පින්කම් කළ පසු ඒවා ප්‍රසිද්ධ කිරීම සුදුසුද?

ජූලි 28, 2021

 

මේ දිනවල බොහෝ දෙනා අපෙන් අසන ප්‍රශ්නයක් වන්නේ පින්කම් කළ පසු, ඒවා මුහුණ පොත මගින් හෝ වෙනයම් ආකාරයකට හෝ ප්‍රසිද්ධ කිරීම ධර්මානුකූලව හරිද? වැරැදිද? යන්න කියාදෙන ලෙසයි.

 

එයට කෙටි පිළිතුර වන්නේ හැංගි හැංගි පින්කම් නොකරන්න. කරන පිංකම් හැකිතාක් අන්‍යන්ට කියන්න. මුහුණ පොතේ පමණක් නොවේ, පුළුවන්නම් පත්තරේට හෝ දමා අන්‍යයන් දැනුවත් කර හැමෝටම ඒ කුසල් අනුමෝදන් වෙන්නට අවස්ථාව සලසනවානම් කොපමණ හොඳද යන්නයි.

අතීතයේ වේවා වර්තමානයේ වේවා පින්කම් කරන බොහෝ දෙනාට සමාජයෙන් කීර්ති ප්‍රශංසා ආදිය ගලාගෙන ඒම සාමාන්‍ය දෙයකි. කීර්ති ප්‍රසංසාදිය දන් දීම නිසා ලැබෙන දිට්ඨධම්මවේදනීය කුසල විපාකයකි. සමහර ඇත්තන්ට එය උහුලන්නේ නැති බව පෙනේ. එයට හේතුව පින්කම් කළ පින්වතුනගේ ඒ පින්කමේ වරදක්වත්, ධර්මයේ වරදක්වත්, අනෙක් පින්වතුනට කළ පින්කම් දැනුම් දීමේ වරදක් වත්, ආනිසංසයේ වරදක්වත්, ඔවුන් කළ හොඳ යහපත් විට ලැබෙන කීර්ති ප්‍රශංසා නම්බුනාම ආදිය ලැබීමේ වරදක් වත් නොවේ. ඔවුනට ඇත්තටම එය උහුලන්නේ නැත්තේ ඔවුනට ඇති වූ ඊර්ෂ්‍යාව නිසා ය.

වරක් භාග්‍යවතුන් වහන්සේට වාත ආබාධයක් ඇති විය. දේවහිත බමුණෙක් භාග්‍යවතුන් වහන්සේගේ අසනීපය සුව වන්නට උපවාන තෙරුන් වහන්සේ අත උණු දිය සහ හකුරු යැවුවේ ය. ඒවා වැළඳු බුදුරජාණන් වහන්සේගේ වාත ආබාධය සුව විය. මේ සිදුවීම අනිත් භික්ෂූන් වහන්සේලාද ගිහි උපාසක උපාසිකාවන් ද දැනුවත් විය. හැමෝම අතරේ ඔහුට ප්‍රසංසා කරමින් මේ ගැන කතාබහක් ඇති විය. බමුණාගේ කීර්තිය හැම තැනම පැතුරුණේය. බමුණා පූජා කර තිබුණේද උණු වතුර සහ හකුරු පමණි. ඒ හැමෝම අතරේ කතා වුණේ "දේවහිත, විසින් බුදුරජාණන් වහන්සේට බෙහෙත් පූජා කළා. එයින්ම රෝගය සුව වුණා. හරිම පුදුමයක්. දේවහිත බමුණාගේ දානය පරම දානය යි." බමුණාගේ කීර්ති ඝෝෂාව හැමතැනම පැතිර ගියේ ය.

මේ ගැන දැන ගත් සිව්වනක් පිරිසේ කවුරුවත් "අපෝ! මේ වතුරයි හකුරුයිනේ දීලා තියෙන්නේ. මහා ලොකු දෙයක් දීලා නෑනේ" කියා කීවේ නැත. ඒ හැමෝම පත්ති පත්තානුමෝදනා යන කරුණු ගැන දැනගෙන සිටියේ ය. දේව හිත බමුණාට ඇතිවන කීර්තියට කවුරුත් ඊර්ෂ්‍යා කළේ නැත. මෙවැනි කරුණු ත්‍රිපිටක, අටුවා ටීකාදිය පුරා විශාල වශයෙන් සඳහන් වේ.

ඊර්ෂ්‍යාව ඇති වන්නේ අකුසල් සිත් අතරේ ඇති දෝමනස්ස සහගත සිතේ පමණි. තමාට වඩා හොඳින් කණ බොන අය, අඳින පළඳින අය දකින විටදී ද, හොඳ රථ වාහන වලින් යන එන අය දකින විටදී ද, ගරු බුහුමන් ලබන අය දකින විටදී ද, බොහෝ දෙනාට ඊර්ෂ්‍යා සහගතව ද්වේශ මූල සිත් ඇති වේ. නිතර අනුන්ගේ නුගුණ සොයමින්, කියමින්, සිතමින් ඉන්නා ඇතැමුන්ට එක දිනක් තුළ බොහෝ ද්වේශ මූල සිත් පහල වේ.

“පර සම්පත්තිං ඉස්සතීති - ඉස්සා” අනුන්ගේ යස ඉසුරු ඉවසන්නේ නැති ස්වභාවය ඊර්ෂ්‍යාව වේ. අනුන්ගේ සැපතට, අනුන්ගේ සම්පත්තියට විරුද්ධ ස්වභාවය ඊර්ෂ්‍යාව ලෙස හඳුන්වනු ලැබේ.

මේ ඉර්ෂ්‍යාව ඇති වූ විට බොහෝ දෙනා, අනිත් උදවියගේ යස ඉසුරු, සම්පත්, කීර්ති ප්‍රශංසා ඉවසන්නේ නැත. එහි වරද ඇත්තේ පින්කම් කළ උදවිය ගේ නොවේ. එවැනි පින්කම් නොකරන, කීර්ති ප්‍රශංසා කිසිවක් ඇතිවන යහපත් දේවල් නොකළ, අකුසල් සිත් ම ඇති වන විදිහට ජීවත් වන, අකුසල කර්ම වලින්ම ජීවිත පුරවා ගත් අයගේ මේ ජීවිතයේ හෝ අතීත භවවල හෝ කරගත් අකුසල කර්මවල විපාක වලට කුසලයේ හැසිරෙන අය කුමක් කරන්නද?

ඉරිසියාව ඇති වූ අය, යහපත් දේ වලට නින්දා අපහාස කරන විට, නුවණැත්තෝ ඒවා සමාදන් නොවී සිටින්නට වග බලා ගත යුතු ය. ඔවුන් වපුරා ගත් කෙතේ අස්වනු අයිති වැපුරූ අයටම වේ. දස පුණ්‍යක්‍රියා වල පත්ති පත්තානුමෝදනා ලෙස අංග දෙකක් තිබේ. "පත්ති" කියා කියන්නේ පින් දීමයි. තමා විසින් කළ පින අනුන්ට අනුමෝදන් කරවීම, අයිති කිරීම පින් දීම වේ. ප්‍රාප්තිදාන ලෙස හඳුන්වන්නේද මෙය යි. ලෝකයෙහි වෙසෙන සැප ඇති, නැති සියලුම සත්ත්වයෝ අපගේ මේ පින අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් සැපතට පැමිණෙත්වා. ලෙස පින් දිය යුතුය.

තමා කළ පින්කම් අනෙක් අයට කියා, ඔවුන් ද ඒ පින් සතුටින් අනුමෝදන් වන තත්ත්වයට පත්කිරීම පත්තානුමෝදනා වේ. සත්පුරුෂයෝ ශ්‍ර‍මණ බ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට දන් දී පින් සිදු කර ගනිති. එසේ කිරීම නිසා ඔවුන්ගේ කීර්තිය ද පැතිරෙයි. ඒවා ලබන ප්‍ර‍තිග්‍රාහකයෝ ඒ පින්වතුන්ගේ ප්‍ර‍ත්‍යය ලබා සැපවත් ව පහසුවෙන් ජීවිතය පවත්වයි. අතිපූජනීය රේරුකානේ චන්දවිමල නායක මාහිමිපාණන් වහන්සේ, ත්‍රිපිටක අටුවා දියෙන් ගෙන මේ ගැන කළ පැහැදිලි කිරීමක්, බෞද්ධයා ගේ අත්පොත නම් පොතේ සඳහන් වේ. පහත එම කොටස උපුටා දක්වනු ලැබේ.

 

"අනුන්ගේ සම්පත් ඉවසන්නේ නැති ස්වභාවය වන ඊර්ෂ්‍යාව සත්ත්වයන් තුළ දීර්ඝ කාලයක පටන් පැවත එන පාපයෙකි. ඒ නිසා සෑම දෙනාට ම දන් දෙන සත්පුරුෂයන්ට වන පුණ්‍යලාභය ගැන හා ප්‍ර‍තිග්‍රාහකයන්ට වන ප්‍ර‍ත්‍යය ලාභය ගැන ද සතුටු විය නො හැකි ය. එබැවින් ඊර්ෂ්‍යාව ඇතියෝ දායක ප්‍ර‍තිග්‍රාහක දෙපක්ෂයට ම නින්දා කරති. පින් අනුමෝදන් නො වෙති. ප්‍ර‍තිග්‍රාහකයන්ට වන ලාභය ගැන අසත්පුරුෂයෝ තුළ වඩාත් ඊර්ෂ්‍යාව ඇති වේ. එබැවින් ඔවුහු වඩාත් ප්‍ර‍තිග්‍රාහකයන්ට නින්දා කෙරෙති. ලාභය වැළැක්වීමට තැත් කෙරෙති. පින් අනුමෝදන් වීම වනාහි ඊර්ෂ්‍යාවට ප්‍ර‍තිපක්ෂ පුණ්‍ය කර්මයෙකි. එ බැවින් එය ලැබිය හැක්කේ දායක ප්‍ර‍තිග්‍රාහක දෙපක්ෂයට ඊර්ෂ්‍යාව නො කරන්නා වූ සත්පුරුෂයන්ට පමණකි. යම් කිසිවකු පිනක් කොට අනුමෝදන් කරවන කල්හි ඊර්ෂ්‍යා විරහිත පිරිසුදු සිතින් එය අනුමෝදන් විය හැකි සත්පුරුෂයාට පින් අනුමෝදන් වීමේ කුශලය ලැබේ. අනුන් පිනක් කරනු දකින අසන කල්හි පින් නුදුන්නේ ද ඒ පින අනුමෝදන් විය හැකිය. කෙනකු භික්ෂූන්ට දන් දෙනු දුටු කල්හි මේ සත්පුරුෂයා දන් දී පින් සිදු කර ගන්නේ ය. මොහු නිසා භික්ෂූන් වහන්සේ ද සුවපත් වන්නාහ. මොහු ද පින් සිදුකර ගනී වා, භික්ෂූන් වහන්සේ ද මොහු නිසා සුවපත් වෙත්වායි සිතන තැනැත්තා හට පින් අනුමෝදන් වීමේ කුසලය ලැබේ. පින් අනුමෝදන් වීමෙන් වන්නා වූ කුසලය අනුමෝදන් වන කුසලයාගේ කුඩා මහත්කමේ සැටියට ද අනුමෝදන් වන තැනැත්තා කෙරෙහි ඒ අවස්ථාවේ දී ඇති වන ශ්‍ර‍ද්ධාදි ධර්මයන්ගේ සැටියට ද කුඩා මහත් වේ. එහි විපාකය පරදත්තුපජීවික ප්‍රේතයන්ට හා ඇතැම් භූතයන්ට එකෙණෙහි ම ලැබේ. සෙස්සන් සුදුසු අවස්ථාවල දී ලැබේ."

ජාතක පොත් වහන්සේ තුළ, අපදාන, ථේර, ථේරී ගාථාවල, මුළු මහත් ත්‍රිපිටකයේ විවිධ තැන්වල, අතීත උතුමන් සිදුකළ මහනීය පින්කම් ගැන සඳහන් වේ. අතීත රජවරු සිටුවරු සිව්වනක් පිරිසේ බොහෝ පින්වතුන් සිදුකළ පිංකම් සහ ඒවායේ විපාක ද සඳහන් වේ. ඒ සියලු පින්කම් එසේ සඳහන් කරන්නට අතීත උතුමන්ට හැකියාව තිබුණේ ඊර්ෂ්‍යාව නොතිබුණු නිසා ය.

 

ඔබ යම්කිසි දවසක රහත්ව, ඒ රහතන් වහන්සේගේ අනුපාදිසේස පරිනිර්වාණය දක්වාම නාමරූප ධර්ම වලට කර්මය ප්‍රත්‍ය වන බව තේරුම් ගෙන පින්කම් කරගත යුතුම ය. පරිවාර සම්පත් ආදී බොහෝ විපාකයෝ ලබන්නට ඔබ කළ පින් අනෙක් අයට කියන්න. මුහුණු පොතේ දමන්න. වෙනත් ක්‍රම වලටත් දැනුම් දෙන්න. අන්‍යන්ව කුසලයේ සමාදන් කරවන්න. අනෙක් පින්වතුන්ට කුසල් සිතක් ඇති වීමට මොහොතක් හෝ ඔබ උපකාරයක් වූවොත්, ඒ කුසල් සිත් ඇති කර ගත් උදවියටත් කුසල විපාකම ලැබේ. ඒ බව තේරුම් ගෙන වඩ වඩාත් පිං කම් කරන්න. කළ පින්කම් අන්‍යන්ට කියන්න. මුහුණු පොතෙත් දමන්න. මුහුණු පොතේ නොදැමිය යුත්තේ යුත්තේ කුසල් වැඩෙන ඒවා නොවේ. අකුසල් වැඩෙන කෙළෙස් වැඩෙන ඒවා වේ.

 

තෙරුවන් සරණයි.

 

අනුශාසනාව

පූජණීය , තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ

මිණිපුර අමාශාන්ති තපෝවනය,

පැල්වාඩිය, රත්නපුර.

 

සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ