දුගියන්ටත් ධනවතුන්ට සේ පින්කම් කළ නොහැකි ද?

ජනවාරි 10, 2022

 

අතීතයේ දඹදිව අසය්හ නම් සිටුවරයෙක් සිටියේය. එතුමා ඉතා ගුණවත් අයකු විය. නුවර සතර දිශාවේ දන්හල් ඉදිකරවා දුගීමගී, යාචක පිරිසටත්, ශ්‍රමණ බමුණන්ටත් නිරතුරු දානය පිරිනැමීය.

 

ඉතා උත්කර්ෂවත් අන්දමින් බොහෝ කලක් මේ දන් දීම සිදුවිය. ප්‍රමාණ කළ නොහැකි තරම් පිරිසකගේ කුසගිනි නිවා බොහෝමයක් පින් රැස්කර ගැනීමට සිටුතුමාට හැකිවිය.එතුමා මරණින් මතු තව්තිසාවෙ දිව්‍ය රාජයෙකුව උපන්නේය.

සිටුතුමාගේ දාන ශාලාවකින් දිනපතා තම කුස පුරවා ගන්නා වියපත් හිඟන මිනිසෙකු සිටියේය. දුගීව වැරහැලි හැඳ සිටියත් ඔහුට කරුණාබර හදවතක් තිබිණි. සියතින් සිත්පුරා දන් දී පිං රැස්කර ගන්නට ඔහුට හැකියාවක් නොමැති වුවත් පිංසිතෙහි අඩුවක් නොවීය.

 

තමාගෙ කියා කිසිවක් නොමැති ඔහු දුර බැහැරින් පැමිණෙන සියලු දුගී මගී යාචකයන්ට අඬගසා මහ සිටුතුමාගේ දානශාලාව ඇති දිශාව පෙන්වීය.

"එන්න එන්න අපේ මහ සිටුතුමාගේ දානශාලාව අන්න අර දිශාවෙ තියෙන්නෙ. ඇතිපුරා කෑමබීම තියෙනවා. කුසපුරා කන්න පුළුවන්. බඩගින්නෙ ඉන්න එපා, ඒ පැත්තට යන්න.."

කියමින් හැම දෙනාවම ඒ දිශාවට යොමු කළේය.

වියපත් වෙලා උන්නු ඔහු ටික දවසකින් මරණයට පත් විය. ගතකළ දිවිය කොයිතරම් දුක්බර එකක් වුවත්, මරණින් මතු ඔහු උපන්නෙ භූමාටු දේවතාවෙක් වෙලා. අවුරුදු අනූ ලක්ෂයක් පමණ ආයුෂ ඇතිව උපන් ඔහුගේ විශේෂත්වයක් තිබුණි. එම විශේෂත්වය තමයි දේවතාවාගේ දකුණු අත සිතූ පැතූ සම්පත් ලබාදෙන බලයකින් යුක්ත වුණා. තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් සිහිකොට දකුණත දිගුකළ විට ඒ පැතූ සියලු දෑ ඔහු ඉදිරියේ පහළ වුණා.

මෙයට හේතුව වුණේ කුසගින්නෙ විඩාපත්ව පැමිණෙන අසරණ මිනිසුන්ට කුසපුරවා ගැනීම සඳහා සතුටින් අතදිගු කර දානශාලාව පෙන්වීමේ පින.

 

කිසිම මුදලක් වැය නොකර මහත්ඵල ලබාදෙන උතුම් පිනක් ඔහු කරගෙන තිබුණා.

බොහෝ දෙනෙක් සිතා සිටින්නෙ ධනය දේපළ නොමැතිව පින්කම් කරන්නට බැහැයි කියලා. නමුත් ඒක එතරම් නිවැරැදි දෙයක් නෙමෙයි. පින බලවත් වෙන්නෙ වියදම් වූ මුදල වැඩි වූ විට නෙමෙයි , සිතේ කුසල චේතනාව බලවත් වූ විටයි.

 

අප්පස්මෙකෙ පවෙච්ඡන්ති

බහුනෙකෙ නදිච්ඡරෙ,

අප්පස්මා දක්ඛිණා දින්නා

සහස්සෙන සමං මිතා.

 

යනුවෙන් මච්ඡරී සූත්‍රයේ සඳහන් වෙනවා. එයින් අදහස් වන්නෙ,

" දුගියකු විසින් තමන්ට ඇති ස්වල්පයකින් දානයක් දේ ද, එය ධනවතකු දහසක් වැයකොට දෙන දානයට සමාන වේ" යන්නයි.

අගහිඟකම් ඇති අයකු දෙන කුඩා දානය හෝ ඉතාම ශ්‍රද්ධාවෙන් , සිතේ සතුටින් අවබෝධයෙන් සිදුකරන්නේ නම් එහි ආනිසංස අප්‍රමාණ වේ. එය ඉතා උසස් පින්කමකි.

අසරණ සතකුට බත් පිඬක් දන් දීමට මහා ලොකු වෙහෙසක් ගත යුතු නැත. එම දානයත් අවබෝධයක් ඇතිව සතුටින් කරන්නේ නම් උසස් පිනක් බවට පත්වේ. ආහාර ගෙන අවසන්ව ඉඳුල් වතුර ටික පණුවන් ආදී සතුන්ට ආහාරයක් වේවායි සිතා ගවර වලකට හෝ දමන්නේ නම් එයද භවයන් සියයකට ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලබාදෙන පිනක් බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කොට තිබේ. එසේ තිබියදී දුප්පත්ව සිට පින්කම් කරන්නට නොහැකියාවක් කොහිද?

 

අනෙක් අතට පින්කම් කළහැකි එකම ක්‍රමය දන්දීම නොවෙයි. ශ්‍රී සද්ධර්මය තුළ දස පුණ්‍යක්‍රියාවක් පෙන්වා දී තිබේ.

 

ඒවා නම්,

 

1.දානය

2.ශීලය

3.භාවනාව

4.අපචායන

5.වෙය්‍යාවච්ච

6.පත්තිදාන

7.පත්තානුමෝදනා

8.ධම්මසවණ

9.ධම්ම දේශනා

10.දිට්ඨිජ්ජුකම්ම

යනු ඒ දසයයි.

 

දානයට වඩා ඉතා උසස් ආනිසංස ගෙන දෙන පින්කම වන්නේ සිල් රැකීමයි. එයට මුදල් වැය වන්නේ නැත. සසර පුරා මහාභෝග සම්පත් ඇති ධනතකු වීම, සීලයක් රැකීමෙන් ලැබෙන එකම එක ආනිසංසයකි.

අපචායන යනු ගරු කළ යුත්තන්ට ගෞරව දැක්වීමයි. එදිනම මැරී අපාගත වන්නට සිටි චණ්ඩාල මැහැල්ලක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීම නිසා අපායෙන් මිදී දෙව්ලොව උපන් බව චණ්ඩාලී විමාන වස්තුවේ සඳහන් වේ. මට්ටකුණ්ඩලී දෙව්ලොව උපන්නේ ඔත්පලව මරණාසන්නව සිටියදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට සිතින් නමස්කාර කිරීමේ පිනිනි.

වෙය්‍යාවච්ච යනු උතුමන්ට වැඩිහිටියන්ට වතාවත් හා උපස්ථාන කිරීමයි. එය ද පින්සිත් ඇති ඕනෑම කෙනකුට කළ හැකි උසස් පිනකි.

මිලිඳු රජතුමා ඉතා නුවණැතිව මහ රජකුව උපන්නේ විහාර මළුව ඇමඳූ කසල ටික බැහැර දැමීම යන එකම පින්කම නිසාවෙනි. මෙම වෙය්‍යාවච්ච පින්කම් පුරා මඝ මානවක තුමා ශක්‍ර දිව්‍ය රාජයාව ඉපිද සසර පුරාත් අප්‍රමාණ සම්පත් ලැබීය.

තමන් කළ පින අන්‍යන්ට අනුමෝදන් කිරීම පත්තිදානයයි. අනුන් කළ පින්කම් දැක සතුටු වීම හෙවත් අනුමෝදන් වීම පත්තානුමෝදනා පින්කමයි.

 

දුගී අයකු ධනවතුන් සිදුකරන මහා පින්කම් දැක සාදු කියමින් සතුටින් එම පින් අනුමත කරන්නේ නම් එය පින් අනුමෝදන් වීමයි.එයින් එම මහා පින්කම්වල කොටස් කාරයෙක් බවට තමාත් පත්වේ. සසර පුරා බොහෝ ආනිසංස ලැබේ.

ධනවතුන්ගේ මහා පින්කම් දැක " ඔවුනට මෙන් අපට පින්කම් කිරීමට ධනය කොහිදැයි" දුක් වීම අකුශලයකි. එසේ නොකොට අනුන් කරනා පින දැක සාදු කියා සතුටින් අනුමෝදන් විය යුතුය.

 

ධර්මය ශ්‍රවණය කිරීම අටවැනි පින්කමයි. මෙලොව පරලොව දෙලොවම දියුණුවට හේතුවන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ශ්‍රී සද්ධර්ම මාර්ගයයි. බණ ඇසීම් මාත්‍රයෙන් පමණක් එම ජීවිතය තුළදීම සමහරු මහා ධනවතුන් බවට පත් වී තිබේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා ඉගෙනීමෙන් මෙලොව ජයගත හැකි මඟත්, පරලොව ජයගත හැකි මඟත් දෙකම දැනගත හැකිය.

 

තමා ඉගෙන දැනගත් ධර්මය අන්‍යන්ටත් කියා දීම (ධර්ම දේශනා) නම් නවවැනි පින්කමයි.

කෙටියෙන් හෝ යමෙකුට ධර්ම උපදෙසක් දෙන්නට හැකිනම් එය මෙලොව ඇති සියලු දන් පරදා දිනන උසස්ම දානයයි.

 

චක්‍රාවාටය පුරා ලොව්තුරා ,පසේබුදු, මහ රහත් උතුමන් වහන්සේලා අනන්ත ප්‍රමාණයක් වඩාහිඳුවා චතුමධුර පාත්‍ර පුරවා පුජා කිරීමේ මහා පිනටත් වඩා ධර්ම දේශනා පින උසස් හා බලවත් බව ධම්මපද අටුවාවේ දක්වා තිබේ.

දස වැනි පින්කම දිට්ඨිජ්ජුකම්මයයි. එනම් තමන්ගේ අවබෝධය පැහැදිලි ඍජු එකක් කරගැනීමයි. එය නිර්වාණය පිණිස ඉතා උපකාරී වේ.

 

"අප දුප්පත් ය. අපට පින්කිරීමට ධනය නැත. අප පින් කරන්නේ කෙසේද ?" ආදී ලෙස යමෙකුට සිතෙන්නේ ධර්මය නොදන්නාකම නිසයි. ඉහත දස පුණ්‍ය ක්‍රියාවන්ගෙන් බොහෝමයක් සිදු කිරීමට ධනවත් වීම හෝ දුගී වීම අදාළ නොවේ.

මේ පිංකම් කිරීමට සුදුසුම කාලයයි. ක්ෂණ සම්පත්තිය සහිත බුද්ධෝත්පාද කාලයේ කරන පින්කම්හි ආනිසංස බොහෝ ඉහළය.

පෙර අන්තර් කල්පයේ අවුරුදු විසිදහසක් පුරා මහා දන් දුන් අංකුර රජතුමා තව්තිසා දෙව්ලොව උපත ලබා සිටියේය. ගෞතම සම්බුද්ධ ශාසනය තුළ ඉන්දක නම් සිඟන්නෙක් තමාට ධනවත් නිවසකින් ලැබෙන බත්පිඬ අනුරුද්ධ මහ රහතන් වහන්සේට බෙදන්න යැයි කියා තමන් කුසගින්නේ සිටියේය. ඔහු ද මැරී තව්තිසාවෙ දිව්‍ය රාජයකුව ඉපදිනණි.

අවුරුදු විසිදහසක් සිල්වතුන් ගුණවතුන් නැති අබුද්ධෝත්පාද කාලයේ දන්දුන් දේවතාවාට වඩා ආනුභාවයෙන් හා සැපයෙන් ඇතුළු කාරණා හතකින් එකම බත් හැන්දක් දුන් ඉන්දක දේවතාවා බබළමින් අනෙක් දේවතාවාව අභිභවා සිටි බව ධර්මයේ සඳහන් වේ.

 

එබැවින් අබුද්ධෝත්පාද කාලයේ රජවරුන් දුන් මහා දන්වලටත් වඩා අද වර්තමානයේ දුගියෙකුගේ සිතේ ශ්‍රද්ධාවෙන් එකම භික්ෂුවකට දෙන දානය වුවද ඉතාම උසස් බව වටහා ගත යුතුය.

ගෙවී යන්නේ දිනයක් දිනයක් පාසා අප ලැබූ උතුම් මිනිසත් භවයේ ආයු කාලයයි. එබැවින් අපට හැකි පමණින් පින් ක්‍රියාවත් පුරමින් ධර්මාවබෝධය සාක්ෂාත් කිරීමට වෙරදැරීම නුවණැත්තන් විසින් අප්‍රමාදීව කළයුතුය.

 

 

සිරි උපාලි ධර්මාශ්‍රමයෙහි අනුශාසක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි ,

කුඩා කිවුල, කොට්ටුකච්චිය.

සම්බන්ධීකරණය- මධුර ප්‍රභාත් ගමගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.