වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ජීවිතයට නිවැරැදි ලෙස භාවනාව එක් කර ගන්නේ කෙසේද?
භාවනාව යනු බෞද්ධයන් අතර ඉතා ප්‍රචලිත දෙයකි. ලංකාවේ පමණක් භාවනාවට යොමු වූ බෞද්ධයන්ගේ සංඛ්‍යාව අති විශාලය. නමුත් අද අපට හිමිවී ඇති කාර්යබහුල ජීවන රටාවත් සමඟ භාවනාව ජීවිතයෙන් බොහෝ ඈත් වී ඇති බවක් පෙනේ. නමුත් සියලු කුසලයන් අතර අග්‍රතම කුසලය වන්නේ භාවනාවයි. දාන ශීල දෙකින් ලැබෙන අනුහස් සියල්ල හා ඉන් නො ලැබිය හැකි රූපාවචර, අරූපාවචර සම්පත් ද මාර්ගඵල ද ලබාගත හැක්කේ භාවනාවෙනි.
සරලවම කිවහොත් නිර්වාණයට ඇති ප්‍රධානතම මාර්ගය භාවනාවයි. එනම් සතර සතිපට්ඨාන ය, සතර සම්‍යක් ප්‍රධාන ය, සතර සෘද්ධිපාද ය, පංචේන්ද්‍රිය ය, පංච බලය ය, සප්ත බෝජ්ජංගයය, ආර්‍ය්‍යාෂ්ඨාංගික මාර්ගය ය යන මේ සත් තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම යනු ද භාවනාව ලෙස ද දැක්විය හැකිය. අන් ආකාරයකින් බෝධිපාක්ෂික ධර්මයෝ නොවැඩේ. එමනිසා නිවන කැමැති යමෙක් අනිවාර්යයෙන්ම කළයුත්තකි භාවනාව. මම වුවද පැවිදි වී සිටින්නේ ආරණ්‍ය සේනාසනයක නිසා භාවනාවේ ඇති වැදගත් බව හොඳාකාරවම දනිමි.
භාවනාව සමථ භාවනාව සහ විදර්ශනා භාවනාව වශයෙන් කොටස් දෙකක් ඇති බව ඔබ දන්නවා. විදර්ශනා භාවනාව යනු ප්‍රඥාව දියුණු කිරීම ය. ඒ සඳහා සිත එකඟ කරගත හැක්කේ සමාධියෙනි. ඒ සඳහා සමථය වැඩිය යුතුය. කලාතුරකින් දිනෙක පමණක් භාවනාවෙහි යෙදීමෙන් ද සමාධිය නො ලැබිය හැකි ය. සමාධිය වැඩෙනුයේ දිනපතා ස්වල්ප වේලාව බැගින් වුව ද ක්‍රමානුකූලව භාවනාවෙහි යෙදෙන තැනැත්තාට ය. නමුත් ගෘහණියකට හෝ රැකියාවේ යෙදෙන්නකුට භාවනා මධ්‍යාස්ථානයකට හෝ භාවනා පන්තියකට දිනපතා යාම අපහසුය. එමනිසා මෙයට ඇති හොඳම විකල්පය වන්නේ නිෙවසේ සිට භාවනා කිරීමයි. ගෘහණියකට තම සැමියා රැකියාවට ගිය පසු, දරුවන් පාසල් ගිය පසු ලැබෙන වෙලාව මෙයට භාවිත කළ හැකිය. ඒ සඳහා මුලදී පැය ගණනක් ගතකිරීම අවැසි නොවේ. විනාඩි 15ක් ආරම්භයට හොඳටම ප්‍රමාණවත්ය.
වර්තමානයේ ජීවත් වීමේදී අකුසල් සිදුවීමට ඇති ඉඩකඩ බොහෝය. සරලවම කිවහොත් පන්සිල් රැකගෙන ගිහි ජීවතයේ ජීවිත්වීම පවා අතිශයින්ම අභියෝගාත්මකය. ඒ නිසා බොහෝ දෙනකුට තම මරණින් මතු පරලොව ජීවිතය ගැන සාධාරණ වූ බියක් පවතී.
එසේ පරලොව බිය නැතිකර ගැනීම සඳහාත්, නිර්වාණ මාර්ගයට අත්‍යවශය භාවනාව වැඩීමත් සඳහා ඇති හොඳම විසඳුමක් ලෙස බුද්ධානුස්සති භාවනාව හැඳින්විය හැකියි.
බුදුරජාණන් වහන්සේගේ ගුණයන් අතුරෙන් යම් කිසි ගුණයක් නැවත නැවත සිතමින් සිත සමාධියට පැමිණවීම බුද්ධානුස්සති භාවනාව වේ.
බුදුරජාණන් වහන්සේගේ ගුණ ෙබාහෝ ඇත්තේය. අපගේ භාවිතයට පහසුව පිණිස බුදුරජාණන් වහන්සේ විසින්ම උන්වහන්සේගේ ගුණයන් කොටස් 9 කට බෙදා තිබේ. නව අරහාදී බුදුගුණ යනු ඒ වාය. බුද්ධානුස්සති භාවනාව කිරීමට පළමුව එම ගුණ 9යේ අර්ථය කටපාඩම් කරගත යුතුය.
1. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ, 1. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලූ කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. රහසින්වත් පව් නො කළ සේක. සියලූ පාපයන්ගෙන් මිදුන සේක. සියලූ ලෝ වැසියන්ගේ ආමිස පූජා,ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වූ හෙයින් අරහං වන සේක..
2. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු වූ චතුරාර්ය සත්‍යය ධර්මය ගුරු උපදේශ නැතිව ම අවබෝධ කොට නිමවා වදාළ වූ හෙයින් සම්මා සම්බුද්ධ වන සේක..
3. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විදර්ශනා ඥානාදි විද්‍යාවෙන් හා ශීලාදි චරණයෙන් ද සම්පූර්ණ වූ හෙයින් විජ්ජාචරණ සම්පන්න වන සේක...
4. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් මනාව දියුණු කොට අමා නිවනට පැමිණි හෙයින් සුගත වූ සේක.
5. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සකල ලෝකයන් අතැඹුලක් සේ අවබෝධ කොට ඒ සියලු ලෝකයෙන් නිදහස් වී ගිය හෙයින් ලෝකවිදූ වූ සේක.
6. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දමනය කිරීමට දුෂ්කර වූ මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, යක්ෂ, රාක්ෂ රාජාදීන් දමනය කරන හෙයින් අනුත්තර පුරිසදම්ම සාරථී වූ සේක.
7. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ නුවණැති දෙවියන්ගේ ද, නුවණැති මිනිසුන්ගේ ද එකම ශාස්තෘන් වහන්සේ වන හෙයින් සත්ථා දේවමනුස්සානං වූ සේක.
8. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරන ලද චතුරාර්ය සත්‍යය ධර්මය අන් අයට ද එලෙසින් ම අවබෝධ කරවූ හෙයින් බුද්ධ වූ සේක.
9. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අසිරිමත් සම්බුදු ගුණ දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් වූ හෙයින් භගවා වූ සේක.
මේ බුදු ගුණ වගන්ති නවය සිංහලෙන් හොඳින් පාඩම් කරගෙන බුද්ධානුස්සති භාවනාව කරන තැනැත්තා විසින් බුද්ධ වන්දනාව සඳහා අනිවාර්යයෙන්ම භාවිත කළ යුතුම ය. මෙම වගන්ති 9 කියා අවසානයේදී
“මේ නව වැදෑරුම් ගුණයෙන් යුක්ත වූ භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්ත්‍රයෙන් වඳිමි.” කියා කිව යුතුය.
නමුත් භාවනාව සඳහා වගන්ති නවයෙන් තමාගේ සිතට වඩා හොඳින් වැටහෙන තමා වඩා ප්‍රිය කරන එක් වගන්තියක් භාවිතා කළ යුතුය. ඉන්පසු තමා ප්‍රිය කරන බුදුරුවක් දෙස බොහෝ වේලාවක් හොඳින් බලා එය හොඳින් සිතට ගත යුතු ය. බුදු රූ සටහන අමතක නො වනු පිණිස වරින් වර නැවතත් බැලිය යුතු ය. ආරම්භයේ දී භාවනාව බුදු රුවක් ඉදිරියේ ම කළ හැකි නම් වඩාත් හොඳ ය. එසේ තමාට සුදුසු ඉරියව්වකින් වාඩිවී ඇස පියා ගෙන කලින් බලා ගත් බුදුරුව මෙනෙහි කර බුදුරජාණන් වහන්සේ තමා ඉදිරියේ වැඩ සිටින සැටියට සිතා ගෙන ඒ බුදුරජාණන් වහන්සේ අරමුණු කොට තමා භාවනා කරන්නට තෝරාගත් වගන්තිය මෙනෙහි කොට භාවනා කරන්නට පටන් ගත යුතු ය. භාවනා කරන්නට පටන් ගන්නා කල්හි පැය කාලයට අඩු නො වන කාලයක් (විනාඩි 15ක් ) නියම කරගෙන ඒ කාලය සම්පූර්ණ වනතුරු නොනවත්වා භාවනා කළ යුතුය. එය කරන කල්හි සිත අනෙකකට යොමු වන්නට නො දීමට හැකි තාක් උත්සාහ කළ යුතුය.
බුද්ධානුස්සති භාවනාව කරන්නා වූ තැනැත්තාගේ සිත නිතර උපදනා බුදු ගුණ පිළිබඳ සිත්වලට වාසස්ථානයක් බඳු වීමෙන් පූජනීයත්වයට පත්වේ. බුද්ධානුස්සතිය වඩනා පුද්ගලයා ගිහියෙක් නම් ගිහියකු විසින් පැමිණිය හැකි දියුණුවට ද පැවිද්දෙක් නම් පැවිද්දකු විසින් පැමිණිය හැකි දියුණුවට ද මෙලොවදීම පැමිණේ. ඒ සිත පාපයට ලෙහෙසියෙන් නොනැමේ. හදිසි මරණයකට මුහුණදීමට ඇතිනම් ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේව සිහි වේ. එමනිසා නිසැකවම ඔහු දෙවියන් අතර උපදී. බුද්ධානුස්සති භාවනාව වඩනා පුද්ගලයාගේ බුද්ධ ගුණය කෙරෙහි නැමී පවත්නා වූ විතර්ක විචාරකයෝ බොහෝ සෙයින් උපදිති.
බුද්ධ ගුණයෙහි සිත හසුරුවන්නා වූ යෝගාවචරයා හට ප්‍රීතිය ඇති වේ. ප්‍රීතිය නිසා කායික චෛතසික පීඩාවෝ සන්සිඳෙති. එයින් ඔහුට සුඛය ඇති වේ. ඒ සුඛය නිසා ඔහුගේ සිත බුද්ධ ගුණාරම්මණයෙහි සමාධියට පැමිණේ. සිත පිරිසුදු බැවින් ද ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් දියුණු තියුණු වන බැවින් ද බුද්ධානුස්සතියෙන් ලත් සමාධියෙහි පිහිටි යෝගාවචරයා හට විදසුන් වඩා පහසුවෙන් මර්ග ඵල ලබා නිවන් දැකිය හැකි වන්නේ ය.
නමුත් අයෙක් භාවනා කරන්න්නේ නම් එම තැනැත්තාගේ සිත නිරන්තරයෙන්ම විවිධ සිතුවිලි ඔස්සේ විසිරි යන්නේ නම් අනිවාර්යයෙන්ම භාවනා ගුරුවරයෙක් හෝ භාවනාව හොඳින් ප්‍රගුණකළ භික්ෂුන් වහන්සේ නමකගෙන් උපදෙස් ගත යුතුමය.
තමා භාවනා කරන ආකාරය, තමා භාවනාව කරනවිට සිදුවන සියලු දේ, එනම් සිත විසිරෙන්නෙ නම් විසිරෙන ආකාරය, තමාගේ සිත, කය පවා භාවනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ආකාරය ආදි කී , නොකී සියලුම කරුණු සම්බන්ධව භාවනා ගුරුවරයාගෙන් නිතර නිතරම උපදෙස් ගත යුතුමය.
එම නිසා ඔබේ සිත ඔබටම හැසිරවීමට හැකිවෙනතාක් ගුරුවරයාගේ දැක්ම ඔස්සේ ගමන් ඇරැඹීමෙන් ඔබට ඔබවම සොයා ගැනීමට හැකි වේ.
සම්බන්ධීකරණය
මධුර ප්‍රභාත් ගමගේ
අනුශාසනාව
පූජ්‍ය , තෙලඟපාත ධම්මජෝති ස්වාමින් වහන්සේ