තිරිසන් සතුන් බණ අසා සුගතියේ උපදින්නේ කොහොමද?

මැයි 2, 2022

 

අපේ අරණට බණ පටන් ගන්න කලින් කැළේ කොහේ හිටියත් ළඟට ඇවිත් බිම වැතිරී එයට අැහුම් කන් දෙන පුරුද්දක් මේ සතාට ඇත. බුදුන් වැඩ හිටි සමයේත් මෙවැනි සතුන් බණ අසන්න පැමිණි වාර කොතෙකුත් ඇත්ද?

 

තිරිසන් සතුන්ද බණ අසනවා යැයි කී විට කරුණු නොදන්නා ඇතමුන් නම් එයට සිනාසෙති. නින්දා කරති. අපහාස කරති. ෂෝක් මස් කෑල්ලක් යැයි කියති. නාමරූප ගැන නොදන්නා මෝඩ අණුවණයන්ට සිනාසෙන්නට විහිළු කරන්නට එය හේතුවකි.

නමුත් නාමරූප ගැන කරුණු කාරණා දන්නා නුවණැත්තෝ නම් එය එක්ද හෙලා පිළිගනිති. ප්‍රසංසා කරති. ඒ ගැන සතුටු වෙති. ඒ පින් ද අනුමෝදන් වෙති. සතුන්ට අභය දානය ද දෙති. තවත් බොහෝ දේවල් කරමින් ධර්මයෙහි හැසිරෙති.

 

මෙම ලිපියෙන් පැහැදිලි කර දෙන්නේ තිරිසන් සතුන් බණ අසා සුගතියේ උපදින්නේ කෙසේද කියා යි. එය අපට දෙයාකාරයකින් පැහැදිලි කර දිය හැකි ය.

එක් ආකාරයකට ත්‍රිපිටකයේ සඳහන් වන තිරිසන් සතුන්ව සිට දිව්‍ය ලෝකයේ උපන් අයගේ චරිත කථා ඇසුරෙන් පෙන්වා දිය හැකිය. අනෙක් ක්‍රමය වන්නේ එය සිදු වන්නේ කෙසේදැයි නාම රූප ඇසුරෙන්ම සිදු වන ආකාරය පෙන්වා දීමයි.

 

පළමුව තිරිසන් සතුන්ව සිට දිව්‍ය ලෝකයේ උපන් අයගේ චරිත කථා කිහිපයක් කෙටියෙන් කියන්නෙමු.

 

කන්ථක දිව්‍ය පුත්‍රයා

 

අතීතයේ විවිධ භවවලදී මහ බෝධි සත්ත්වන් වහන්සේත් සමඟ දැඩි කළ්‍යාණ මිත්‍රත්වයෙන් ආ කන්ථක අශ්වයා මහ බෝසතුන් සමඟ එකම දිනයේදී උපත ලැබී ය.

බෝසතුන් අභිනිෂ්ක්‍රමණය කළ දින වෙන්ව යන්නට සූදානම් වන විට, ඒ වියෝ දුක ඉවසා ගැනීමට නොහැකිව කන්ථකට බරපතළ දරුණු මාරාන්තික ආබාධයක් ඇති විය. ශෝකය ඇති වන්නේ අකුසල් සිතකිය. එහෙත් සම්‍යක් සම්බෝධිය ලබාගැනීමට නික්මුණ බව බෝසතුන් ඡන්න ඇමතිට කියනවා අසා නිරාමිස වූ උදාර වූ, ප්‍රීති සොම්නසක් ද ඇති විය. එය කුසල් සිතකි. එයින්ම මරණින් පසු තව්තිසා දෙව් ලොව උපත ලබා, උදාර වූ දිව්‍යසැප පහළ විය. මරණාසන්න චිත්ත විථිය වූයේ කුසල චිත්ත වීථිය යි.

 

මණ්ඩුක දේව පුත්‍රයා

 

ගග්ගරා පොකුණෙහි වාසය කළ ගෙම්බෙක් ඉවුරට පැමිණ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන විට එම ධර්මය අසමින් සිටියේ ය. ගොපලු දරුවෙක් එතනට පැමිණ තමන්ගේ අතේ තිබුණ කෙවිට බිමට ඇණ එයට බරවී බණ ඇසී ය. ඔහුගේ කෙවිටට මෙම ගෙම්බාගේ හිස හසු වුණි. එයින්ම හිස සිදුරු වී ගෙම්බා මරණයට පත් විය. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය කෙරෙහි සුළු මොහොතක් චිත්ත ප්‍රාසාදයෙන් සිටීමේ හේතුවෙන් ඔහු මිය යාමත් සමඟම ත්‍රිහේතුකව දෙව් ලොව උපත ලැබී ය. එහි උපත ලබා මෙතෙක් සම්පත් ලැබුණේ කෙසේදැයි බැලී ය. භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මශ්‍රවණය කිරීම නිසා ප්‍රතිඵල ලැබූ බව දැක නැවත පැමිණ භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මශ්‍රවණය කර සෝවාන් විය.

 

පාරිලේ‍යය වනයේ ඇතා.

 

බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයේ වස් වැස නැවත වඩින විට පාරිලෙය්‍ය ඇතා පා සිවුරු සොඬින් ගෙන හුම්බස්තලයේ තියාගෙන පසුපස පැමිණියේ ය. ඇතාට වනාන්තරය කෙළවරේ නතර වෙන්නට සිදු වුණී. ඔහුගේ දෑසින් කඳුළු ගලා හැලෙද්දී බුදුන් වහන්සේ දෙසම බලා සිටින්නට විය. ඇතාගේ දර්ශන සීමාවෙන් බුදුරජාණන් වහන්සේ නොපෙනී යද්දී, ඇතාට දරාගත නොහැකි මාරාන්තික දරුණු ආබාධයක් ඇති විය. එම වේදනාවෙන් පාරිලෙය්‍ය හස්ථීරාජයා මැරී වැටුණත්, මරණාසන්න මොහොතේ භාග්‍යවතුන් වහන්සේ ගැන තිබූ පැහැදීමේ කුසල මරණාසන්න චිත්ත වීථිය නිසා පාරිලෙය්‍යක ඇතාට දුගතියෙන් මිදී සුගතිය උරුම කරගන්න භාග්‍යය ලැබුණි.

 

බිරිය අතින් මැරුම් කෑ සැමියා

 

එක් බිරියක් සැමියා සමඟ සෙනෙහසින් ජීවත් විය. මෙම නිවෙසට සැමියාගේ බාල සහෝදරයා නිතර එන්නට විය. කාලයක් යන විට ඔහුගේ ඇසුර නිසා, ඔහුත් මැයත් සමඟ අනියම් බැඳීමක් ඇති විය. බිරියගේ යෝජනාවට මල්ලී තමන්ගේ අයියාව ඝාතනය කරන්නට සැලසුම් කළේ ය.

එක් දිනක් වැඩට ගොස් පැමිණි සැමියාව පිළිගත් බිරිය රාගය ඇවිස්සෙන ලෙස කථා කර, හිසේ නෙල්ලි කල්කයක් ගා නාන්න කියා තොටුපළට පිටත් කළේ ය. මල්ලීට ආයුධයක් ගෙන කල් ඇතිවම එහි සැඟවෙන්නට උපදෙස් දුන්නේ ය.

අයියා පැමිණ නෙල්ලි කල්කය හිසේ ගා වතුරට නැමුණු මොහොතේම මල්ලී විසින් අයියාගේ බෙල්ල කපා මරණයට පත් කළේ ය. බිරිඳ ගැන රාගයෙන්ම සිතමින් සිටි අයියා එම නිවස ළඟම ගැරඬියෙක් වී ඉපදුණි. නිතර එම නිවෙසට යන්නට විය. මේ කාන්තාව ගැරඬියාද මැරුවා ය.

ඔහු එම නිවෙසේම බැල්ලියගේ කුස බලු පැටියෙක් විය. ඇගේ පිටුපසින්ම යන එන නිසා ඇය මේ බල්ලාද මැරුවා ය. ඉන්පසු එම නිවසේම වැස්සියගේ කුස ඉපදුණි. මෙ වහු පැටියාද ඇගේ පිටුපසින්ම යන එන නිසා ඌවද මැරුවා ය. ඉන් පසුව එම සාංසාරික රාගය ටිකෙන් ටික අඩු වීමත් පෙර කුසල විපාකයක් මතු වීමත් නිසා මේ කාන්තාවගේම කුසේ මල්ලීට දාව ඉපදුණේය.

නමුත් මේ ළමයා මව් කිරි බොන්නට අකැමැති විය. සීයා විසින් අම්මාගෙන් කිරි ගෙන මේ ළමයාට පොවා හදන්නට විය. ටිකෙන් ටික වැඩෙන විට මේ ළමයා පෙර භවයේ තමන්ව මැරුවේ මේ කාන්තාවයි ඒ නිසයි ඇයට අකැමැති කියා සීයාට කියා දෙදෙනාම ගොස් පැවිදිව රහත් විය.

තිරිසන් සතුන් සුගතියේ උපන් ආකාරය පෙන්නන්නට අභිධර්මය ශ්‍රවණය කළ කිරි වවුලන් පන්සිය දෙනා, මිගපෝතක වස්තුව ආදී ලෙස ජාතක කථාද, චරිත කථාද ඕනෑතරම් ගෙන හැර දැක්විය හැක. තිරිසන් සතෙක්ව ඉපදු‍ෙණ් නැති කිසිදු දෙවි බ්‍රහ්මයෙක් නැත. සියල්ලෝම, සියලුම සත්ත්වයෝම තිරිසන් සතුන්ව පමණක් නොව, සතර අපාගතවම සිට ඇත. ඒවායින් චුති ප්‍රතිසන්ධීන් සිදුවන ආකාරය ඔවුන් නොදන්නවාට අප කුමක් කරන්නද? එය ඔවුන්ගේ මිථ්‍යාදෘෂ්ඨියේ තරමයි. එයට අපට කරන්නට දෙයක් නැත. අපට කළ හැක්කේ ඔවුන්ට කරුණු පෙන්වා දීමයි. එහෙත් ඔවුන් පිළි නොගන්නවානම් ආශ්‍රයෙන් ඈත් කර තැබීම පමණී.

 

 

නාම රූප ඇසුරෙන් ද මෙයට කරුණු දක්වන්නෙමු.

 

නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියා අපාය සතරක් තිබේ. මේ සතර අපායෙහි උපත ලබන පුද්ගලයින් හඳුන්වන්නේ දුගති අහේතුක පුද්ගලයින් ලෙසයි. මේ දුගති අහේතුකයින්ට සිත් 89 න් වීථි සිත් 37 ක් ලැබේ. ඒ තිස් හත නම්:-

 

අකුසල් සිත් 12. හසිතුප්පාදය හැර අහේතුක සිත් 17 යි. මහා කුසල් සිත් 08 යි යන සිත් තිස් හතම තිරිසන් සත්ත්වයින්ට ලැබේ.

මේ අයට නොලැබෙන්නේ හසිතුප්පාදයත්, කාමාවචර මහා ක්‍රියා අටත්, මහා විපාක සිත් අටත්, රූපාවචර කුසල ක්‍රියා දහයත්, අරූපාවචර කුසල ක්‍රියා අටත්, ලෝකෝත්තර සිත් අටත් යන සිත් 43 පමණී. මේවා සතර අපාගත සත්ත්වයින්ටම ලැබෙන්නේ නැත.

මෙතන මහා කුසල් සිත් අට යැයි කී විට බණ ඇසීම ආදී සියලුම කුසලයන් කර ගත හැකිය. නමුත් අටමහා කුසල සිත්වලට විපාක සිත් තිරිසන් භවයේදී ලැබෙන්නේ නැත.

 

හසිතුප්පාදයත්. කාමාවචර මහා ක්‍රියා අටත් නොලැබෙන්නේ සතර අපාගත අය රහත් නොවන නිසා ය. මහා විපාක සිත් අට නොලැබෙන්නේ එයින් ලබා දිය යුතු සුගති සැප විපාක දුගතියෙහි ලැබූ උපත නිසා නොලැබෙන නිසා ය. රූපාවචර කුසල ක්‍රියා දහයත්, අරූපාවචර කුසල ක්‍රියා අටත් නොලැබෙන්නේ දුගති උපත නිසා ය. සතර අපාගත ඇත්තෝ මගඵල නොලබන නිසා ලෝකෝත්තර සිත් ලැබෙන්නේ ද නැත.

 

මිනිස් ලොව සිටින කෙනෙක් බොහෝ දානාදී පින්කම් කරගෙන සිටියත් මරණාසන්න කාලයේදී මරණාසන්නයේදී බොහෝ ලෝභ ජවන් ඇති වුවහොත් ඊළඟ භවයෙහි ප්‍රේත ලෝකයෙහි උපදී. ඒ ප්‍රේතයන් අතරිනුත් නිජ්ඣාමතණ්හිකාදී ප්‍රේතයන්ව උපදින අයගේ ප්‍රතිසන්ධිය උපේක්ඛා සහගත අකුසල විපාක සංතීරණ සිතින්ම අපායට ඇතුළත්ව හට ගනී.

ඥාති ප්‍රේතයන්ව උපදින ප්‍රේතයන්ගේ ප්‍රතිසන්ධිය කුසල විපාක උපේක්ඛා සහගත සංතීරණ සිතින් චාතුර්මහාරාජිකයට ඇතුළත්ව හට ගනී.

මරණාසන්න මොහොතේ දෝෂමූලික ජවන් පහළ වූ විට ඊළඟ භවය අපායෙහි යම් තැනක ප්‍රතිසන්ධිය ලබයි.

 

මරණාසන්න මොහොතේ මෝහ මූලික ජවන් පහළ වන සත්ත්වයන් අතරින් බහුතරයක් බොහෝ විට ඊළඟ භවය තිරිසන් අපායෙහි ප්‍රතිසන්ධිය ලබයි.

 

තිරිසන් සත්ත්වයෙක්ව උපන් පසුව ඒ කෙනාගේ චිත්ත සන්තතිය “උපේක්ඛා සහගත අකුසල විපාක සංතීරණ සිතක්” වේ. ඒ කෙනාගේ ප්‍රතිසන්ධියත්, භවාංගයත්, චුතියත් එම සිත්ම වේ. එවැනි තත්ත්වයක සිටින තිරිසන් සත්වයින්ට මනුෂ්‍ය දිව්‍ය සැප සම්පත් විඳින්නට සුදුසු හැකියාවක් තිරිසන් භවයෙන් මිදෙන තෙක් නැත. තිරිසන් භවයෙන් මිඳී සුගති හතේ උපන් පසුව, පෙර සසරේද බලසම්පන්න කුසලයන්ගේ විපාක ලැබිය හැකිය.

 

තෙරුවන් සරණයි.

 

 

 

පූජ්‍ය, තපෝවනයේ

රතන ස්වාමින් වහන්සේ.

රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පණඩිත,

මිණිපුර අමාශාන්ති තපෝවනය,

පැල්වාඩිය,

රත්නපුර.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.