පිං කළොත් සසර කෙටි වෙනවා ද?

අප්‍රේල් 18, 2022

 

පිං කළොත් සසර දික් වෙනවා. ඒ හින්දා කුසල් තමයි කරන්න ඕනෙ. කියන මේ කියමන සමාජයේ කලක සිට ඇසෙන්නට තිබෙන දෙයකි. ආමිස පූජාවන් වලින් රැස් වෙන්නෙත් බොහෝ විට පිනය.

 

එම නිසා සමහරුන් දන් දීමට අකමැත්තත් තණ්හාවත් නිසාත් එවැනි අවස්ථාවලදි “ බුදුහාමුදුරුවෝ වුණත් කියල තියෙන්නේ ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාවත් උතුම් කියල. අනික වඩා පින් කළොත් සසර දික් වෙනවා. අපිට ඕනෙ ඉක්මන්ට සංසාරයෙන් නිදහස් වෙන්න. ඒ නිසා අපි කුසල් තමයි කරන්නෙ. පින් කරලාත් වැඩක් නැහැ, පිනට වුණත් ආසා කිරීම තණ්හාවක්,“ කියන අයද මේ සමාජයේ නැතුවාම නොවේ. නමුත් ඔවුන්ගේ ජීව්තවල ඇතුලාන්තය පිළිබඳව සැබෑම කතාව නම් ඔවුන් කරන කුසලයක්වත් නැති බවයි. එය හුදෙක් පිංකම් වලදී වියදම් කරන්න තිබෙන අකැමැත්ත නිසා හදාගත් තවත් එක් නිදහසට කාරණයක් පමණි. නමුත් මෙය බොහෝ පිරිසකට අයහපත ඇතිකරයි කියලා හිතුණු නිසා මේ පින ගැන භාග්‍යවතුන් වහන්සේ විසින් ම දේශනා කරපු කාරණා ටිකක් අපි සාකච්ඡා කරමු.

 

ඛුද්දක නිකාය 1 කියන උතුම් පොත් වහන්සේගේ සූත්‍ර දේශනාවක් තියෙනවා ‘මා පුඤ්ඤභායි’ කියලා. එහි තිබෙන්නේ මෙන්න මේ කාරණාවයි.

 

‘මහණෙනි, පින්වලට බයවෙන්න එපා. මහණෙනි, ‘පින’ කියලා කියන්නේ මේ ඉතා යහපත් සිත්කලූ වූ සැපයට ම කියන නමක්. මහණෙනි, බොහෝ කාලයක් තිස්සේ මා විසින් කරපු පින් නිසා ඉතා සිත්කලූ වූ ප්‍රියමනාප වූ ආනිශංස විඳපු බව මම දන්නවා. අවුරුදු හතක් මෛත්‍රී සිත වඩපු නිසා සංවට්ට කල්ප (ලෝකය විනාශ වෙන) හතක් මේ ලෝකෙට ආවෙ නැහැ.

 

පින්වත් මහණෙනි, කල්පය විනාශ වෙද්දී ආභස්සර බ්‍රහ්ම ලෝකයට යනවා. කල්පය ආරම්භ වෙද්දී හිස් බ්‍රහ්ම විමානයක උපදිනවා, පින්වත් මහණෙනි, මම තමයි එහෙ බ්‍රහ්මයා, මහා බ්‍රහ්මයත් මම තමයි, මම හැම දෙය ම මැඩ පැවැත්තුවා, අනභිභවනීය වුණා, සියලූ දෙය ම තේරෙන කෙනෙක් වුණා, සියලූ දෙය ම තම වසඟයට පමුණුවා ගත්තා.

මහණෙනි, මම තිස්හත් වතාවක් දෙවියන්ට අධිපති වූ ශක්‍ර දෙවියන් වෙලා ඉපදුණා, නොයෙක් වාර සිය ගණන් ධාර්මික, ධර්මරාජ වූ සෑම ජනපදයකට ම ස්ථිර රජු වෙච්ච ආශ්චර්යවත් වස්තු හතක් ලැබූ සක්විති රජු බවට පත් වුණා. ඉතින් එහෙම එකේ ප්‍රදේශයකට රජකම් කරපු වාර ගණන ගැන කියන්න තරම්වත් දෙයක් නැහැ, මහණෙනි, මට මෙන්න මෙහෙම හිතුණා. ‘මේ මොන විදිහේ පිනක විපාකයක් නිසා ද දැන් මට මේ තරම් සෘද්ධිමත් බවකුත්, මහානුභාව සම්පන්න බවකුත් ලැබිලා තියෙන්නේ’ කියලා.

 

මහණෙනි, මට එ්ක මේ විදිහට අවබෝධ වුණා. මා විසින් කරපු පුණ්‍ය කර්ම තුනක යහපත් ඵල විපාක ලැබුණු නිසා තමයි දැන් මම මේ තරම් මහා සෘද්ධිමත් වෙන්නෙත්, මහා ආනුභාව සම්පන්න වෙන්නෙත් කියලා. එ්වා තමයි දානයත්, ඉන්ද්‍රිය දමනයත්, සිත කය වචනය සංවර කර ගැනීමත්.”

‘‘යම් කෙනෙක් අනාගතේ සැප සේ වාසය කරන්නට කැමැති නම් එ් කෙනා දානයත්, සම චර්යාවත්, මෛත්‍රී සිත වැඩිමත් කියන මේ පුණ්‍ය ක්‍රියාවල ම හික්මෙන්න ඕන, ඥාණවන්ත කෙනා සැප උපදවා දෙන මේ කාරණා තුන දියුණු කරලා දුක් නැති සැප ඇති ලොවක උපදිනවා”

 

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හිටියා ධම්මික උපාසක, එ් ධම්මික උපාසකතුමා අරබයා භාග්‍යවතුන් වහන්ෙස් මෙසේ වදාළා.

 

ඉධ මෝදති පෙච්ච මෝදති

කත පුඤ්ෙඤ් උභයත්ත මෝදති

සෝ මෝදති සෝ පමෝදති

දිස්වා කම්ම විසුද්ධි මත්තනෝ

 

‘‘මෙලොව සතුටු වෙන්නේත් පින් කර ගත්ත කෙනා තමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කරගත්ත කෙනා තමයි. දෙලොව ම සතුටු වෙන්නේ පින් කර ගත්ත කෙනා තමයි. තමන් විසින් කර ගත්ත පිරිසුදු කර්මය දැකලා ඔහු සතුටින් පිනා යනවා.”

මේ අනුව අපිට පැහැදිලි වන කාරණය නම් පිං කළොත් සසර දික් වෙනවා පිනට වුණත් ආසා කිරීම තණ්හාවක් ඒ හින්ද කුසල් විතරයි කරන්න ඕනෙ කියන කතාව භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක් නොවන බවයි.

ධර්මය පුරාවට ම පින ගැන වර්ණනා කරලා පිනට මිනිසුන්ව යොමු කරලා තියෙද්දි එ් ගැන වැරැදි විදිහට හිතලා අවමන් කරනවා නම් එ්ක ධර්මයට විරුද්ධ දෙයක්. පින් කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ සසරින් නිදහස් වීම අරමුණ විදිහට තියාගෙන. එ්ක උතුම් අරමුණක්. එ් අරමුණට යන්න උපකාරි වෙන දේ තමයි පින කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඉපදුණු මනුෂ්‍යයා, ධර්මය ලැබුණු කෙනා ප්‍රමාදී වීම භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරන්නේ නැත. අප්‍ර්‍රමාදීව කුසල් වැඩීම භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කිරීම හැර ‘පින් කරන්න එපා’ කියන අදහසක්වත්, ‘කුසල් වඩන්න එපා’ කියන අදහසක්වත් ධර්මය පුරාවට අපිට හැඟවෙන්නේ නැත. හැඟවෙන්නෙ ‘ආයෙ ආයෙ ඉපදීම දුකක්, එ් දුකින් නිදහස් වීමට උත්සාහ ගන්න.’ කියාය.

 

මහණෙනි, හිසට හරි ඇඳුමට හරි ගිනි ඇවිළුණු කෙනෙක් එ් ගින්න නිවා දමන්න උත්සාහ කරනවාටත් වඩා මේ සක්කාය දිට්ටිය ප්‍ර්‍රහානය කරන්න උත්සාහ කළ යුතුයි කියලයි මම නම් කියන්නෙ” කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඉපදීම නිසා මිනිසුන්ට විඳින්න වෙන දුක දැකලයි. ඉපදීම නිසා විඳින දුක නැති කිරීමට උපකාරක ධර්ම තමයි ධර්මයේ සඳහන් මේ ‘පින’ හා ‘කුසලය’ කියන්නේ. ඉතා කුඩා වූ පිනක් හෝ කිරීමේ වටිනාකම භාගයවතුන් වහන්සේ විසින් වර්ණනා කර ඇත්තේ මෙසේය.

 

මාවමඤ්ඤේත පුඤ්ඤස්ස

න මන්තං ආගමිස්සති

උදබිංදු නිපාතේන

උදකුම්භෝපි පූරති

පූරති ධිරෝ පුඤ්ඤස්ස

ථෝකං ථෝකම්පි ආචිනං

 

‘ ඕක ඉතින් පොඩි පිනක් නේ’ කියලා, තමන්ට විපාක දෙන්න තමන් කරා එන්නේ නැහැ කියලා ගණන් නො ගෙන ඉන්න එපා. වතුර වුණත් බිංදුව බිංදුව වැටිලා තමයි කළයක් පිරෙන්නේ. බුද්ධිමත් පුද්ගලයාත් ටික ටික වුණත් පින් කරන කොට එ් පින් එකතු වෙලා අන්තිමේදි ජීවිතේ ම පිනෙන් පිරිලා යනවා.”

 

අන්න එ් විදිහටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එ් කියපු දේ අහපු දේ පිළිගත්ත නුවණැති මිනිස්සු දෙන්න දෙයක් නැතත් කන්න තියෙන දේ හරි දනට දුන්නා, බැණුම් අහ අහා ගුටි කකා හරි අමාරුවෙන් හරි සිල් රැක්කා, ගුණධර්ම දියුණු කළා, ‘ආසාවෙන් පින් කළා.’ එ් අය නිසා තමයි දිව්‍ය, බ්‍රහ්ම ලෝක පිරිලා ගියේ. දිව්‍ය ලෝකවල ඉඳගෙන ”අපි මනුස්ස ලෝකෙදි මෙහෙම පින් කළා” කියලා සතුටු වුණා. විමාන වත්ථුවල පිරිලා තියෙන්නේ එහෙම ගියපු ස්වල්පයක් දෙනාගෙ විස්තර. එ්වා නිකම් ම කතන්දර විතරයි කියලා හිතන අය තමයි පිනට ඔය අගෞරව කරන්නේ.

 

අභිත්ථරේථ කල්‍යාණේ

පාපා චිත්තං නිවාරයේ

දන්ධංහි කරෝතෝ පුඤ්ඤං

පාපස්මිං රමතී මනෝ

 

‘‘දාන, සීල, භාවනා ආදි යහපත් පින්කම් ඉක්මනට කරගන්න ඕ‍ෙන, එ් වගේ ම පාපයෙන් හිත වළක්ව ගන්නත් ඕනෙ, ඕ‍ෙනකමක් නැතුව පමා වෙවී පින් කරන්න ගියොත් දන්නෙම නැතුව පව්වලට හිත ඇලෙනවා.”

 

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා

කයිරාථෙසං පුනප්පුනං

තම්හි ඡුන්දං කයිරාථ

සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

 

‘‘යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවෙන් යුතුව පිනක් කළොත් ආයෙ ආයෙත් කරගන්න ඕන එ් පින ම යි. පින් කිරීම ගැන ම යි හිතේ කැමැත්ත ඇති කර ගන්න ඕනෙ. ‘සැප’ කියලා කියන්නේ, පිනට ම යි.”

 

මෙම නිසා පිනට කිසිදා නිග්‍රහ නොකරන්න. පිනත් කුසලයත් එකටම තමන්ට හැකි අයුරින් කරන්න. පිනත් කුසලයත් දෙකම ඔබට නිවන පිණිසත් සසරේ කායිකව මානසික දුකකින් පීඩාවකින් තොරව ජීවත්වීමට රුකුලක් වේවි.

 

 

අනුශාසනාව

පූජ්‍ය , තෙලඟපාත ධම්මජෝති ස්වාමින් වහන්සේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.