වනු ඇත.