වර්ෂ 2025 ක්වූ January 20 වැනිදා Monday
මේ අවුරුද්දෙ ඇඟ හදන්න පටන් ගමුද?
මේ ගෙවෙන කාර්යබහුල ජීවන රටාවත් එක්ක ශරීර සෞඛ්‍ය ගැන හිතන්නවත් වෙලාවක් නැති තරම්. ඒ නිසා නිදන්ගත රෝගවලින්ද අඩුවක් නැත. එබැවින් සෞඛ්‍යසම්පන්න දිවියක් ගෙවීම සඳහා ශාරීරික ව්‍යායාමයෙහි වැදගත්කම මින් පෙර කිසිදාකට වඩා වර්තමානයේ කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත.
ඉතින් අද සමාජයේ කාර්යබහුල ජීවන රටාවත් සමඟ ඔබේ සුවතාව පිරිහීමට ඕනෑවටත් වඩා අවස්ථා තිබෙන බව රහසක් නොවේ. ස්ථූලබව අඩුකර ගැනීමට මෙන්ම දියවැඩියාව, කොලොස්ටරෝල් බහුලතාව අඩු කර ගැනීම පිණිස ශාරීරික ව්‍යායාමයෙහි ඇති වැදගත්කම වෛද්‍යවරුන් පමණක් නොව මාධ්‍ය මඟින්ද නිතර හුවා දැක්වූවත් මේ කාර්යයට යොමු වීම කම්මැළි බවක් දක්වන්නන්ද අඩුවක් නැත. සමහරුන්ට ඒ සඳහා අවශ්‍ය වේලාව සොයා ගත නොහැකිය. තවත් සමහරු ව්‍යායාම් කිරීම සඳහා කායිකව සහ හෝ මානසිකව සුදුසු නැත.
වෘත්තීයමය ක්‍රීඩිකාවක් හැරුණු විට සාමාන්‍ය රැකියාවක නියුතු හෝ නිෙවසේ සිටින තරුණියකට අවශ්‍ය වන්නේ ඉතා සරල ව්‍යායාම පෙළක් පමණයි. එය මූලික වශයෙන් සිරුරේ මේද දහනය, හදවතේ ක්‍රියාකාරීත්වය මනා ලෙස පවත්වා ගැනීම, නම්‍යතාව වැඩි කර ගැනීම සහ අනාගතයේදී දරුවකු බිහි කිරීමේදී අවශ්‍ය දරා සිටීමේ හැකියාව වැඩි කර ගැනීම ආදිය සඳහා විය යුතුය. එනිසා ව්‍යායාමවල නිරත වීම ඔබගේ ශරීර සෞඛ්‍යයට බෙහෙවින්ම වාසිදායක වේවි.
දිනපතා ව්‍යායාම කිරීම වැදගත් වන්නේ මන්ද යන්න ඔබ සිතුවාද? දිනපතා ව්‍යායාම කිරීම වැදගත් වන්නේ ඇයි?
ව්‍යායාම කිරීම සෞඛ්‍යසම්පන්න දිවියකට අත්‍යවශ්‍ය සාධකයක් වේ. පහත කරුණු කියවා බලන ඔබට එය වැටහෙන බව නොඅනුමානයි.
ව්‍යායාමයෙන් ලැබෙන වාසි
ඔබගේ ශරීරයේ අමතර මේදය තැන්පත් වීමෙන් බර වැඩිවී ඇත්නම්, දිනපතා ව්‍යායාම කිරීම මඟින් අමතර මේදය දහනය වී ඔබේ ශරීරයේ බර පාලනය කරගත හැකිය. දිනපතා ව්‍යායාම කිරීමෙන් ශරීරයට හානිකර නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුවී, ශරීරයට හිතකර HDL නමැති කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවේ. එමඟින් හෘදයාබාධය, අංශභාගය, අධි රුධිර පීඩනය, සහ පර්යන්ත වාහිනික රෝගය (Peripheral Vascular Disease) වැලඳීමට ඇති අවදානම සැලකිය යුතු ලෙස අඩුවේ. ඔබට දැනටමත් අධි රුධිර පීඩනය ඇත්නම්, දිනපතා ව්‍යායාම කිරීමෙන් ඔබගේ රුධිර පීඩනය පාලනය කිරීමට හැකියාව ලැබේ.
ඔබගේ ශරීරයේ ඇති සෛලවලට ශක්තිය ලබාගැනීමට සහ පරිවෘත්තීය ක්‍රියාවලිය පවත්වා ගැනීමට භාවිත කරන්නේ ග්ලූකෝස් නමැති සීනි වර්ගයයි. ඔබ ව්‍යායාම කරන විට, ශරීරයේ සෛල (විශේෂයෙන් මාංස පේශිවල සෛල) ශක්තිය ලබාගැනීම සඳහා වැඩිපුර ග්ලූකෝස් භාවිත කරයි. එමඟින් ඔබට දියවැඩියාව වැලඳීමට ඇති අවදානම අඩුවේ. ඒ වගේම, ඔබට දැනටමත් දියවැඩියා රෝගය වැලඳී ඇත්නම්, ඔබගේ ශරීරයේ සීනි මට්ටම පාලනය කිරීමට දිනපතා ව්‍යායාම උදවු වේ. දිනපතා ව්‍යායාම කරන විට ඔබගේ හෘදය වැඩි රුධිර පරිමාවක් කාර්යක්ෂමව පොම්ප කිරීමට හැකිවන අයුරින් ශක්තිමත් වේ. ඔබගේ පෙණහලු ද ව්‍යායාම කරන විට හොඳින් පිම්බීම හා හැකිළීම සිදුකරයි. එමඟින් ඔබගේ පෙණහලුවලට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ශරීරයට ලබාගැනීමටත්, වැඩි කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් ශරීරයෙන් පිටකිරීමටත් හැකිවන අයුරින් ඒවා ශක්තිමත් වේ. ඒ නිසා, දිනපතා ව්‍යායාම කිරීම ඔබගේ හෘදය සහ පෙණහලු ශක්තිමත් සහ සෞඛ්‍යසම්පන්න කිරීමට හේතුවේ.
දිනපතා ව්‍යායාම කිරීමෙන් බඩවැලේ පිළිකා, පියයුරු පිළිකා, ගර්භාෂයේ පිළිකා සහ පෙණහලු පිළිකා වැනි රෝග වැලඳීමේ අවදානමද අඩුවේ.
ඔබගේ මාංශපේශි, අස්ථි, සහ හන්දි ආශ්රිත පටක ශක්තිමත් කිරීමට ව්‍යායාම වලට හැකියාව ඇත. එම නිසා, දිනපතා ව්‍යායාම කිරීමෙන් හන්දි ආශ්රිත පටකවලට සිදුවන අනතුරු, මාංශපේශිවලට සිදුවන අනතුරු, අස්ථි බිඳීම් ඇතිවීමට ඇති අවදානම ආදිය සැලකිය යුතු ලෙස පහළ යෑම සිදුවේ. එමඟින් ආතරයිටිස්, ඔස්ටියොපොරෝසිස් වැනි හන්දි ආශ්රිත රෝග වැලඳීමට ඇති අවදානම ද පහත වැටේ. ඔබට දැනටමත් ආතරයිටිස්, ඔස්ටියොපොරෝසිස් වැනි රෝග ඇත්නම්, ඒවා සුවවීමට දිනපතා ව්‍යායාම කිරීම හේතුවේ. ව්‍යායාම මඟින් උදරය ආශ්රිත මාංශ පේශි ද ශක්තිමත් වේ. එමඟින් හර්නියා වැනි රෝග හටගැනීම ද වැළකේ.
ඔබ දිනපතා ව්‍යායාම කරන්නේ නම් මානසික ආතතිය (Stress), විෂාදය (Depression) වැනි මානසික තත්ත්ව හටගැනීමට ඇති අවදානම අඩුවන අතර ඔබගේ මානසික සෞඛ්‍යය සහ සිතේ ස්වභාවය (Mood) වැඩි දියුණු වේ. ඔබට සුව පහසු නින්දක් ලැබීමටද ශාරීරික ක්‍රියාකාරකම් වැදගත් වේ.
ඔබට විනෝදයෙන් කාලය ගත කිරීමට සහ මිතුරන් ඇසුරු කිරීමට ද දිනපතා ව්‍යායාම කිරීම මඟින් අවකාශ සැලසේ. ඔබගේ දෛනික ක්‍රියාකාරකම් කාර්යක්ෂමව කිරීමට හැකියාව ලබා දේ. දිගුකාලීන, සෞඛ්‍යසම්පන්න දිවියක් උරුම කරදීමට ව්‍යායාමවලට හැකියාව ඇත.
සෞඛ්‍යසම්පන්න, සමබල ආහාර වේලක්
ශරීරය ලස්සනට තියාගන්න ව්‍යායාම විතරක් ප්‍රමාණවත් නොවේ. ව්‍යායාමත් සමඟ ශරීරයේ මාංශපේශීන් ගොඩනඟා ගැනීමට නම් පෝෂ්‍ය පදාර්ථ ශරීරයට ලබාගත යුතුයි. නැවුම් එළවළු, පලතුරු, ප්‍රෝටීන්, මේදය අඩු ධාන්‍ය වර්ග ඔබගේ ආහාර වේලට එකතුකර ගන්න.
ශරීරයට ප්‍රෝටීන් ලබා ගන්න තියෙන හොඳම ක්‍රමය බිත්තර ආහාරයට ගැනීමය. බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 7ක් පමණ අඩංගු වේ. කාබෝහයිඩ්රේට් සඳහා බතල, ඕට්ස් වැනි දෑ ද, මේදය සඳහා අලිගැටපේර, ඇට වර්ග, ඔලිව් ඔයිල් වගේ දේවල් එකතුකර ගන්න.
ජලය දිව්‍යමය ඖෂධයකි. ජලය වෙනුවට වෙනත් පාන වර්ග ලබා ගැනීමෙන් ශරීරය නීරෝගි කිරීමට අවශ්‍ය පෝෂණ නොලැබේ.
නොකළ යුතු අය
සැත්කම් කර තිබෙන අය, හදවත් රෝගීන්, ඇදුම වැනි රෝග තියෙන අයට ගැළපෙන වෙනමම ව්‍යායාම වර්ග තිබේ. ඒ අය සඳහා සාමාන්‍ය අය පුහුණුවන ව්‍යායාම කිරීමෙන් රෝග තත්ත්වය උග්‍ර විය හැකිය. ගැබිනි කාන්තාවන්ට ද දරු ප්‍රසූතිය පහසු කරවන ව්‍යායාමවලට යා හැකිය.
ව්‍යායාම කිරීමට සුදුසු වෙලාව තීරණය වෙන්නේ එක එක්කෙනාගේ දෛනික ජීවිතයේ කටයුතු සමඟය. එහිදී
ඔබගේ ශරීරයට වැඩිපුරම ශක්තිය ඇති වෙලාවෙහි ව්‍යායාම කිරීමට හැකිතරම් උත්සාහ කරන්න.
ඔබගේ දිවියට ගැළපෙන පරිදි ශාරීරික යෝග්‍යතා වැඩසටහන සකස් කරගන්න.
ඔබගේ වටපිටාවේ ඇති ඉඩකඩ, පහසුකම්, සහ ඔබගේ විවේක කාලය අනුව ව්‍යායාම වැඩසටහන සකස් කරගන්න. ඔබගේ ශාරීරික යෝග්‍යතා වැඩසටහන හැකි සෑමවිටම එළිමහනෙහි සිදුකිරීමට උත්සාහ කරන්න.
උපදෙස් -
ශරීර යෝග්‍යතා උපදේශිකා
මෙත්මා බිසේකා නානායක්කාර