වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
නරක දේ නරක විපාක දෙන බව නිතර සිහි කරන්න
මෙලොව ජයගන්නා තැනැත්තා දෙලොවටම පින්කර ගනී
ධර්මය යනු අප ජීවත්වන විශ්වයේ ධර්මතාව අවබෝධ කර ගැනීමයි. එමෙන්ම දුක, ප්‍රීතිය බවට පරිවර්තනය කරන ක්‍රමය අවබෝධ කර ගැනීමයි.
දුක; ශක්තියක් ලෙස දකිමින් එය සාර්ථකත්වය සඳහා ගෙන යාමයි. මේ සා ඔබට අවබෝධයක් ගෙන හැර දැක්වීම තරුණී සදහම් සෙවණ විශේෂාංගයේ අරමුණයි.
ඉදින් පින්වත්නි, ගසකට පොහොර එක්කළ විට එය අතුරිකිලි ලියලා මල්ඵල හටගත යුතුය. එසේ නොවුණහොත් එහි ඇත්තේ පොහොර ලෙසට නම් කළ ව්‍යාජ ද්‍රව්‍යයකි. එලෙසම ධර්මය ද ජීවිතයට එකතුවන විට ආශ්චර්යවත් පරිවර්තනයක් අත්විඳීමට හැකි විය යුතුය.
ධර්මය යනු තමා තුළින් අත්විඳිය හැකි දෙයකි. මුල, මැද, අග හේතුඵල සම්බන්ධය දැකිය හැකි දෙයකි.
එසේනම් පින්වත් ඔබට බුද්ධිය ඉස්මතු කරගෙන දියුණුවත්, සාර්ථකත්වයත් නිවන් මඟත් ලබා ගැනීමට උනන්දු විය යුතුයි.
මෙලොව දියුණුව ලබන තැනැත්තා
පින්වතුනි, ලොව වසන සත්ත්ව සමූහයා අතර මිනිසා තරම් උසස් කෙනෙක් තවත් නැති තරම්.
මේ මිනිසා සියලුම සතුන්ගෙන් උසස් වූ මුත් සියලු සතත්වයන්ගේ ස්වභාවයන් ද ඔහු තුළ පවත්නා බව නොරහසකි. එහෙත් ගුණ ධර්ම නිසා මිනිසා ඒ සියල්ලටම වඩා අතිශ්‍රේෂ්ඨය.
ඇතැම් විට මිනිසුන් තුළ දෙවියන් හට අයිති ගතිගුණද ඇතැම් මිනිසුන් තුළ බ්‍රහ්මයන් හට අයත් ගතිගුණ ද ඇතැමුන් තුළ තිරිසන් සතුන්ට අයත් ගතිගුණ ද ප්‍රේතයන්ගේ ගතිගුණ ද ඇති බව පෙනී යයි.
ලෝකයෙහි අති දුර්ලභ කරුණු අතර මිනිසත් බව ලබා ගැනීම ඉතාම අමාරු වූවකි.
තවද භවත්‍රයෙහි දිව්‍ය බ්‍රහ්මාදී අන් එකදු සත්ත්වයකුට නොලැබිය හැකි උසස් වූ ශ්‍රේෂ්ඨ වූ ධෛර්ය ය සම්පන්න වූ සිතක් ඇති තැනැත්තා මිනිසාමය.
ඔබ මේ මිනිස් ගතිගුණ තබා ගනිමින් මෙලොව දියුණුව මෙන්ම පරලොව දියුණුව ද ඇතිකර ගත යුතුයි.
ලොව්තුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේ මිනිසාට දියුණුව ලබා ගැනීම පිණිස කරුණු සතරක් දේශනා කළහ.
1. උට්ඨාන සම්පදා
2. ආරක්ඛ සම්පදා
3. කල්‍යාණ මිත්‍රතා
4. සමජීවිකතා
උට්ඨාන සම්පදා
ගිහියන් වශයෙන් මෙලොව හැම කෙනකුටම දියුණු විය හැකියි. අලසබවෙන් තොරව ජීවත්වීම තුළින් ඔබට ඒ උට්ඨාන සම්පදාවට ළඟාවිය හැකියි.
බුද්ධ දේශනාවේ සඳහන් පරිදි යමෙක් යම් කර්මාන්තයකින,් යම් රක්ෂාවකින් ජීවිකාව ගෙන යයි ද, කිසියම් ශිල්පයකින් හෝ දිවි පවත්වාගෙන යයි ද ඒ ඒ නියම කාලයෙහි ඒ ඒ කර්මාන්ත කරන්නට සුදුසු යයි සිතා උපාය දැන ගනී ද හෙතෙම උත්සාහ වන්තයෙකි.
උත්සාහය නිසා දක්ෂයකු විය හැකියි. එතුළින් මෙලොව දියුණුව ඇතිකර ගත් තැනැත්තා පරලොව දියුණුවද ඇතිකර ගනී.
ආරක්ඛ සම්පදා
මෙලොව දියුණුව ලබන්නට ඔබ ඊළඟට කළ යුතු වන්නේ යමෙක් උත්සාහයෙන් වස්තුව සපයා ගතහොත් එය ආරක්ෂා කර ගැනීමයි.
මේ පිළිබඳ බුද්ධ දේශනාවේ කියැවෙනුයේ, යම්කිසි කුල පුත්‍රයකු උට්ඨාන වීර්යයෙන් ලැබුවා වූද, දෙඅත් බලයෙන් රැස්කරන ලද දහදිය වගුරුවා සපයන ලද ධාර්මික වූ දැහැමින් ලද්දා වූ උපභෝග පරිභෝග වස්තුව වෙත් ද එය රැකගැනීමට, ආරක්ෂා කිරීමට මහත් වෙහෙසක් දැක්වීම ආරක්ඛ සම්පදා වන බවයි.
ධාර්මිකව සපයාගත් වස්තුව ධාර්මිකව ආරක්ෂාකර ගැනීම මින් කියැවේ. මෙහිදී ඔබ තේරුම්ගත යුතු කරුණක් වේ. එනම් තෘෂ්ණාවෙන් තොර රැස්කිරිමයි.
කල්‍යාණ මිත්‍රතා
ඇසුරට සුදුසු මිතුරන් පිළිබඳ මින් කියැවේ. මේ කලණ මිතුරන් සොයා ගැනීම අති දුෂ්කරය.මේ ලොව යම් කුලපුත්‍රයෙක් ගමක හෝ නියම් ගමක වෙසේ ද එහි යම් ගෘහපතියෙක් හෝ වැඩුණ ස්වභාව ඇති වයසින් බාල වූ හෝ වැඩුණ ස්වභාව ඇති වයසින් වැඩී සිටියාවූ හෝ අය වෙත්ද, ඔහු ශ්‍රද්ධාවෙන් ද, ශීලයෙන් ද, ත්‍යාගයෙන් ද, ප්‍රඥාවෙන් ද යුක්ත වූවා වූද හෙතෙම කල්‍යාණ මිත්‍රයෙකි. මෙලෙස වූ ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා යන උසස් ගුණ ධර්මයන්ගෙන් යුත් පුද්ගලයන් නිතර ආශ්‍රය කිරීම නිසා මෙලොව දියුණුවට පත්වන බව නොරහසකි.
ශ්‍රද්ධා යනු තුනුරුවන් කෙරෙහි විශ්වාසයයි. ශීලය යනු සිත, කය, වචනයේ සංවරයයි. ත්‍යාග යනු පරිත්‍යාගශීලී බවයි. ප්‍රඥා යනු කර්ම විපාක හරිහැටි දැනීම හෙවත් නුවණින් විමසා කටයුතු කිරීමයි. මෙවන් ගුණ ධර්මවලින් යුක්ත කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම ඔබේ දෙලොවම යහපත සලසයි.
සමජීවිකතා
යමෙක් අය වැය දැන වියදම් කරයි නම් හේ දියුණුවන පුද්ගලයෙකි. එසේම අමාරුවෙන් උපයාගන්නා ලද වස්තුව ලෙහෙසියෙන්ම වැනසී යන දොරටු සතරකි.
1. ස්ත්‍රීන් කෙරෙහි ලොල් බව.
2. මත්පැන් සඳහා ගිජුකම.
3. දූ කෙළියෙහි කැමැත්ත.
4. පාප මිත්‍රයන් ඇසුර.
මේ කරුණු සතරේ ඇලීගැලී කටයුතු කරන්නා වැඩිකල් නොගොස් ඉතා ඉක්මනින් පිරිහීමට පත්වෙයි. මෙලොව අපායක් කර ගනී.
පින්වතුනි, නරක දේ නරක විපාකම දෙන බව නිතර මෙනෙහි කර ගන්න.
කර්ම විපාක විශ්වාසය ඇතිකර ගන්න. තමා වෙතින් උපනූපන් හොඳ අරමුණක්ම ප්‍රඥාවෙන් පරිපාලනය කළ යුතුයි. ශ්‍රද්ධාවෙන් පරිපාලනය කළ යුතුයි. ශ්‍රද්ධාවෙන් හා වීර්යයෙන් හැම හොඳ අරමුණක්ම දියුණු කරගත යුතුය. මෙසේ කටයුතු කරන්නා මෙලොව මෙන්ම පරලොව ද දියුණුවට පත්වනු ඒකාන්තය.