බුදු දහමට අනූව සිංහල අලුත් අවුරුද්ද

අප්‍රේල් 11, 2022

 

බෞද්ධයින් කියන්නේ සිංහල ජාතියට අයත් අය පමණක් නොවේ. බෞද්ධයින් විවිධ ජාතීන් නියෝජනය කරයි. බෞද්ධ පින්වතුන්ට දානය, සීලය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාවය යන සතර සංග්‍රහ වස්තු අනුව සිංහල අවුරුද්දේදීද කටයුතු කළ හැකි ය.

 

 

සිංහල අලුත් අවුරුද්ද උදා වන්නේ බක් මාසයේ මැද කාල සීමාවේ ය. බක් මාසය කියන්නේ අප්‍රේල් මාසයට ය. බක් මාසයේ මැද හරියට සිංහල අලුත් අවුරුද්ද උදාවෙන්නේ සිංහලයින් විසින් පිළිපඳින “ශක රාජ වර්ෂ” ක්‍රමය නිසයි. එය ආරම්භ වූයේ කෙසේදැයි ඉතිහාස ගවේෂණයෙන් සොයා ගත යුතු ය.

 

වර්තමාන ලෝකයේ ජීවත්වන විවිධ ජාතීන් දින ගණන් ගන්නා විවිධ අවුරුදු ක්‍රම තිබේ. බෞද්ධයිනට බුද්ධ වර්ෂ ක්‍රමය තිබේ. ක්‍රිස්තු භක්තිකයින්ට ක්‍රිස්තු වර්ෂය තිබේ. මුස්ලිම් ජාතිකයින්ට, මායාවරුන්ට, චීන ජාතිකයින්ට සහ විවිධ ජාතීන්ට විවිධ රටවල්වලට විවිධාකාරයේ වර්ෂය ගණන් ගන්නා ක්‍රම තිබේ.

 

මේ විවිධ වර්ෂ ක්‍රම අතරින් ශක වර්ෂය ඉන්දියාවේ ජීවත් වූ ‘’ශක’’ කියන රාජ වංශිකයන් විසින් පිහිටුවන ලද අවුරුදු ක්‍රමයකි. ශක වර්ෂය හඳුනාගන්නට පුළුවන් වන්නේ ශක රාජවංශය ආරම්භ වූ දිනයෙනි. ශක රාජවංශය ආරම්භ වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂයට අවුරුදු 78 කට පසුව ය. එවිට ක්‍රිස්තු වර්ෂයෙන් අවුරුදු 78 ක් අඩු කළ විට ශක රාජ වර්ෂය ලැබේ. අද අප ජීවත් වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 2022 ය. එවිට ශකරාජ වර්ෂය වන්නේ 1943 යි. අද අප ජීවත් වෙන්නේ බුද්ධ වර්ෂ 2564 ය. ශකරාජ වර්ෂය ආරම්භ වී තවම ගෙවී ඇත්තේ වර්ෂ 1943 කි. ශක රාජවංශය ආරම්භ වී ඇත්තේ බුද්ධ වර්ෂයෙන් වසර 621කට පසුව ය. ක්‍රිස්තු වර්ෂය ආරම්භ වන්නේ ද බුද්ධ වර්ෂයෙන් වසර 543කට පසුව ය.

 

මේ ශක රාජ වර්ෂ ක්‍රමයට පදනම වී ඇත්තේ සූර්යයාගේ ගමන් මගයි. හිරු, දෙවි කෙනකු ලෙස පැරැණි වැසියන් අදහන ලදී. නක්ෂත්‍රයෙහි උගන්වන ආකාරයට ඒ හිරු දෙවියන් එක් තැනක සිටින්නේ නැතුව චක්‍රයක ආකාරයට ගමන් කරයි. මේ චක්‍රය රාශි චක්‍රය ලෙස හඳුන්වනු ලැබේ. ඒ චක්‍රයට කොටස් 12 ක් තිබේ. මෙහි කොටස් 12 න් එක් කොටසක් රාශියක් ලෙස හඳුන්වනු ලැබේ. එවැනි රාශි 12ක් තිබේ. ඒ මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන රාශි 12 යි.

 

මේවායින් පළමුවැන්න මේෂ රාශිය යි. අවසාන රාශිය වන දොළොස් වැන්න මීන රාශිය යි. මේෂ රාශියේ සංකේතය බැටළුවෙකි. මීන රාශියේ සංකේතය මාළුවන් දෙදෙනකි. හිරු, දෙවි කෙනකු ලෙස හැඳින් වූ ඒ පැරැණි වැසියන්ට අනුව, හිරු දෙවියන් මේෂ රාශියේ සිට අනෙක් රාශි පසුකර අන්තිම රාශිය වන මීන රාශියට ගමන් කරන්නට අවුරුද්දක් ගත වේ. හිරු දෙවියෝ මීන රාශියේ ගතකරන අන්තිම දවස හඳුන්වන්නේ පරණ අවුරුද්ද ලෙසයි.

 

හිරු දෙවියන් මේෂ රාශියේ ගත කරන මුල්ම දවස හඳුන්වන්නේ අලුත් අවුරුද්ද ලෙසයි. නක්ෂත්‍රය අනුව මීන රාශියෙන් පිටත් වූ හිරු දෙවියන්ට මේෂ රාශියට ඇතුල්වන්නට පැය කිහිපයක් ගත වේ. එය හඳුන්වන්නේ නොනගතය නමිනි. සංක්‍රාන්ති කාලය ලෙසත් මේ පැය ගණන හඳුන්වනු ලැබේ.

 

පරණ අවුරුද්ද ගෙවී ගොස් අලුත් අවුරුද්ද ලබන, පරණ අවුරුද්දටත් අලුත් අවුරුද්දටත් නැති කාල පරිච්ඡේදය, පංචාංග ලිත් වල යෙදෙන්නේ “සංක්‍රාන්ති කාලය” ලෙසයි. සිංහල සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරයේ තිබෙන්නේ “නොනගතේ” කියා යි. මෙය පුණ්‍ය කාලයේ පෙර කොටසට අයත් වේ. මෙය පරණ අවුරුද්දටත්, අලුත් අවුරුද්දටත් දෙකටම නැති නො කාලයකි. දෙකටම නැති මේ නො කාලය අතිශයින්ම පරිස්සම් විය යුතු කාලයක් ලෙස නක්ෂත්‍රය විශ්වාස කළ අතීත මිනිසුන් කල්පනා කර ඇත. ඒ අනුව පරණ අවුරුද්ද සඳහා ස්නානය කර, තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නට සිංහල බෞද්ධයින් තමන්ට ඇති ආරක්ෂිතම ස්ථානය වන පන්සලට පවුල් පිටින් ම ගොස් පින් දහම් සිදු කර ගනී. මේ කාලසීමාව අනතුරුදායක නිසා ජීවිතයට නැතිවම බැරි මූලික දේවල් වන ගින්දර, වතුර හා කිරි ආදිය සිංහලයින් ස්පර්ශ කරන්නේවත් නැත.

නොනගතය කාලයේ දී සිංහල ගෙවල් වල ගිනි දල්වන්නේ නැත. ඒ නිසා නොනගතය උදා වන්නට පෙර ළිප් නිවා දමනු ලැබේ. නැවත ළිප දල්වන්නේ නොනගතය අවසන් වී අලුත් අවුරුද්ද උදා වූ පසුව ය.

ජලය ද මිනිස් ජීවිතයට අත්‍යවශ්‍යම කරුණකි. නොනගතයේ දී ළිඳ සමඟ කිසිදු ගනුදෙනුවක් නොකරන සිංහලයා නොනගතයට පෙර නිවෙසට අවශ්‍ය‍ කරන ජලය ගෙන එයි. අලුත් අවුරුදු උදාවෙන් පසුව ළිඳ සමඟ ගනුදෙනුව පටන් ගන්නේ අඟුරු කෑලි කීපයක් ද, සමන් පිච්ච මල් කිහිපයක් ද, තඹ කාසියක් ද තවත් දේවල් ද ඇතුළත් කුඩා රෙදි පොට්ටනියක් ළිඳට දැමීමෙනි. අඟුරු ජලය පිරිසිදු කරයි. තඹ මිනිස් සිරුරට අවශ්‍ය වේ.

නොනගතයෙන් පසුව මුලින්ම අනුභව කරන්නේ කිරිබතයි. ඉපදීමෙන් පසුව මුලින් ම අනුභව කරන්නේ මවුකිරියි. කිරි ජීවිතයට අත්‍යවශ්‍යම දෙයකි.

 

නොනගතය උදා වන්නට පෙර සියලු වැඩ නැවැත්තූ සිංහලයා, නැවත වැඩ අල්ලන්නේ අලුත් අවුරුද්ද උදා වූ පසුව සුබ නැකතින් ය. මේ නොනගත කාලය තුළදී සිංහලයින් කරන්නේ පන්සල් යෑමයි. ජන ක්‍රීඩාද මේ කාලයට එකතු කරගෙන තිබේ.

අලුත් අවුරුද්දට පෙර ගේ දොර පිරිසුදු කරගෙන, ළිප අලුත් කරගෙන, ලුණු පොල්කට්ට යටත් පිරිසුදු කරගෙන, අවශ්‍ය නම් අලුත් වළං ද මිලදී ගෙන, සූදානම් වූ සිංහලයා නොනගතයෙන් පසු අලුත් අවුරුද්ද උදාවත් සමඟම නැකතට ළිප ගිනි දල්වා ආහාර අනුභව කර වැඩ අල්ලනු ලැබේ. ඉන්පසුව, බෙහෙත් වර්ග කිහිපයකින් ඖෂධීය තෙල් සකස් කරගෙන, සුබ නැකතට හිස තෙල් ගල්වා දෙහි ඇඹුලින් හිස සෝදා නානු ලැබේ.

 

රැකියා සඳහා පිටත්වීම ද සුබ නැකතට සිදුකරන අතර, වර්තමානයේ දී පැළ සිටුවීම ද කරයි. මෙවන් චාරිත්‍ර රාශියක් සමඟ පවතින සිංහල අවුරුද්දේ සුවිශේෂීම අංගයක් වන්නේ පන්සලත් නිවෙසත් අතර ඇතිවන සම්බන්ධයත්, මවුපියන්, දූ දරුවන්, සහෝදර සහෝදරියන්, මුනුපුරු මිනිපිරියන් සියලුදෙනාම මුණගැසී කෙළි සෙල්ලම් කරමින් සමගිය වර්ධනය වීමයි. සංස්කෘතිකමය වශයෙන් එහි ඇති වටිනාකම අති මහත් ය.

 

පැරැණි හිත් අමනාපකම්ද නැතිවී, අසල්වැසියන් සමඟද හිතවත්කම් අලුත් වී, ආහාර පාන සහිත රසකැවිලි බන්දේසි ද නි‍ෙවසින් නි‍ෙවසට යමින් සමගිය ද වර්ධනය වේ. ප්‍රධාන නැකැත් හැරුණු කොට සමහර අවුරුදු චාරිත්‍ර ගමින් ගමට, නගරයෙන් නගරයට, පළාතෙන් පළාතට වෙනස් වේ. සිංහල අවුරුද්දත් සමඟම එන අවුරුදු ක්‍රීඩා සමය ද, අවුරුද්දට පෙරත්, අවුරුද්දට පසුවත් පැවැත් වේ.

 

බෞද්ධ පින්වතුන්ට ඒ කියන්නේ සිවු වනක් පිරිසට අයත් අයට, මේ සිංහල අලුත් අවුරුද්ද සුදුසුද? නුසුදුසුද? බුදු දහමට පටහැනිද? නැද්ද? කියා කෙනෙක් ඇසූ විට ඉහත කරුණු ඔස්සේ එම ප්‍රශ්නයට අදාළ කරුණු පරීක්ෂාකර බලන විට ඔහුටම පිළිතුර ලැබේ.

 

බෞද්ධ පින්වතුන්ගේ ඒකායන අරමුණ විය යුත්තේ මේ වටිනා මනුෂ්‍ය ජීවිතට ඇති කෙටි කාලය උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිසම යෙදවීම යි.

 

එහිදී ඔහු භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ කරුණු ඉක්මවා නොයාමට වග බලා ගත යුතුයි. ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය ආදී ධර්මතා වැඩපිළිවෙළේ, පැවැත්මෙහි ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව අවධානය යොමු කර, තමන්ව යහපත් තත්ත්වයට පත් කරගන්නට වගබලා ගත යුතුයි. සත් තිස් බෝධිපාක්ෂික ධර්මයෝ තමන් තුළ වැඩෙන ආකාරයට කටයුතු කර ගන්නේ නැතුව, වෙන කුමන දෙයක් කළ තේරුමක් නැත.

 

සිංහල අවුරුද්ද ආරම්භ වූයේ කවදා, කෙදිනක, කුමන රාජවංශයක් නිසා, කුමන කරුණු වෙනුවෙන් වුවත්, එය සිංහල රජය විසින් පිළිගන්නා ජනතාව විසින් සම්මත කරගෙන සිටින කාරණාවක් නම් බෞද්ධයින් ඒවා සමඟ ගැටෙන්නේ නැත. එයටද අනුගත විය යුතු ය. බෞද්ධයින් කියන්නේ සිංහල ජාතියට අයත් අය පමණක් නොවේ. බෞද්ධයින් විවිධ ජාතීන් නියෝජනය කරයි. බෞද්ධ පින්වතුන්ට දානය, සීලය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාවය යන සතර සංග්‍රහ වස්තු අනුව සිංහල අවුරුද්දේදීද කටයුතු කළ හැකි ය.

විශේෂයෙන්ම හේමන්ත සෘතුව මැදින් පුර පසළොස්වක පොහෝ දිනයෙන් අවසන් වී, ගිම්හාන සෘතුව ආරම්භ වී මුළු පරිසරයම ප්‍රබෝධවත්ව තිබෙන මේ කාලය වන විට, සිංහල ගැමියන් තමන්ගේ අටු කොටු පුරවාගෙන බොහොම සතුටින් සිටින කාලයකි. කාළුදායි මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කිඹුල්වත්පුරයට වැඩම කරන්නට කළ ආරාධනාවේ ද, මෙම කාලය අතිශයින්ම ම වර්ණනා කර තිබේ. මෙවැනි කාලයක සංස්කෘතිකමය වශයෙන් අදාළ කරුණුවල හැසිරීමෙන් වරදක් නැත. කිසිවකු අවුරුදු සැමරුවා කියා තෙරුවන් සරණ හැර අවුරුද්ද සරණ යන්නේ ද නැත.

 

ඔහු මංගල සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, ධම්මික, පරාභව, අණන, පංච ඉට්ඨ ධම්ම ආදී සූත්‍ර දේශනා අනුව ජීවිතය හැඩ ගස්වා ගත යුතු ය. රාජ්‍ය පරිපාලනය සමඟ ද, ජන සමාජය විසින් පිළිගන්නා යම් යම් විශ්වාසයන් සමඟ ද ගැටලුවක් ඇති කර ගන්නේ නැතුව, ඒවා සමඟ නොගැටී අකුසල් සිත ඇති කර ගන්නේ නැතිව, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට තමන්ගේ ජීවිතය හැඩගස්වා ගත යුතු ය.

 

එය නක්ෂත්‍රය අනුව පරණ අවුරුද්දක් ද, අලුත් අවුරුද්දක් ද, යන්නට වඩා, මේ මොහොතට අවධානය යොමුකළ යුතු ය. මේ මොහොතේත් සිදුවන ක්‍රියාවලිය තේරුම් ගෙන, කර්ම කර්මඵල පිළිගන්නා ස්වභාවය ඇති ව, සම්මා දිට්ඨිය ඇති කරගෙන, සසරින් එතෙරව උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය ලබන්නට වගබලා ගත යුතු ය.

 

බෞද්ධ ගිහි පින්වතුන් අවුරුදු සැමරුවාට සංඝරත්නයට එම අවුරුදු නැත. සංඝරත්නයට කුසල් රැස් කර ගැනීමට දින 365 ම අවුරුදු ය. ගිහි පැවිදි කවුරු හෝ මඟ ඵල ලබනවානම් ඒ ඔහුගේ හොඳම අවුරුදු නැකැත වේ.

 

බොහෝ බෞද්ධ පින්වතුන් මේ කාලසීමාව අවුරුදු චාරිත්‍ර ආදී කටයුතු සමග නිවෙස්වල සිටින්නේ නැතුව, ආරණ්‍ය සේනාසන, වෙහෙර විහාරස්ථාන වලට ගොස් මේ නිවාඩු සමය, වඩාත් අර්ථාන්විත ව, භාවනානුයෝගීව, පින්බර ව, සසරෙන් එතෙරවීම උදෙසාම කටයුතු කරන බවක් පෙනේ. එය ඉතාමත්ම කාලෝචිත අගය කළ යුතු වටිනාම ක්‍රමයකි. එයින් අදහස් කළේ අවුරුදු චාරිත්‍ර නොකර සිටිය යුතුයි කියා නොවේ. තම තමන්, තම තමන්ගේ දෘෂ්ටියේ තරමේ හැටියට කටයුතු කර ගත යුතු ය. සංස්කෘතිකමය වශයෙන් සමාජයේ යහපතට ඇති, යහපත් දේවල් ප්‍රතික්ෂේප නොකළ යුතු ය. එය ගිහි ජීවත ගත කරන අයට සතුටකි.

පූජ්‍ය, තපෝවනයේ

රතන ස්වාමින් වහන්සේ.

රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පණඩිත,

මිණිපුර අමාශාන්ති තපෝවනය,

පැල්වාඩිය,

රත්නපුර.

 

සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ