වර්ෂ 2025 ක්වූ June 23 වැනිදා Monday
ග්‍රේටාගේ මුහුදු ගමන

මීට වසර කිහිපයකට කලින් " දේශගුණික විපර්යාස පිළිබඳ අර්බුදය " ගැන ලෝකයේ අවධානය යොමු කිරීම වෙනුවෙන් සිකුරාදා දවසේ පාසල වර්ජනය කර ස්වීඩන පාර්ලිමේන්තුව ඉදිරිපිටට විත් තනිවම හඬනැඟූ පුංචි දැරිවිය ඔබට මතක ඇති. ඇය , ග්‍රේටා තන්බර්ග්. එවක ඈ සිටියේ 15 හැවිරිදි වියේ. ඇය එදා එලෙස තනිව ඇරඹූ සටනට ටිකෙන් ටික ලෝක අවධානය ලැබෙද්දී , පරිසර ක්‍රියාකාරිණියක වූ ඈ ලොවම දන්නා චරිතයක් වුණා. පරිසරය වෙනුවෙන් තම හඬ එක්සත් ජාතීන්ගේ වේදිකාව දක්වාම ගෙනයන්නට ඇයට හැකිවුණා.
මේ වන විට ඈ 22 හැවිරිදි තරුණියක්. මේ දිනවල ඇය දෙසට නැවතත් ලෝකයේ අවධානය යොමුව තිබෙනවා. ඒ, පලස්තීනයේ ගාසාතීරයට එරෙහිව පනවා ඇති සාගර සම්බාධක දෙසට ලෝකයේ අවධානය යොමු කරවීම වෙනුවෙන් සංකේතාත්මක ලෙස මානුෂීය ආධාර තොගයක්ද රැගෙන කණ්ඩායමක් ලෙස යාත්‍රාවක (Yacht) නැඟී සමුදුරෙන් එහි ළඟාවීමට දැරූ ප්රයත්නය නිසා.
ග්‍රේටා සමඟ මේ ගමනට එක්වූ පිරිස 12ක්. ඔවුන් ගමන් කළ යාත්‍රාව The Madleen යනුවෙන් හැඳින්වුණා. එහි බ්‍රිතාන්‍ය ධජය භාවිත කිරීම ගැන ආන්දෝලනයක් ද ඇති වූ අතර පලස්තීන ධජය ද ඔසොවා තිබුණා. මේ ගමන සංවිධාන කළේ , Freedom Flotilla Coalition(FFC) නම් සංවිධානයයි. ඔවුන් සිසිලියෙන් ගමන් ඇරැඹුවේ ජූනි 1 වැනිදා. සතියක කාලයක් ඇතුළත ගාසා මුහුදු තීරයට ළඟාවීම ඔවුන්ගේ ඉලක්කය වුණා.
කෙසේවුවද , ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා මුලදීම අනතුරු ඇඟවූයේ, ඔවුන් ගාසාතීරයට ඇතුළුවීම වැළැක්වීමට ගතහැකි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගනු ඇති බව දන්වමින්.
" ඔබ ආපසු හැරී යා යුතුයි,මන්දයත් ඔබට ගාසා තීරයට ඇතුළුවීමට ලැබෙන්නේ නෑ.." යනුවෙන් අමාත්‍යවරයා තැබූ X පණිවිඩයක සටහන්ව තිබුණා. ඔහු ග්‍රේටා හඳුන්වාදුන්නේ , යුදෙව් විරෝධී මෙන්ම හමාස් ප්රචාරකවාදී තැනැත්තියක වශයෙන්.
සම්බාධක බිඳදැමීමට හෝ ත්‍රස්තවාදී සංවිධානයකට සහාය වීමට කිසිදු ඉඩක් නොතබන බව ද ඔහු අවධාරණය කර තිබුණා. එය ගොඩබිමෙන්, මුහුදෙන් , ගුවනින් යන කවර අයුරකින් වත් නොවිය යුතු බවද සඳහන් වුණා. ඊශ්‍රායලය The Madleen යාත්‍රාව හැඳින්වූයේ ,Selfie Yacht යනුවෙන්.
මේ යාත්‍රාවේ පලස්තීන සම්භවයක් ඇති, යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රංශ නියෝජිතවරියක වන රිමා හසන්ද වූවා. ඇය ද ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කර ඇති තැනැත්තියක්.
දැනට මාස 3 කට අධික කාලයක් තිස්සේ මෙම සම්බාධක ක්‍රියාත්මක වන අතර , මීට මසකට පමණ පෙර ඊශ්‍රායලය අත්‍යාවශ්‍ය සහනාධාර ගාසා තීරයට සැපයීම ඇරඹූ බවත් කලින් වාර්තා වුණා.
ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයා අනතුරු ඇඟවූ පරිදිම ඉකුත් 9 වැනිදා එරට ආරක්ෂක අංශ ගාසා මුහුදු තීරයට ඇතුළුවීමට පෙර යාත්‍රාව තම ග්‍රහණයට ගැනීමත් සමඟ ග්‍රේටා ඇතුළු කණ්ඩායමට සිය ප්රයත්නය අත් හැර දැමීමට සිදුවුණා. මෙය සිදුවූයේ ජාත්‍යන්තර මුහුදු තීරයේ දී බව ප්‍රකාශ වූ අතර , ග්‍රේටා පැවසුවේ ඊශ්‍රායල් ආරක්ෂක අංශ තමන්ට හිංසාකාරී ලෙස සැලකූ බවයි. එම අවස්ථාවේ දී ග්‍රේටා දෑත් පිටුපසට කරගෙන සිටිනු දැකිය හැකි අතර , ඉන් ඇයට මාංචු දමා ඇතැයි ඇඟවුණත් එවැන්නක් සිදුනොවූ බව ද යාත්‍රාව පැහැර ගැනීමක් නොකළ බවද ඊශ්‍රායලයේ ප්රතිචාරයයි.
කිසිදු හිංසනයක් නොකළ අතරම ජලය සහ ආහාර සැපයූ බවද ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසා සිටියා. අනතුරුව යාත්‍රාව රැගෙන ආවේ ඊශ්‍රායලයේ Ashdod වරායටයි. එහිදී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාකිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරීම සිදුව තිබුණා. ඉන්පසුව හමාස්වරු සිදු කරන අපරාධ පිළිබඳ දැනුම්වත් කරන වීඩියෝ දර්ශන ඇතුළත් වැඩසටහනක් නැරඹීමට යොමුකර ඇතත් ,ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඊශ්‍රායල් ආරක්ෂක අංශවල ග්‍රහණයට පත්වීමත් සමඟ ආපසු පිටත්ව යාමට ග්‍රේටා සහ තවත් කිහිපදෙනෙක් එකඟතාව පළකර තිබූ බව වාර්තා වුණා.එහි සිටි ප්‍රංශ ජාතිකයන් 5 දෙනෙක් එසේ පිටවයාම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පැවසෙනවා. ඔවුන් වහා නිදහස් කරන ලෙසට FFC ඉල්ලීම් කර තිබෙනවා.
ග්‍රේටා ඇතුළු පිටත්ව යාමට එකඟවූවන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමක් සිදුවූයේ නෑ. ඔවුන් රැගෙන ආ මානුෂීය ආධාර විධිමත් පරිදි ගාසාතීරයට ලැබීමට සලස්වන්නට ඊශ්‍රායලය එකඟ වී තිබෙනවා.
ග්‍රේටා ඇතුළු කණ්ඩායමේ කිහිපදෙනා ගුවනින් ආපසු පිටත් කෙරුණේ ප්‍රංශයටයි. එහි සිට ස්වීඩනය බලා පිටත්ව යාමට පෙර ප්‍රකාශයක් කරමින් ග්‍රේටා සඳහන් කළේ, ඊශ්‍රායලය ඔවුන්ව වැළැක්වීම නීතිවිරෝධී බවයි.
හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ග්‍රේටා ඇතුළු කණ්ඩායමට තම ආචාරය පුදකරන බව ද ඉන් පෙනෙන්නේ තමන් ගාසා තීරයේ තනිවී නැති බව යැයිද යාත්‍රාව වැළැක්වීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ද පවසා තිබුණා. 2023 ඔක්තෝබරයේ පටන් මාස 20 ක් තිස්සේ දෙපාර්ශවය අතර ඇදෙමින් ඇති යුද ගැටුම් හේතුවෙන් 1200 පමණ මියගොස් ඇතැයි සඳහන්. ගාසා හි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම් ඇරැඹීමත් සමඟ මේ දක්වා පලස්තීනුවන් 54000 පමණ මරණයට පත්ව ඇති බවයි.මාස කිහිපයක් තිස්සේ සහනාධාර අවුරා තිබීම හේතුවෙන් ද ගාසා තීරයේ මානුෂීය ඛේදවාචකයක් විය හැකි බවට බිය පළව තිබෙනවා.සාගතයත් සමඟ විශේෂයෙන් එහි සිටින දරුවන්ගේ ඉරණම ඛේදනීය වනු ඇතැයි ද අනතුරු ඇඟවුණා.
ඉකුත් මාසයේ දී ද Freedom Flotilla Coalition මඟින් මෙවැනිම මෙහෙයුමක් දියත් කළ නමුත් , ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එය ද අසාර්ථක වුණා.එම චෝදනාව එල්ල වූයේ ද ඊශ්‍රායලය දෙසටයි.
ග්‍රේටා ටින් ටින් එලියනෝරා තන්බර්ග් ,2003 ජනවාරි 3 වැනිදා උපත ලැබුවේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී. ඇගේ මව ඔපෙරා ගායිකාවක් වූ අතර පියා රංගන ශිල්පියෙක්.ඇය මුලින්ම දේශගුණික විපර්යාස ගැන ඉගෙනගන්නේ 8 හැවිරිදි වියේදී. එතැන් පටන් ඇය එළවළු ආහාර පමණක් ලබාගත් අතර ගුවන්ගමන් ද ප්‍රතිකේෂ්ප කළේ ඒවායේ පාරිසරික බලපෑම් දක්වමින්. ඇය අඩුවෙන් කතාකළ, අඩුවෙන් ආහාරගත් ළමයෙක්. ග්‍රේටා , Asperger Syndrome නම් ඔටිසම් තත්වයෙන් (ASD) පෙළෙන බව පැවසෙනවා.
එවැනි අය කිසියම් අභිලාෂයක් ඇතිව ක්‍රියාකරන විට එහි ඉතා දැඩිව එල්බගෙන සිටින අයයි. ග්‍රේටා දෙස බැලූවිට එය පැහැදිළියි .
ඇය ස්වීඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිට ඉඳගන්නා විට පාර්ලිමේන්තු මැතිවරණයට තිබුණේ සති 3 ක් පමණයි.
මැතිවරණය අවසන් වූ පසුව ඈ යළිත් පාසල් ගමන ඇරඹුවද , "සිකුරාදා වර්ජනය " දිගටම ගෙනගියා. ඇයගේ බලපෑම හැඳින්වෙන්නේ "Greta Effect " යනුවෙන්. අමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, බෙල්ජියම ,කැනඩාව ෆින්ලන්තය ආදී රටවලින් ද ඇයට සහාය පළවුණා. ලෝක ආර්ථික සංසදය (WEF) , යුරෝපා පාර්ලිමේන්තුව, 2019 එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස වැඩසටහන ඇය දේශන පවත්වා ඇති ස්ථාන අතරින් කිහිපයක්. ග්‍රේටා සිය උසස් පාසල් අධ්‍යාපනය හමාර කළේ 2023 වසරේ දී.
එසේ වුවත් ඈ සිකුරාදා විරෝධය අඛණ්ඩව පෙරට ගෙන ගියා. No One Is Too Small to Make a Difference(2019) , The Climate Book: The Facts and the Solutions(2023)කෘති ද ඇයගේ කාර්යයන් අතර තිබෙනවා. I am Greta නම් වාර්තා චිත්‍රපටය 2020 දී ඉදිරිපත් කෙරුණා.