වෙනත් වැඩ කරමින් සිටිය දී ධර්ම දේශනා අහන එක පවක් ද?

පෙබරවාරි 28, 2022

වෙනත් වැඩ කරමින් හෝ රැකියාවට ගොස් පැමිණ වෙහෙස නිසා නිදා ගන්නා ඉරියවුවෙන් සිටියදී හෝ පුටුවක වාඩිවී හෝ ගෙදර උයමින් පිහමින්, අතු පතු ගාමින් හෝ කුමන හෝ කටයුත්තක් කරමින් සිටියදී ධර්මය ශ්‍රවණය කිරීම වැරැදිද? එය පවක්දැ යි බොහෝ දෙනා අසති. මේ ඒ පිළිබඳ ධර්මානුකූල විවරණයකි.

 

සමහරුන් කියන්නේ එසේ ධර්ම ශ්‍රවණය කිරීම වැරැදි බවයි. තවත් සමහරුන් කියන්නේ එසේ ධර්ම ශ්‍රවණය කිරීම නිවැරැදි බවයි.

 

පළමුව කිව යුත්තේ කුමන කටයුත්තක යෙදී සිටියත්, ධර්ම ශ්‍රවණය කරන විට දස අකුසල කර්මයන් සිදු වන අකුසල් සිත් 12 ඇති නොවී, අටමහ කුසල් සිත් ඇතිවනවා නම්, එය කිසිසේත්ම අකුසලයක් නොවන බවයි. එසේම ඒ ආකාරයට හෝ ධර්මශ්‍රවණය කිරීම මහානීය පුණ්‍ය කර්මයක් බවත්, එයින් ලැබෙන ප්‍රතිඵල අති විශාල බවත් කිව යුතුම ය.

 

ධර්මය ශ්‍රවණය කළ යුත්තේ මේ ආකාරයට යැයි අනිවාර්යයෙන්ම භාග්‍යවතුන් වහන්සේ පැන වූ ක්‍රමයක් නැත. නමුත් ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස ඉතා හොඳින් ලබන්නට නම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අත්‍යාදර ගෞරවයෙන් ඇසිය යුතුය. එසේ අසන විට දාරුචීරිය තෙරුන්ට මෙන් ඇඳන් සිටින ඇඳුම වැදගත් වන්නේ නැත. සැවැත් නුවර කුණු ගොඩක කසල පිරිසුදු කරමින් සිටි සුනීතට මෙන් කරමින් සිටින රාජකාරිය වැදගත් වන්නේ නැත. චම්පා නුවර ගග්ගරා පොකුණේ සිටිය මැඬියා මෙන් දහම් පදයක කිසිම අදහසක් තේරුම් ගත නොහැකි ගෙම්බෙක්ද කියන එක වැදගත් වන්නේ නැත.

 

කිසිම තේරුමක් නැතිව, සතුටු සිතින් යුක්තව, ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ගේ හඬ අසා මිනිස් ලොව ඉපදුණු, ලක්දිව කුඹල් තිස් පවුවෙහි ගල් ලෙනේ සිටි පන්සියයක් පමණ කිරි වවුලන් මෙන් ගල් ලෙනක එල්ලී සිටියදී ද කියා වැදගත් වන්නේ නැත.

මිනිස් ලොව ඇමැති කෙනෙක් ලෙස උපදින්නට හේතුව වුණු තලගුරු වෙහෙර ධම්මදින්න තෙරුන් වහන්සේගෙන් දහම් හදාරන හඬ සතුටින් ඇසූ කණ ගැරඬියා මෙන් සර්පයකු මෙන් සිටියදී ද කියා වැදගත් වන්නේ නැත.

 

බණ ඇසීමේ කුසලයේ ආනිසංස ලැබෙන්නේ උපත ලබා තිබෙන්නේ සර්පයකු, මැඬියෙක් වැනි තිරිසන් සතකු ලෙසද, මිනිසකු ලෙසද, දෙවියෙක් බ්‍රහ්මයකු ලෙසද, කියා වැදගත් වන්නේ නැත. කුමන උපතක් ලබා සිටියත් ඒ සියල්ලෝම අත්‍යාදරයෙන් ධර්ම ශ්‍රවණය කළා නම් ආනිසංස ඔවුනොවුනගේ තරමට නො අඩුවම ලැබේ. වෙනස් වන්නේ ඔවුනොවුනගේ තරම අනුවයි. තිරිසන් සතකු නම් ඔවුන්ගේ අහේතුක දුගති ආදියත්, මිනිසුන් අතර අඳ ගොළු, බිහිරි නම් ඔවුන්ගේ අහේතුක සුගති ආදියත්, ද්විහේතුක, ත්‍රිහේතුක අයගේ වර්තමාන භව උප්පත්ති ස්වභාවයත්, හේතු සම්පත් වල ස්වභාවයත්, කෙළෙස්වල ස්වභාවයත් ආදී ඔවුනොවුනගේ තරම අනුව ධර්මශ්‍රවණයේ ආනිසංස අඩු වැඩි වීම සිදු වනවා හැර කරමින් සිටින වැඩය අනුවත්, ඇඳන් සිටින ඇඳුම අනුවත්, සිටින ඉරියව්ව අනුවත් ආනිසංස වෙනස් වන්නේ නැත.

 

ආනිසංසවල අඩු වැඩිකමට බලපාන ප්‍රධාන කාරණාව චේතනාව ආදී කර්ම වන ධර්මතා පමණි. අඳින ඇඳුම් පැලදුම්, සිටින ඉරියව්ව ආදිය බාහිරට පෙනෙන අතර, ඒවා සංවරව තබා ගැනීමෙන් සිතේ සංවරකම තිබෙන අය මෙන්ම, සංවර ඇඳුම් ඉරියවුව ආදිය තිබුණත්, අශූචි මෙන් දුගඳ හමන ඇවිදින අශූචි කඳු වැනි අයද මේ සමාජයේ ඕනෑ තරම් සිටී.

 

ඉරියව්ව සහ කරමින් සිටින වැඩය කූමක් වූවත්, කුමන ක්‍රමයකට හෝ බණ ඇසීමේ කුසලයන් කර ගත් අය අතර දෙව්මිනිස් සැප ලැබූවන්ගේ ගණනක් නැත. බණ අසා සෝවාන් ආදි සතර මගසතර ඵලයට පැමිණ නිවන් දුටුවන්ගේ ගණනේ ප්‍රමාණයක්ද නැත. ධර්මශ්‍රවණයට පෙර සූදානම් වන පූර්ව චේතනා, ශ්‍රවණ චේතනා, අපර චේතනාදියට නො අඩුවම ආනිසංස ලැබේ. එම ධර්මය පිළිපැදීමෙන් ලැබෙන ප්‍රතිඵල කියා නිම කළ නොහැකිය.

 

 

අතීතයේ දී ධර්ම ශ්‍රවණය කරන සිව්වනක් පිරිස ඉතා ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වූ ආකාරයත්, එසේ කළ ආකාරයත්, ත්‍රිපිටකය අටුවා, ටීකා වංශ කථා ආදියේ මෙන්ම පරිවාර ග්‍රන්ථද, ඉතිහාස ග්‍රන්ථ ආදිය පුරා හමු වේ.

 

ධර්ම ශ්‍රවණය කිරීම ගෞරවයෙන් කළ යුතුය. එසේ ගෞරවයෙන් ධර්මශ්‍රවණය කළ අවස්ථා ගණනාවක් අපේ බණ පොත් වල සඳහන් වේ.

 

අතීතයේ අනුරාධපුරයේ කාල බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ, කළු තිඹිරි ගස යට කාලකාරාම සූත්‍රයෙන් රාත්‍රිය පුරාම ධර්මය දේශනා කළ සේක. සද්ධාතිස්ස රජතුමා බණ අසන පිරිසෙන් පිටත අඳුරේ සිට ගෙන සිටි පිය නො සොලවා රාත්‍රිය මුළුල්ලේ ම ගෞරවයෙන් බණ ඇසී ය.

 

ගවරවාල අංගණයෙහි (ගොම,කුණු ආදිය දමන වල) එක්තරා පිණ්ඩපාතික ස්ථවිරයන් වහන්සේ නමක් රාත්‍රියේ පිරිසෙන් පිටත සිට බණ අසන විට සර්පයකු විසින් දෂ්ට කරන්නට විය. උන් වහන්සේ තමන්ට වූ විපත කිසිවකුට නො දන්වා බණ හමාර කරන තුරු බණ ඇසීය.

මාගම තිස්ස මහා විහාරයේ විසූ තරුණ භික්ෂූන් වහන්සේ කෙනෙක් වෙස්සන්තර ජාතකය ඇසීමට පයින් ම නව යොදුන් මඟ ගෙවා දිගා වැවට ගිය හ.

 

උල්ලභ කෝල කණ්ණික නැමති ගම ස්ත්‍රියක බණ අසනු පිණිස එක් දිනකින් ම පස් යොදුන් මඟ ගෙවා පයින් ම ගමන් කොට රාත්‍රිය මුළුල්ලේ ම බණ ඇසුවා ය.

 

මේ ආකාරයට ගෞරවයෙන් ධර්මශ්‍රවණය කළ සිදුවීම් ඕනෑතරම් තිබේ. ධර්මශ්‍රවණය කිරීම ගෞරවයෙන්ම කළ යුතුය. එයට හේතුව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර පිළිපදින්නන්ට සසර දුක් නිමා කර ගන්නටත්, අපා දුකට නොවැටී සිටින්නටත්, දෙව් මිනිස් සුව ලබා නිවන් දකින්නට හේතු සම්පත් උපදවා ගන්නටත් තවත් සියලුම යහපත සලසා ගන්නටත් ධර්මය ශ්‍රවණය කරනවා හෝ කියවනවා හැර ඒ සඳහා වෙනත් මඟක් නොමැති වීමයි.

 

කාර්යබහුල ජීවිතයේදී නිරන්තරයෙන්ම සිත පවට බරව පවතී. අකුසල් සිත් දොළස වැඩි වශයෙන්ම ඇති වේ. එම නිසා සිහි නුවණින් සිටින්නට නුවණැත්තෝ උත්සාහවන්ත විය යුතුය. කුමන කටයුත්තක නිරතව සිටියත් ධර්මශ්‍රවණය කිරීමෙන් සිහි නුවණ උපදවාගෙන කටයුතු කළ හැකිය. ඒ ධර්මය පිළිපැදිය හැකිය. ධර්මාවබෝධය ලැබිය හැකිය. එතෙකින් ප්‍රයෝජන නතර වන්නේද නැත. සිත පවෙන් නිදහස්ව කුසලයට බරවම පවතී. තමන් කුමන කටයුත්තක නිරත වූවත් ධර්මය සමඟම සිටින නිසා ඇති වන දිට්ඨධම්ම වේදනීය විපාකය, උපපජ්ජ වේදනීය විපාකය, අපරාපරිය වේදනීය විපාකය මෙපමණයි කියන්නට බැරි තරම් ය. සෑම ජවන සිතකටම ලැබෙන විපාකය ඉතාමත්ම උසස් ප්‍රතිඵල ලබා දෙයි.

 

බණ අසන විට ඇසිය යුත්තේ යම්කිසි දෙයක් දැන ගැනීමේ අදහසින් අවවාදයක් අනුශාසනයක් ලබා ගැනීමේ අදහසින්මය. දේශකයන් වහන්සේගේ උස් මිටි කම් නො බලා කවරකු විසින් වුව දෙසන දහම ගෞරවයෙන් ඇසිය යුතු ය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ධර්ම විනයානුකූලව බැලූ විට වැඩපල කරමින්, රැකියාව කරමින්, වෙනත් වැඩක යෙදෙමින් ධර්මශ්‍රවණය කිරීමේ කිසිදු වරදක් හමු නොවේ. ඒ වෙනුවට ඉතාමත්ම උත්කෘෂ්ට උසස් ප්‍රතිඵල ආනිසංස රාශියක්ම හමු වේ. ඔබ කරන, කියන, සිතන, පතන දෙයින් විය යුත්තේ ඔබට යහපතක්ම පමණී. ධර්මයට කිසිසේත් අගෞරව නොකළ යුතුය. එය ඉතා භයානක ප්‍රතිඵල ලබා දෙයි. වෙනත් කටයුත්තක නියැලෙමින් ධර්මශ්‍රවණය කරන්නේ ධර්මයට ඇති අගෞරවයක් නිසා නොවේ. ධර්මශ්‍රවණය කරන්නේම එය විශ්වාස කරන පිළිගන්නා ස්වභාවය නිසා ය.

 

උසස් ප්‍රතිඵල ලබා ගන්න නම් ගෞරවයෙන් ධර්මශ්‍රවණය කර පව් නො කරන පින් කරන ගුණවතෙක් විය යුතුය. සසරින් එතෙර වීමට වහා වහා කටයුතු කර ගත යුතුය.

 

සද්ධම්ම දෙසනා කාලෙ

සාධු සාධූති භාසතො

මුඛතො නිබ්බන්ති ගන්ධො

උප්පලංව යථොදකෙ

 

දහම් දෙසන විට සාධුකාර දෙන පින්වතාගේ මුඛයෙන්, මානෙල් මල් සුවඳ ඇති වේ.”

(මනෝරථ පූරණි අංගුත්තර අටුවාව)

 

මෙම කරුණු දැක්වීම අදාළ වන්නේ ධර්මශ්‍රවණය කිරීමට පමණී. ධර්ම දේශනා කිරීමට වෙනම විනය නීති සහ අනුගමනය කළ යුතු ක්‍රම තිබෙන බව මතක තබා ගත යුතුය.

 

 

පූජ්‍ය, තපෝවනයේ

රතන ස්වාමින් වහන්සේ.

රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පණඩිත,

මිණිපුර අමාශාන්ති තපෝවනය,

පැල්වාඩිය,

රත්නපුර.