කන්තෝරු නෝනා ⁣

හැන්දෙයි පෑනෙයි ඡේදන ලක්ෂ්‍යය
දෙසැම්බර් 23, 2024

දෙවැනි සටහන …

Friday, January 8,

උදේ නැඟිටින්ඩ පරක්කු වෙච්ච හින්ද අද බස් එකේ හොඳ හරියකින් සීට් එකක් අල්ල ගන්ඩ බැරි වුණා. සතියම නැහිල නැහිල සිකුරාදා වෙද්දි උණසන්නිපාතෙ වාගෙනෙ ඉතින් ඇඟ රිදිල්ල. එහෙව් එකේ මෙහෙමවත් ඇහැරුණා මදෑ. පිටිපස්සෙ ඉඳගත්තට වඩා පයින් ආව නම් හොඳයි කියල හිතුණෙ ඩ්‍රයිවරය වංගු කෙළින් කරලා යනව මදිවට, කිසි

ලෝබකමක් නැතුව වළවල්වල දානකොට කුඩා බඩවැලයි මහ බඩවැලයි එකට පැටලිලා මොළේ එතෙන හින්දම නෙමෙයි. බැහැගන්ඩ තියෙන අමාරුව හන්දයි.

කොහෙද ඉතින් අපිට බස්වල සීට් අල්ලල තියන්ඩ එකාල ඉන්නෙකක්යැ. පොත්තෙ රත කෙසේ වෙතත් අඟර දඟර දාන එකියන්ට නම් බස්සෙක අද්දන්ඩ ඔන්න මෙන්න කියලා ආවත් කොන්ද සීට් අල්ලල තියනව මේං කියලා. අනේහ්.. ඔය මඟුල් සීට් එකක් වගේද ගෑනියෙක්ගෙ නම්බුකාරකම. මොන මොන ආභරණ පැලැන්දත් පතිවෘත්තාව තරම් ආභරණයක් ගෑනියෙකුට නෑ කියල මං කසාද බැඳල එන දවසෙම නෙ අම්ම කිව්වෙ.

 

ජනවාරි 11 සඳුදා

 

අද නම් පුළුවන් ඉක්මනින් උදේ පාන්දර සුමේ ඉවර කරලා දුවල ගිහින් බස්සෙකේ හොඳම සීට් එකක් අල්ල ගත්තා. අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියන්නැහෙ ඩ්‍රයිවරයා අද වෙනදටත් වඩා කොට කොටමයි ගියේ. සමහර හෝල්ට්වල කොච්චර වෙලාවක් නවත්තන් හිටියද කියනව නම් ගෙවල්වල ඉන්න මිනිස්සු ඇහැරවන් අන්දගෙන පලන්දගෙන එක්කන් ගියා හා සමානයි. ඒකට ඉතින් අපි පරක්කු වුණොත්. පස්සෙන් දුවද්දිත් කී දවසක් නම් දාලා ගිහින් තියේද ?

කොහොමින් හරි බහිද්දි විනාඩි දහයක්ම පරක්කුයි. ඇවිදීමේ තරගෙන් පළමුවෙනියා වෙන්ඩ වගේ බස්සෙකෙන් බැහැලා හුස්ම අල්ලන්ඩවත් තප්පරයක් රැඳෙන්නැතුව ඔෆීස් එකටම දිව්වෙ නිවී සැනසිල්ලෙ ඉඳගෙන වතුර ටිකක් බීලම හුස්මක් ගන්ඩ හිතාගෙනයි.

මොන….. නිවී සැනසෙනවා තියා මට ඉහළට ගත්ත හුස්මවත් පහළට දාගන්ඩ බැරුව ගියා ඔෆිස් එකට ගියාම. ඇදුම හැදිල එහෙම නෙමේ. මේසෙ උඩ ගොඩගහල තිබුණු පිදුරුතලාගල කන්ද පරද්දන සයිස් එකේ ෆයිල් කන්ද දැකලා.

ඇයි දෙයියනේ සිකුරාද යද්දි පෙන්ඩිං ෆයිල් ඔක්කොම ඉවර කරලා ගිය එකේ ආයි මේ මොන ෆයිල් ද ? එහෙම නැත්තම් සිකුරාද වැඩ ඉවර කළා කියල මට තියෙන මතකෙ උදේ පාන්දර හීතලට දැකපු හීනයක්වද්ද? ඇත්තටම වෙලා තියෙන්න මොකක්ද කියලා දැනගන්ඩ නම් සුදුසුම කෙනාගෙන් එපැයි ඕක අහන්ඩ. " සිරිතුංග…සිරිතුංග…. ."

හැමදාම උදේ පාන්දර ඇවිල්ල නැති වෙච්චි දෙයක් හොයන්ඩ වගේ මේසයක් ගානෙ කැරකි කැරකි ඉන්න සිරිතුංගයත් අපිට ඕනෙ වුණාම තමයි පේන්ඩ නැත්තෙ. කට රිදෙනකල් කෑගහලයි සිරිතුංගයව හොයාගත්තෙ.

" ඇයි.. ඇයි.. සාම මිස්…මොකක් හරි හදිස්සියක් ද ? "

" මේකත් එක්තරා හදිස්සියක් තමයි. මොනවද සිරිතුංග මේ ෆයිල් කන්දරාව ? "

" ඛේමා මිස් මේ ටිකේ නිවාඩු හින්ද ලොකු සර් තමයි කිව්වෙ ඛේම මිස්ගෙ ෆයිල් ටිකත් සාම මිස්ට දෙන්ඩ කියලා. ඒකයි මං ගෙනත් තිබ්බෙ. ලොකු සර් කියපු විදිහට මං හිතුවෙ මිස් කලින් දන්නව කියලා."

තිස්තුන් කෝටියක් යක්කු ටික මට එකපාර ආවේස වුණා කියලා අමුතුවෙන් කියන්ඩ ඕන්නෑ නෙ ඉතින්. කියන්ඩ ජාති දාහක් කටට ආවත් පළවෙනි වචනෙ පිට වෙන්ඩත් කලින් කොහේදෝ ඉඳල හිතට ගොඩවෙච්චි තිස්ස මගෙ කටට අගුල් දැම්මා.

" දැන්වත් ඔයාගෙ ඔය හැකර කට පරිස්සම් කරන් ඉන්ඩ සාමා. කට හින්දා තමයි ඔයාට තියෙන තරම් ප්‍රශ්න. කතා කළා කියල වෙනස් කරන්ඩ බැරි දේවල් ගැන කතා කළාම වෙන්නෙ තියෙන ටිකත් නැති වෙන එක විතරයි. " ජීවිතේ පළවෙනි පාරට මං තිස්ස දීපු උපදේශයක් සිහි කරගෙන වතුර බෝතලෙන් බාගයක්ම එක හුස්මට බීලා තරහ නිවලා, නිවල කිව්වට හිත යට හංගලා, වැඩ පටන් ගත්තා.

කලාතුරකින් අවස්ථා තියෙනවනෙ ඉතින් බිරියකට තමන්ගෙ ස්වාමිපුරුෂයට පවා ඇහුම්කම් දෙන්ඩ වෙන.

 

Digital Art By- Cham Nirman