වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ජීවත්වීමේ හරය දැන සිටීමත් භාවනාවක්
‘තරුණී’ පුවත්පතට අඩ සියවසක් සපිරෙන මොහොත මට ඉතාම සුවිශේෂී මොහොතක්. මන්ද ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ දිවංගත ඩී. ආර්. විජේවර්ධනයන් මගේ සීයා. එහි කාන්තා පුවත්පතක් ලෙසින් තරුණී ආරම්භ කරන මොහොතේ ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා වුණේ මගේ පියා රංජිත් විජේවර්ධන.
තරුණී 50 වැනි වියට පා තබන මොහොතේ ජන මාධ්‍ය ඇමතිවරයා ලෙසින් එම පුවත්පතට සුබ පතන්න ලැබීම දෛවෝපගත දෙයක්. තරුණී පුවත්පත මඟින් අපේ රටේ කාන්තා පරපුරේ දැනුම, ආකල්ප, කුසලතා තව තවත් වර්ධනය කිරීමට හැකිවේවායි පතමි.
ජනමාධ්‍ය හා ආරක්ෂක රාජ්‍ය ඇමති - රුවන් විජේවර්ධන
********************
බුදු දහම ලොව පහළ වූයේ මිනිසාගේ දුක, දුක ඇතිවීමේ හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ යථාර්ථය ලෝවැසි ජනතාවට අවබෝධ කරවීම පිණිසය. එලෙසින්ම බුදු දහම සත්ත්වයාගේ සහ ලෝකයෙහි යථා තත්ත්වය කෙබඳු වූවක් ද යන්න පැහැදිලි කරන සුවිශේෂී දර්ශනයකි.
එබැවින් තරුණී සදහම් සෙවණ ඔස්සේ මෙලෙස දහම් කරුණු ඉදිරිපත් කරනුයේ ඔබේ හිතසුව පිණිසමය.
මැදුම් පිළිවෙත දිවි මඟ යහපත් කරයි
පින්වතුනි, මිනිස් ජීවිතය දුකෙහිම පිහිටා ඇත. දුකට හේතුව පුද්ගලයා සතුව පවතින තෘෂ්ණාවයි. එම තෘෂ්ණාව හෙවත් ආශාව දුරු කිරීමෙන් පුද්ගලයාට විමුක්තිය ලැබේ. ඒ සඳහා මධ්‍යම ප්‍රතිපදාව අනුව පින්වත් ඔබ කටයුතු කළ යුතුමය.
මැදුම් පිළිවෙත පදනම් කරගත් එම ජීවන දර්ශනය නම්,
සම්මා දිට්ඨි - නිවැරැදි දැකීම
සම්මා සංකප්ප - නිවැරැදි කල්පනාව
සම්මා වාචා - නිවැරැදි වචනය
සම්මා කම්මන්ත - නිවැරැදි ක්‍රියාව
සම්මා ආජීව - නිවැරැදි දිවි පැවැත්ම
සම්මා වායාම - නිවැරැදි උත්සාහය
සම්මා සති - නිවැරැදි සිහිය
සම්මා සමාධි - නිවැරැදි අරමුණ
පින්වත් ඔබට මේ මැදුම් පිළිවෙතට අයත් අර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ජීවිතය හැඩ ගස්වා ගැනීමට නම් හරි දැක්මක් අවශ්‍යය. ජීවත්වීම පිළිබඳ නිසි කල්පනාවක් තිබිය යුතුය. සමාජයේ හොඳින් සිටීමට ඇත්ත කතා කළ යුතුයි. අනුන්ට කරදර හිරිහැර නොවන ආකාරයෙන් ජීවත්වීමට ධාර්මිකව දහදිය මහන්සියෙන් ධනය උපයා ගන්නා කර්මාන්තවල නියැළිය යුතුය.
ධාර්මිකව දහදිය හෙළා උපයාගත් ධනය ඔහුට යහපත් දිවි පැවැත්මක් සඳහා හේතුවේ. නිවැරැදි දිවි පැවැත්මක් සඳහා පුද්ගලයා අලසකමින් තොරව, කම්මැළිකමින් තොරව පටන් ගන්නා ලද වීර්යයෙන්ම කටයුතු කළ යුතු වේ. මනා උත්සාහයෙන් කටයුතු කරන ඔහුගේ සිත මැනවින් පවිත්‍ර විය යුතුය. එය නොවිසිරී ගිය, ශික්ෂණයට පත්කරන ලද විය යුතුයි. මනා සිහියට අනුව කටයුතු කර ඔහුගේ සිත තමන් කරන යම් වැඩක් වේ ද එම වැඩය හෙවත් අරමුණ කෙරෙහි ද යොමුවිය යුතුය.
මෙලෙස මේ අංග අට සම්පූර්ණ වන විට පුද්ගලයාගේ සිත, කය හා වචනය එක්තරා ශික්ෂණ මාර්ගයකට යොමු වන්නේය. එම හික්මීමෙන් ඔබට මෙලොව මිනිස් ජිවිතය සාර්ථක කර ගැනීමට අවකාශය සැලසේ.
පින්වතුනි, මෙලොව මිනිස් ජීවිතය අර්ථවත්ව අවබෝධකර ගැනීමෙන් පසුව ඔබට ඔබ අපේක්ෂා කරන ජීවිත විමුක්තිය ලබාගැනීම සඳහා මාර්ගය හෙළිකර ගැනීමට අවකාශය සැලසේ. බුදුරජාණන් වහන්සේ වදාළ මැදුම් පිළිවෙතින් අසුබවාදීත්වයෙන් තොර සරු ජීවිතයක් ගත කිරිමට ලැබෙන පිටිවහල අති විශාලය. ඒ සඳහා පුද්ගලයා උත්සාහවන්තව ස්වකීය පැවැත්ම සඳහා සුබවාදීත්වයෙන් ක්‍රියා කළ යුතුයි.
මිනිස් ජිවිතයේ සැනසුම ලබනු සඳහා ඔබ සත්ත්ව හිංසනයෙන් වැළකිය යුතුය. ධාර්මිකව ජීවත්වීම සඳහා අවශ්‍ය ධනය දහදිය මහන්සියෙන් තමන් විසින්ම උපයා ගත යුතු වේ. මෙලෙසින් උපයාගත් දෙයින් දැහැමි ජීවිතයක් ගත කිරීමට බුදුදහමෙහි ඇති උපදෙස් ලෞකික ජිවිතයේ සාර්ථකත්වයට හේතුවන සනාතන ධර්මතාවකි. ඒ සනාතන දහම මෙලොව ජීවිතයට පමණක් නොව පුද්ගලයාගේ ජීවිත විමුක්තියට ද හේතු වන්නේය.
ඉපදීම දුක නම්, ඒ දුක ඇතිකරන්නේ තෘෂ්ණාව නම් ඒ තෘෂ්ණාව නැති කිරිම ජීවිතයේ නිවීම නම් ඒ නිවීම ලබා ගැනීමට ආර්යය මාර්ගයෙක් ද වන්නේය. ඒ ආර්යය මාර්ගයේ ගමන් මඟ පසක් කර ගැනීමට කිසියම් පුහුණුවක් අවැසිමය. ඒ පුහුණුව ‘භාවනාව‘ යි.
මීට පෙර ද අපි භාවනාව ගැන ලිපි කිහිපයක්ම පළ කළෙමු. එහෙත් තරුණී දුරකථනයට ගලා එන ඇමතුම් වෙතින් භාවනාව ගැන තවදුරටත් සඳහන් කරන්න යැයි ඔබ කළ ඉල්ලීමට මෙලෙස සාවදාන වන්නෙමු.
පින්වතුනි, භාවනාව යනු සිත පුහුණු කිරීමය. සිත පුහුණු කරන්නේ කුමක් සඳහා ද? එය පුහුණු කරන්නේ විවිධ අරමුණු කරා හිතුමතේ ගමන් කර අමාරුවේ වැටෙන ‘සිත’ පාලනය කිරීමටය. එම සිත හික්මවීමටය. එම සිත සමාධි ගත කිරීමටය. සමාධිය භාවනාව සිතේ වැඩීම ඇති කරයි. එයින් කරන්නේ සිත පුහුණු කිරීමකි. පුහුණු කළ සිත විවිධ දුසිරිතෙන් යුතු අරමුණු කරා ගමන් නොකරයි. එම සමාධිගත කිරීම ඇතිවන්නේ සම්මා දිට්ඨිය නමැති සත්‍යාවබෝධයට මුල් වූ හරි දැකිම ඇතිවීමෙනි. හරි දැකිමේ පුහුණුව පින්වත් ඔබ නිසි මඟ යොදවයි.
පින්වතුනි, ඒ අනුව පෙනී යන්නේ පුද්ගලයාගේ ජීවිතය පිළිබද සදාකාලික බවක් නොමැති බවයි. එසේ නම් ඔබ යෝනිසෝ මනසිකාරයෙන් හෙවත් සිහි බුද්ධියෙන් කල්පනා කළ යුතුයි.
ඔබට මේ අවබෝධය ලැබිය හැකි වන්නේ ලෝකයේ පවතින හොඳ, නරක, යහපත, අයහපත, පව, පින ගැන සිතීමෙනි. මේ අවබෝධය ලැබිය හැකි වන්නේ දැනුම් තේරුම් ඇති වයසේදීයි.
“උපන්නාට මෙලොව වැනෙනවා විනා” ජීවත් නොවී ජීවත්වීමේ හරය පිළිබද අවබෝධයක් ඇතිව ජිවත්වීමත් භාවනාවක් බව පින්වත් ඔබට දැන් වැටහෙනවා ඇති.
අනුශාසනාව - සියනෑ හාපිටිගම් දෙකෝරලේ ප්‍රධාන සංඝනායක, මගලේගොඩ විද්‍යාලයේ විදුහල්පති, රනිස්වල ශාලරුක්ඛාරාමාධිපති, ශාස්ත්‍රපති,
පූජ්‍ය රදාවඩුන්නේ ශාන්ත අමරනන්ද
ස්වාමීන් වහන්සේ