ද්වේශයේ සහ ඊර්ෂ්‍යා කිරීමේ විපාක

වෛර කරන්නකු කරා පැමිණෙන ධර්මතා හත ගැන දැනගනිමු
මැයි 9, 2022

 

අප විසින් ගෙවාගෙන ආ මේ අතිදීර්ඝ සංසාරයේදී අපට බුද්ධශාසන අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් මුණගැසී ඇත. නමුත් තවමත් අපහට නිර්වාණාවබෝධය කරගැනීමට නොහැකි වී ඇත්තේ අපගේ සිත් සතන් රාග, ද්වේෂ, මෝහ යන අකුසල ධර්ම වලින් වැසී තිබුණු නිසා ය. ගෞතම බුදු සසුන තුළ දුර්ලභ මිනිසත් බවත් ලැබූව ද, තවමත් මේ අකුසල ධර්ම අප තුළ රජ කරමින්, අපට බොහෝ දුක් පීඩා ගෙන දෙයි. අප විසින් නොයෙකුත් හේතූන් කියාපාමින් මේ අකුසල් සාධාරණීයකරණය කිරීමටද කටයුතු කරයි. නමුත් මේ අකුසල් අපහට මෙලොව පරලොව අයහපත, දුක් පිණිස පවතින බව පෙන්වාදෙන එක වටිනා සූත්‍ර දේශනාවකි කෝධන සූත්‍රය. අංගුත්තර නිකායේ හතර පොත් වහන්සේට ඇතුළත් මේ දේශනයේ දී භාග්‍යවතුන් වහන්සේ විසින් ක්‍රෝධ කරන යම් කිසි ස්ත්‍රියකට වේවා, පුරුෂයකුට වේවා, විඳින්නට සිදු වන දුක් විපාක 7 ක් දේශනා කරන ලදී.

“මහණෙනි, වෛර කිරීමට කැමැති, වෛර කරන ස්ත්‍රියක කරා හෝ පුරුෂයකු කරා මේ ධර්මතා 7 ක් පැමිණෙන්නේය.‘‘

 

ඒ ධර්මතා හත කුමක් ද? උන්වහන්සේගේ පැහැදිලි කිරීමට අනුව අප දැන් ඒවා එකින් එක බලමු.

 

විරූපී වේ

මේ ලෝකයේ තරහකාරයෙක් තමාගේ සතුරා ගැන මෙහෙම කැමැත්තක් ඇති කර ගන්නවා. “අනේ! මොහු විරූපී වේවා!” ඒකට හේතුව මොකක් ද? මෙයා තමන්ගේ තරහකාරයාගේ ලස්සන දැකලා සතුටු නොවීම. ක්‍රෝධයට යට වූ සිතින් ජීවත්විම. ඒ වගේ කෙනෙක් හොඳට නාලා, සුවඳ විලවුන් ගා ගෙන, කොණ්ඩය සරසාගෙන, ලස්සන ඇඳුම් ඇඳගෙන හිටියත් ක්‍රෝධ කිරීමේ විපාකයක් හැටියට ඔහු හෝ ඇය විරූපී වනවා.

 

මිනිස් සමාජය තුළ අනුන්ගේ ලස්සන දැකලා ඉරිසියා කරන අය බොහෝ දෙනෙක් සිටී. නමුත් මෙවන් දේ කිරීමේ විපාක ඔවුන් බොහෝ විට නොදනී.

 

එහි දුක් විපාක පෙන්වාදීමට ප්‍රේත වස්තු දේශනයේ සඳහන් මත්තා ප්‍රේත වස්තුව ගෙනහැර දක්වමි..

දවසක් තිස්සා නමැති කාන්තාවක් තවත් කාන්තාවක් දැක මෙහෙම අහනවා.

“නුඹගේ ශරීරයේ ඇඳුම් නැහැ. බොහොම විරූපී වෙලා, සිරුරේ නහර, ඇට පෑදිලා. මේ විදියට ඉන්නා නුඹ කවුද?”

ඇය පිළිතුරු දෙනවා, “මගේ නම මත්තා. ඔබේ නම තිස්සා. ඉස්සර අපි දෙදෙනාම එකම සැමියාගෙ බිරින්දෑවරු වෙලා හිටියෙ. මම පවුකම් කරලා මිනිස් ලෝකයෙන් මිදී ප්‍රේත ලෝකයට ගියා.”

තිස්සා නැවත ප්‍රශ්න 6 ක් මේ ප්‍රේතියගෙන් විමසනවා.

 

තිස්සා - නුඹ විසින් කුමන පාප කරලාද මිනිස් ලෝකයෙන් මිදී ප්‍රේත ලෝකයට ගියේ?

ප්‍රේතිය - මම ක්‍රෝධ කරන, පරුෂ වචන කියන, ඉරිසියා කරන. මසුරු සිතක තිබුණු, කපටි ගති ලක්ෂණ තිබුණු කෙනෙත්. ඒ නිසයි ‍ෙප්‍ර්ත ලෝකයට ගියේ.

 

තිස්සා -. ඔය ශරීරය පස් වලින් වැහිලා තියෙන්නේ මොන වගේ පවුකමක් කරලා ද?

ප්‍රේතිය -ඔබ නාලා අවසන් වී බොහොම පිරිසුදු ඇඳුම් ඇඳ ගත්තා. මට ඉරිසියා හිතිල පස් අරගෙන ඔබට ගැහුවා.

තිස්සා - නුඹ කැසීම් රෝගයකින් දුක් විඳින්නේ ඇයි?

ප්‍රේතිය - මම නුඹට හොරෙන් නිදන ඇඳේ කහඹිලියා ගෙඩි දැම්මා.

තිස්සා - නුඹ ඇඳුම් නැතිව ඉන්නේ ඇයි?

ප්‍රේතිය - එක දවසක් මම නුඹගේ ඇඳුමක් හොරකම් කළා.

තිස්සා - ඔය ශරීරයෙන් අසූචි ගඳ හමන්නේ ඇයි?

ප්‍රේතිය - නුඹගේ ඉතාම වටිනා සුවඳ වර්ග, සුවඳ විලවුන්, මල් මාලාවක් මම අසූචි වලක දැම්මා.

තිස්සා - නුඹ ඔච්චර දුප්පත් වුණේ ඇයි?

 

ප්‍රේතිය - ගෙදර කොතරම් වස්තුව තිබිලත් තමන්ට පිහිට පිණිස පවතින පිනක් දහමක් මම කළේ නැහැ

ඉහත කතා පුවතෙන් පෙන්වා දෙනු ලැබුවේ මත්තා නම් කාන්තාව තිස්සාගේ ලස්සන ගැන ඊර්ෂ්‍යා කර - පව්කම් කොට - අපායේ ඉපදී දුක් විඳින ආකාරයයි. එනිසා මත්තා මෙන් විරූපීවීමට අකැමැති නම් ඔබ කිසිවෙක් ලස්සන අය දැක ඉරිසියා නො කරත්වා..!

 

නිදි සුව නොලැබේ

දෙවැනි කාරණය ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. තරහකාරයෙක් අනෙකා ගැන මෙහෙම කැමැත්තක් ඇතිකර ගැනීම “ අනේ! මොහු දුක සේ නිදාගනිත්වා!” ඒකට හේතුව මොකක්ද ? මෙයා තමන්ගේ තරහකාරයාගේ සුව නින්දට සතුටු නොවීම .

“ මේකාව ඉවරයක් කරන්නේ කොහොම ද ?” යනුවෙන් , නිදි යහනේ සිටන් කල්පනා කරනවා .

“ මුං මට මෙහෙම කළා. මෙහෙම කළා. ඕකුන්ට මම සුවෙන් නම් නිදාගන්න දෙන්නේ නැහැ.” යනුවෙන් ක්‍රෝධ සිතින් කල්පනා කරනවා. ඉතින් මේ විදිහට කරන කියන අය , සුව පහසු යහනාවක සුව නින්දක් කවදා නම් ලබන්නද?

මෙහි විපාක බොහෝවිට පසු භවයන් කරාද යා හැකිය. එවිට කිසිම හේතුවක් නැතුව පවා සුවපහසු නින්දක් නොලැබීයාමට මේ කර්මය බලපෑ හැකිය.

 

හොඳ - නරක නොදැනේ

තුන් වැනි කාරණය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. කෙනෙක් අන් අය ගැන මෙහෙම කැමැත්තක් ඇතිකර ගැනීම “ අනේ ! මොහුට දැන උගත් බවක් ඇති නො වේවා! “ ඒකට හේතුව මොකක්ද? මෙයා තමන්ගේ තරහකාරයාගේ දැන උගත් බවට සතුටු නොවීම . ක්‍රෝධයට යට වූ සිතින් ජීවත්වීම . මෙහෙම අයට අවසානයේ සිද්ධ වන්නේ හොඳ - නරක කුමක්දැයි තේරුම් ගැනීමට නො හැකි බුද්ධි හීන පුද්ගලයකු වී ඉපදීමට සිදුවීමයි. ඔබ වපුරන දෙයටම ඔබට අස්වැන්න ලැබේ

 

ධන විනාශය

හතර වන කාරණය ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, තරකාරයෙක් අනෙකා ගැන මෙහෙම කැමැත්තක් ඇති කර ගැනීම ගැන

“ අනේ ! මොහුට භෝග සම්පත් නො ලැබේවා !‘‘

ඒකට හේතුව මොකක්ද? මෙයා අනෙකාගේ භෝග සම්පත් දැක සතුටු නොවීම . ක්‍රෝධයට යට වූ සිතින් ජීවත්වීම . ඒ වගේ පුද්ගලයකුට යම් භෝග සම්පතක් තිබෙනවා, නම්, උත්සාහයෙන් - වීර්යයෙන් - අත්දෙකේ ශක්තියෙන් දහඩිය වගුරුවා ධාර්මිකව උපයන ලද යමක් වේ නම්, ක්‍රෝධ කිරීම හේතු කොටගෙන ඒ සියල්ල පිරිහී - වැනසී යන්නේය.

ඒ ජීවිතයේදී පමණක් නොව මතු ජීවිතවලදී පවා තමා විසින් ධාර්මිකව දහඩිය මහන්සියෙන් උපයා සපයා ගත් වස්තුව තමන් බලා සිටිද්දීම රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන්, ගින්නෙන් ජලයෙන්, සතුන්ගෙන් විනාශ වී යයි.

 

කීර්තිය අහිමිවීම

පස් වැනි කාරණය ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. තරහකාරයෙක් අනෙකා ගැන මෙහෙම කැමැත්තක් ඇතිකර ගැනීම “ අනේ! මොහුට කීර්ති ප්‍රශංසාවක් ඇති නොවේවා! “ ඒකට හේතුව මොකක්ද? මොහු අනෙකාගේ කීර්තියට සතුටු නොවීම. ඊට හේතුව ඔහු ක්‍රෝධයට යට වූ සිතින් ජීවත්වීම. මේ නිසා මොවුන්ට ඒ ජීවිතයේ පමණක් නොව මතු භවයන්වලදී පවා මොහු විසින් අප්‍රමාදීව යම් කීර්ති ප්‍රශංසාවක් ලබාගෙන තිබුණා නම්, ක්‍රෝධ කිරීම් විපාකයෙන් එය නැති කර ගනී.

 

සමාජයෙන් කොන්වීම

හය වැනි කාරණය ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. කෙනෙක් තවෙකකු ගැන මෙහෙම කැමැත්තක් ඇතිකර ගැනීම “ අනේ! මොහුට මිතුරන් නො ලැබේවා!‘‘

ඒකට හේතුව මොකක්ද? මොහු අනෙකාගේ මිතුරන් දැක සතුටු නො වීම . ක්‍රෝධයට යට වූ සිතින් ජීවත්වීම. එකරුණ හේතු කොට ගෙන මොවුන්ට සසර පුරා පරම්පරාවේ ඥාතීන් යහළු මිත්‍රයන්, මොහු අතහැර දමනවා.

 

දුගතිගාමී වීම

අවසාන කාරණය ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. තරහකාරයෙක් අනෙකා ගැන මෙහෙම කැමැත්තක් ඇතිකර ගැනීම “ අනේ මොහු මරණින් මතු දුගතිය නම් වූ නිරයට පැමිණේවා!”

ඒකට හේතුව මොකක්ද? මොහු අනෙකා සුගතියේ යනවාට සතුටු නොවීම , ක්‍රෝධයට යට වූ සිතින් ජීවත්වීම. මෙවන් දූෂිත සිතුවිලිවලින් පිරි මොවුන් ස්වභාවිකවම කයින් දුසිරිත් කොට, වචනයෙන් දුසිරිත් කොට, මනසින් දුසිරිත් කොට, කය බිඳී මරණින් මතු දුගතිය නම් වූ නිරයට පැමිණෙයි. අනුන්ගේ සුගති ගමනට අකැමැති වන තරහකාරයට අවසානයේ සිදුවන දේ මේ.

මේ දෙසුමෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ක්‍රෝධ කරන්නාට විඳින්නට සිදුවන දුක් විපාක මැනවින් පෙන්වා දෙන ලදී. මේ නිසා ඔබ වපුරන දෙයටම අනුව අස්වැන්න ඔබට ලැබෙන බව ඔබ හොදින් සිතෙහි තබා ගෙන හැකි සෑම විටම මෙවැනි අකුසල්වලින් වැළකී සිටීමට උපරීම උත්සාහ දරන්න.

 

 

සම්බන්ධීකරණය

මධුර ප්‍රභාත් ගමගේ

 

අනුශාසනාව

පූජ්‍ය , තෙලඟපාත ධම්මජෝති ස්වාමින් වහන්සේ