වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ඇත්ත ඇති සැටියෙන් දකින්න භාවනාව අපූරු කමටහනකි
මිනිසාගේ විමුක්තිය උදෙසා මඟ හෙළිකිරීම බුදු දහමේ අරමුණයි. එබැවින් තමන් සතු උසස් මනස මැනැවින් හසුරුවා ගනිමින් විමුක්තියට ළඟාවිය හැකි ආකාරය කදිමට පෙන්වා දෙයි. මෙහිදී ‘සිතට’ හිමිවන්නේ අද්විතීය තැනකි.
‘සිත කයෙහි ආධාරයෙන් ක්‍රියා කරයි. කය සිතෙහි ආධාරයෙන් ක්‍රියා කරයි’. මේ අන්‍යෝන්‍ය සබඳතාව අවබෝධකර ගැනීම සිත අවබෝධකර ගැනීමේ මූලික පියවරයි.
බෞද්ධ භාවනා ක්‍රම
බුදු දහමේ ඉගැන්වෙන ප්‍රධාන භාවනා ක්‍රම දෙක වන්නේ සමථ භාවනාව සහ විපස්සනා (විදර්ශනා) භාවනාවයි.
සමථයෙන් සිත සන්සුන් කෙරෙන අතර විපස්සනාවෙන් කෙරෙනුයේ ගැඹුරින් සිතා බැලීමට හුරු කිරීමයි. බෞද්ධ භාවනාවන් සියල්ල සමථයට හෝ විපස්සනාවට ඇතුළු කළ හැකි බව බොහෝ දෙනාගේ මතයයි. එහෙත් එය වැරැදි මතයකි. සමථ භාවනාවට හෝ විපස්සනා භාවනාවට අමතර තවත් භාවනා ක්‍රම පවතී.
අනුපස්සනා භාවනාව මීට හොඳම උදාහරණය වේ. සිතින් විමසා බැලීමත්, සිත සංයමයට පත්කිරීමත් යන දෙඅංශයටම සිදුකිරීම අනුපස්සනා භාවනාවයි.
* කයෙහි ස්වභාවය විමසා බැලීම කායානුපස්සනා ක්‍රමයෙහිදී සිදුවේ.
* වින්දනයන්ගේ ස්වභාවය පිරික්සීම වේදනානුපස්සනාවට අයත් වේ.
* සිතෙහි ස්වභාවය පිරික්සීම චිත්තානුපස්සනාවයි.
* ධර්මතාවන්ගේ ස්වභාවය පිරික්සීම ධම්මානුපස්සනාවයි.
පින්වතුනි, අනුපස්සනා භාවනාවන් සමථ හා විදර්ශනා යන දෙඅංශයේම අභ්‍යාසවල සංකලනයකි. සමථ, විදර්ශනා, අනුපස්සනා යන භාවනාවන් එකිනෙකට වෙනස්ය. ‘අනුස්සති’ භාවනා ඊට උදාහරණයකි. ‘අනුපස්සනා’ යන්නෙහි අර්ථය වනුයේ ‘නුවණින් විමසා බැලීම’ යි. ‘අනුස්සති’ යනු නැවත නැවත සිහිකිරීමයි. මෙවැනි සිහිපත් කිරීමේ භාවනා ක්‍රම 10 කි.
1. බුද්ධානුස්සති - බුදු ගුණ නැවත නැවත මෙනෙහි කිරීම
2. ධම්මානුස්සති - දහම් ගුණ නැවත නැවත මෙනෙහි කිරීම
3. සංඝානුස්සති - ආර්ය සංඝයාගේ ගුණ නැවත නැවත මෙනෙහි කිරීම
4. සීලානුස්සති - තමාගේ ශීලයෙහි අනුසස් නැවත නැවත මෙනෙහි කිරීම
5. ත්‍යාගානුස්සති - තමාගේ පරිත්‍යාගශීලී බවේ අනුසස් නැවත නැවත මෙනෙහි කිරීම
6. දේවතානුස්සති - දෙවියන් සතු ගුණ තමාට ද ඇති බව නැවත නැවත මෙනෙහි කිරීම
7. මරණානුස්සති - තමා මරණයට නියම වී ඇත යන්න නැවත නැවත මෙනෙහි කිරීම
8. කායාගතාසති - හුස්මට සිත එකඟ කිරීම
9. ආනාපානසති - හුස්මට සිත එකඟ කිරීම
10. උපසමානුස්සති - නිවන අරමුණු කොට සිත හික්මවීම, නිවනේ ගුණ මෙනෙහි කිරීම
පින්වතුනි, දැන් ඔබට වැටහේවි බෞද්ධ භාවනා වර්ග කිහිපයක් ඇති බව.
1. සමථ භාවනාව
2. විදර්ශනා භාවනාව
3. අනුපස්සනා භාවනාව
4. අනුස්සති භාවනාව
සමථ භාවනාව
සමථය සියලු භාවනාවන්හි අඩංගු ලක්ෂණයක් කිවහොත් එහි වරදක් නැත. මන්දයත් සියලු භාවනා ක්‍රමවල සිත පහන් කරන ලක්ෂණය ඇති බැවිනි.
බොහෝ දෙනෙක් සමථ භාවනාව මහ බරක් කොට ගනිති. නොයෙකුත් පූර්ව කෘත්‍ය කොට බියෙන් හා සැකයෙන් යුතුව සමථයට යොමු වෙති.
එහෙත් එක අරමුණක් තෝරා ගැනීම, සිත එම අරමුණ මත නැවත නැවත යෙදවීම, සිත ඒ අරමුණ මත බැඳ තැබීමට උත්සාහ කිරීම, වෙනත් අරමුණු නොසලකා හැරීම යන සරල ක්‍රියා පිළිවෙත බුදුන් වදාළ නියම සමථ භාවනාවයි.
පින්වත් ඔබට සමථය හෙවත් සමථ භාවනාව වැඩීමෙන් අත්වන වාසි රැසකි.
1. චිත්ත පීඩා දුරු කරයි.
2. කායික, මානසික රෝග දුරු කරයි.
3. අධිමානසික බල ලබා දෙයි.
4. සමවත් සුවය ලබා දෙයි.
5. සත්‍යාවබෝධයට යොමු කළ හැකි වනු පිණිස සිත ශක්තිමත් කරයි.
සමාධිගත වන ආකාරය
සමාධිගතවීම සහ භාවනා කිරීම සම්බන්ධව බුදුන් වහන්සේ විසින් වදාළ කරුණු ඉතා පැහැදිලිය. නිරවුල්ය. උන්වහන්සේ ලබාදුන් එවන් උපදෙස් තරම් ප්‍රමාණයක් අන්කිසි යෝගියකු විසින් සෙස්සන් හට ලබාදී නොමැති බව සහතිකය.
පින්වතුනි, ඔබේ සිත සමාධිගත කළ හැකි ආකාර දෙකකි.
1. ප්‍රතිවිරුද්ධ ධර්ම මැඬලීම
2. සියලු නිමිති (අරමුණු) අත්හැරීම
ප්‍රතිවිරුද්ධ ධර්ම මැඬ පැවැත්වීම ඉතා සරලය. භාවනා නිමිත්ත නැවත නැවතත් සිතට කාවැද්දවීම සහ අනෙකුත් සියලු සංඥාවන් සහ වේදනාවන් නිමිති ලෙස නොගැනීම මෙයින් අදහස් වේ.
එහෙත් අනෙකුත් නිමිති ප්‍රතික්ෂේප කළ යුතුය යන්න මෙයින් අදහස් නොවේ. ඒ මත සිතුවිලි ගොඩනැඟීම නොකළ යුතුය යන්න මෙයින් අදහස් වේ.
උදා:- ඔබ භාවනා කරන විට කනට මිහිරි ශබ්දයක් ඇසීමට ඉඩ ඇත. කවුරුන් හෝ ඔබට කතා කිරීමට ඉඩ ඇත. ‘ශබ්දය’ ඇසෙන්නට අරින්න. සිත ඒ වෙත යොමු නොකර සිටින්න. යන උපදේශ දෙක මෙහිදී අනුගමනය කළ යුතුය. එය ප්‍රතිවිරුද්ධ ධර්ම මැඬ පවත්වන ආකාරයයි.
එසේ නොමැතිව ශබ්දය සිතෙන් ප්‍රතික්ෂේප කිරීම අවශ්‍ය නොවේ. එලෙස බාහිර සංවේදන ප්‍රතික්ෂේප කිරීම අවශ්‍ය වනුයේ ඉහළ සමාධීන්ට පිවිසීමට අවශ්‍ය විටදීය.
ජීවිතය පිළිබඳ උපේක්ෂාවෙන් සිතන, මහන්සියෙන් ලැබුණා වූ මේ ජීවිතය බුද්ධියෙන් ජීවත්කරන්නට උත්සාහ දරන ඔබට මේ භාවනා ක්‍රම වටහා ගැනීම අපහසු නොවේ. ජීවිතයට නිසි වටිනාකමක් ලබාදීමට යම් තරමකට හෝ භාවනාවක නිරත විය යුතුය.
2019/08/14 තරුණි බලන්න