මුතුමතක මත සැදූ හුදෙකලා මාලිගය

ජනවාරි 6, 2025

සමහර ගමන් බිමන් තියෙනවා අපි කවදාකම හෝ යන්නම ඕ‍ෙන. ඒවගේ තැන්වල පින්තූර අපි සමහර ගමන්ව‍ලට පොළඹවනවා.

 

මේ ගමනය මාව පෙලඹුවෙත් ඒවගේ අලංකාර ඡායාරූප පෙළක්. කවදාක හරි මෙතැනට යන්න බලන් හිටියට මේ අවස්ථාව ලැබුණෙ අහම්බෙන්. මේ ලස්සනම ලස්සන තැන ඔයාලට බලාගන්න පුළුවන් මන්නාරමට කිට්ටු සිලාවතුරෙ බීච් එක අයිනේ. මේ තමයි ඩොරික් බංගලාව. අද වෙනකොට පුරාවිද්‍යා භූමියක් වුණු ඩොරික් බංගලාව මුහුදු කෑම හින්දම මේ තත්ත්වයට පත්වුණා කියලයි කියවෙන්නෙ.

ශ්‍රී ලංකාවේ පළමුවන බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරවරයා වෙනුවෙන් ලස්සනම ලස්සන වෙරළක හදපු මේ බංගලාවෙ එදා මහල් දෙකක් තිබිල තියෙනවා.මන්නාරමේ ලස්සනම නිස්කලංකම තැනක මේ බංගලාව හදල තියෙන්නෙ නිකම්ම නිකම් නෙවේ. ශ්‍රී ලංකාව කියන්නේ අතීතේ මුතු පුරයක්. වැඩියෙන්ම මුතු හම්බවෙලා තියෙන්නෙ ශිලාවතුර හා කොන්ඩච්චි අඩවියේ. මේ මුතු වෙ‍ෙළඳාම හරියටම කරගෙන යන්න සහ ඒ සඳහා එන පිරිසට සැපවත්ව ඉන්න ඩොරික් බංගලාව මේ තරම් ලස්සනට ඉදි ‍කළා කියලයි කියවෙන්නෙ.

නෝර්ත් පාවිච්චි කළ බංගලාවට ඩොරික් කියල නම වැටුණෙ කොහොමද? හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේක. උස් කණුවලින් එදා හැඩවෙලා තිබුණු බවට කියන මේ මාලිගා මන්දිරයට ඒ නම වැටුණේ මේ ගෘහනිර්මාණ ක්‍රමය නිසා. ග්‍රීක සම්ප්‍රදායට අනුව ෆෙඩ්රික් නෝර්ත්ගේම අදහසකට අනුව නිර්මාණය කරපු මේ බංගලාව ඩොරික් කියල නම් කරල තියෙන්නෙ මේ ගෘහනිර්මාණ කලාවට කරපු ගෞරවයක් විදියට.

මන්නාරම කියන්නෙ රස්නෙ උහුලන්න බැරි පළාතක්. ඒ හින්දම මේ මන්දිරයේ බිත්ති විශාලයි. සම්පූර්ණයෙන්ම ගඩොල් වලින් හදපු මේ මාලිගාව එදා කිරිගරුඬ පාටට තිබුණ කියලත් ඉතිහාස විස්තරවල කියවෙනවා.

මේ බංගලාවේ උඩුමහලට නැග්ගම පේනතෙක්මානේ තියෙන්නෙ මහමුහුද.මුහුදෙන් එන හුළඟ බංගලාවේ ඇතුළෙ කැරකිලා සීතල වෙන විදියට තමයි මේක හදල තියෙන්නෙ. ඒ වගේම මේ බංගලාව හදන්න තෝරගෙන තියෙන්නෙ ඒ වෙරළේ තියෙන උසම තැන. උසම තැනක උසටම බංගලාවක් හැදුවම ඒකේ තියෙන සුන්දරත්වය ගැන අපි ආයෙත් අමුතුවෙන් කියන්න ඕ‍ෙන නෑ.

 

මේ බංගලාවේ පහළ කාමර හතරක් සහ ලොකු සාලයක් තිබුණ කියල කියවෙන අතරෙ උඩුමහලේ තිබුණේ නෝර්ත්ගේ කාමරේ කියලත් කියනවා. 1804 වර්ෂයේ මේ බංගලාව ඉදිකළා කියල ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ කියන්නෙ දැන් මේ බංගලාව අවුරුදු 220ක් විතර පරණයි. එච්චර කාලයක් මුහුදු හුළං එක්ක පොරබදමින් මේ තරම් ශක්තිමත්ව ඉන්න එදා මේ බංගලාව කොච්චර සැලසුමකට අනුව හදන්න ඇද්ද කියල එතනට යන ඕ‍ෙන කෙනෙකුට හිතෙනවා.

කොහොමහරි ඔයත් මන්නාරම පැත්තෙ වටයක් දාන්න යනවනම් මෙතැනට ගිහින් විසිට් එකක් දාල එන්න කියල අපි ආරාධනා කරනවා. මොකද මේක එච්චර ලස්සන වෙනස්ම ෆොටෝ ටිකක් එහෙමත් ගන්න පුළුවන් තැනක්.

සමහර වෙලාවට මේ මතක තව කාලයකින් වියැකිලා මැකිල යාවි. අන්න ඒ නිසා ඔබේ දරුවන්ට මේ බිමේ අලංකාරය ගෘහනිර්මාණ කලාව වගේ දේවල් පෙන්නන්න අමතක කරන්නත් එපා

 

ඔබට සුබ ගමන්.

 

 

[email protected]